සේවාස්ථානයේදී පොදුවේ කම්කරුවන් මුහුණ දෙන ගැටළු හා ඊට අදාළ පිළිතුරු -II

සේවාස්ථානයේදී පොදුවේ කම්කරුවන් මුහුණ දෙන ගැටළු හා ඊට අදාළ පිළිතුරු -II
සේවා ස්ථානවලදී සේවකයින් බොහෝ කම්කරු ගැටළුවලට මුහුණ දෙන අවස්ථා සුලභ වෙන අතර යම් ලෙසකින් කම්කරු නීති හෝ සහන ලබා ගත හැකි ආකාර ගැන නොදැනුවත්කම නිසා එවැනි අවස්ථාවල සේවකයින්ට හිමි සහන ලබා ගැනීමට නොහැකිවී යන අවස්ථා ඇත.
 
කෙසේ වෙතත් බොහෝ කම්කරුවන් කම්කරු නීති හෝ කම්කරුවන් ලෙස ඔවුන්ට හිමි සහන ලබා ගැනීම ගැන නොදැනුවත් කම නිසා මහත් අසරණභාවයට පත්වෙන අතරම ඊට යම් සහනයක් ලෙස වැඩබිම අපි සේවාස්ථානයකදී පොදුවේ කම්කරුවන් මුහුණ දෙන ගැටළු හා ඊට අදාළ පිළිතුරු ගැන ලිපි පෙළක් මෙලෙස පල කිරීමට කටයුතු කළෙමු.
 
ඊට අදාළ ගැටළු හා පිළිතුරු ලිපි පෙළේ දෙවන ලිපිය පහතින් කියවන්න.ඔබටත් යම් කම්කරු ගැටළුවක් ඇත්නම් එය අප වෙත යොමු කරන්න.  [email protected] හෝ මෙම ලිපියට ඔබේ ගැටළුව යොමුකළ හැකියි.
 
 
 
01. ගැටළුව :
 
සේවායෝජකයෙකුගෙන් සේවකයෙකුහට චෝදනා පත්‍රයක් ලද විට සේවකයා සහ සේවායෝජකයා අනුගමනය කල යුතු නීතිමය ක්‍රියා මාර්ග මොනවාද?
 
පිළිතුර :
 
කාර්මික ආරවුල් පනතට අනුව සේවායෝජකයා විසින් සාක්ෂි වලට අනුව මූලික විමර්ශනයක් කල යුතුය. එහිදී සේවකයා විසින් චෝදනා පත්‍රයට එරෙහිව හේතු දැක්වීමේ ලිපියක්ද ලබාදිය යුතුය.
 
ඉන්පසු සේවායෝජකයා විසින් හේතු දැක්වීමේ ලිපියට පෙරලා පිළිතුරු ලබාදිය යුතුය.
 
සේවායෝජකයා විසින් සේවකයා ලබාදෙන ලද හේතු දැක්වීමේ ලිපිය භාරනොගනී නම් වහාම ගෘහස්ථ පරීක්ෂණයක් සිදුකල යුතුය. එහිදී සේවකයා වැරදිකරු හෝ නිවැරදිකරු විය හැකිය.
 
02. ගැටළුව :
 
සේවා යෝජකයෙකුගෙන් සේවකයෙකු හට චෝදනා පත්‍රයක් ලද විට සේවකයා හා සේවායෝජකයා අනුගමනය කළයුතු නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?
 
පිළිතුර :
 
කාර්මික ආරවුල් පනතට අනුව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රමාණවත් කරුණු මූලික පරීක්ෂණයෙන් හෙලිවුවහොත් සේවකයා වෙත චෝදනා පත්‍රයක් භාරදේ. එහිදී සේවකයා විසින් චෝදනා පත්‍රයට පිළිතුරු ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුය. සේවකයාට ලබාදුන් කාලය ප්‍රමාණවත් නොවේ නම් තව වැඩිපුර කාලසීමාවක් ඉල්ලා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් සේවා යෝජකයා වෙත යොමුකළ හැකිය.
 
එලෙස පිළිතුරු ලිපියක් සේවකයා විසින් ලබා නොදුනහොත් සේවකයාට යොමුකරන ලද චෝදනාවන්ට වරද පිළිගෙන ඇති බව සිතා ඔහු වරදකරු කිරීමට සේවා යෝජකයාට හැකියාව ඇත.
 
තවද පිළිතුරු ලිපියෙහි සෑම චෝදනාවකටම වෙන්වෙන්ව පිළිතුරු සැපයිය යුතුය. එකී පිළිතුරු ලිපියෙහි තමා ඉදිරිපත් කරන ලේඛණවල පිටපත්,තමාට පාක්ෂිකව සාක්ෂි ලබාදෙන සාක්ෂිකරුවන්ගේ දිව්රුම් ප්‍රකාශ හෝ වෙනත් සාක්ෂි මෙම පිළිතුරු ලිපියෙහි දැක්විය යුතුය.
 
සේවකයාගේ පිළිතුරු ලිපිය මඟින් ඔහු වරද පිළිනොගනියි නම් ඒ සම්බන්ධව ආයතනික විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුය.එය ගෘහස්ථ පරීක්ෂණය නමින් හඳුන්වයි.
 
ගෘහස්ථ පරීක්ෂණයේදී සේවකයා වරදකරු වී ඇත්නම් ඔහුට දඬුවම් නියම කිරීමේ අයිතිය විනය බලධාරියාට හිමිවෙයි.
 
තවද විනය පරීක්ෂණයේදී ලබාදෙන තීරණයට එරෙහිව තීරණය ලබාදී මාස 06ක් ඇතුළත විනය බලධාරියාට වඩා ඉහළ නිලධාරී මණ්ඩලයකට (ආයතනය තුළ සිටින) අභියාචනා කළ හැකිය.
 
කෙසේ නමුත් විනය පරීක්ෂණයේදී තමාට බලවත් අසාධාරණයක් වී නම් අසාධාරණය වූ වහාම කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් කිරීමට සේවකයාට හැකිවේ.
 
03. ගැටළුව :
 
සේවකයා හට චෝදනා පත්‍රය නොලද විට සේවකයා රැකියා ස්ථානය තුළට ඇතුළුවීම තහනම් කරන ලද අවස්ථාවක සේවකයාට ලබාගත හැකි නීතිමය සහන මොනවාද ?
 
පිළිතුර :
 
එවැනි අවස්ථාවකදී සේවකයාට රැකියා ස්ථානයට ළගම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළ හැකිය. එසේම කම්කරු කොමසාරිස්වරයාටද ඒ ගැන වාර්තා කළ යුතුය.
04. ගැටළුව :
 
සේවකයෙකු කම්කරු කොමසාරිස්වරයෙකුට පැමිණිල්ලක් කළ යුතු ආකාරය කෙසේද?
 
පිළිතුර:
 
සේවකයෙකු තම සේවායෝජකයාට එරෙහිව පැමිණිල්ලක් සිදුකිරීම පහත ආකාරවලින් එක් ආකාරයකට සිදුකළ හැකිය.
 
  • ලියාපදිංචි තැපෑල මඟින්
  • කම්කරු දෙපාර්තමේන්තුවට ගොස් සිය පැමිණිල්ල අතින් කම්කරු කොමසාරිස්වරයාට භාරදීම මඟින්
  • කම්කරු කොමසාරිස්වරයා විසින් බලය දෙන ලද බලයලත් පුද්ගලයෙකුට භාරදීම මඟින්
  • සේවකයා දැන උගත්කම අඩු අයෙකු වූ විට කම්කරු කොමසාරිස්වරයාට සේවකයෙකුගේ ඉල්ලීම මත පැමිණිල්ලක් ලෙස විධිමත්ව සකසා භාරගැනීම මඟින්
05. ගැටළුව:
 
කම්කරු කොමසාරිස්වරයාට එලෙස ලැබෙන කාර්මික ආරවුල් සමථයට පත්කරන ආකාරය කෙසේද?
 
පිළිතුර :
 
කාර්මික ආරවුල් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ආකාර 02න් එක් ආකාරයකට ආරවුල් සමථයට පත්කළ හැකිය.
 
එනම්,
 
(1) කාර්මික ආරවුල් පනතේ 31(1) (ආ) වගන්තිය ප්‍රකාරව දෙපාර්ශවය සමගි කිරීමෙන් ආරවුල නිරවුල් කිරීමට උත්සාහ කිරීම.
 
(02) 3 (1) (ඇ) වගන්තිය ප්‍රකාරව ආරවුල නිරවුල් කිරීම පිණිස බලයලත් නිලධාරියෙකු වෙත කම්කරු කොමසාරිස්වරයා විසින් යොමුකළ හැකිය.
 
කොමසාරිස්වරයා හෝ බලයලත් නිලධාරියා විසින් සමථයක් ඇති කිරීමට සමත් වුවහොත් එම සමථය ‍ලේඛණගතකර පාර්ශවයන්ගේ අත්සන් ලබාගත යුතුය.
 
තවද යම් විශාල ආරවුලකදී සමථයක් ඇතිකර ගත් අවස්ථාවක කොමසාරිස්තුමා සෑහීමට පත්වුවහොත් එය කාර්මික ආරවුල් පණතේ 12 (6) වගන්තියට අනුව ගැසට් පත්‍රයේ පලකරනු ඇත.
 
කාර්මික ආරවුල් පනතේ 14 වගන්තියට අනුව මෙලෙස සමථයක් ඇතිකල විට අදාළ සමථ කොන්දේසි ආරවුල්වලට මැදිවූ සේවකයාගේ සේවා ගිවිසුමෙහි ව්‍යංග කොන්දේසි බවට පත්වනු ඇත.
 
සටහන -නීති නිලධාරී ලිලන්ති කුමාරි