කොවිඩ් 19 වසංගතය හමුවේ ජාතික ජන කොටස් මත සිදුකෙරෙන අණ්ඩුවේ මිලිටරි බලහත්කාරයට එරෙහි වෙමු

කොවිඩ් 19 වසංගතය හමුවේ ජාතික ජන කොටස් මත සිදුකෙරෙන අණ්ඩුවේ මිලිටරි බලහත්කාරයට එරෙහි වෙමු

 

කොවිඩ් 19 වෛරසය විසින් මුළු ලෝකයත් ලංකාවත් වෙලාගත් වසර එකහමාරක කාලය තුළ ලංකාවේ ආණ්ඩුව සිය වගකීම නිසි පරිදි ඉටු කිරීමට අසමත් වූ බව පොදු නිරීක්ෂණයයි. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සිමා පැනවීම, රෝගීන් හඳුනාගැනීම, එන්නත්කරණය, දෛනික ජන ජීවිතය කඩා නොවැටී පවත්වා ගැනීම වැනි ක්‍රියාමාර්ග සම්බන්ධව ආණ්ඩුවේ මැදිහත්වීම ඉතා අවිද්‍යාත්මක හා ප්‍රාථමික ස්වභාවයක් මෙන්ම එක්තරා ආකාරයක අත්තනෝමතිකත්වයක්ද ප්‍රදර්ශනය කෙරුනි.
පිළිගත් විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට මිත්‍යා ක්‍රියාමාර්ග හා සායනිකව තහවුරු නොවූ නොපිළිගත් ඖෂධ වර්ග ප්‍රචාරය කිරීමේ ජනමාධ්‍ය මෙහෙයුමක් ස්ථාපනය කෙරිණි. සෞඛ්‍ය වෛද්‍ය අංශය දෙවන පෙළට ඇද දමමින් මිලිටරි යාන්ත්‍රණයක් පෙරට ගැනීමත් සමඟ මේ අත්තනෝමතිකත්වය බලහත්කාරී බලපෑමක් බවට පත්විය.

හමුදා පන්නයේ මෙහෙයුම්, බුද්ධි අංශ විසින් හඹායෑම් සමග රෝගයට ලක්වූවන් හා ආශ්‍රිතයන් බලහත්කාරී රැඳවුම්කරණයකට හා නිවාස වටලමින් කුදලාගෙන යෑමේ ත්‍රස්තමය ප්‍රහාරයකට ලක්විය. හඳුනාගත් රෝගීන් හා ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලදී ප්‍රහාරයට ලක්වූ සිද්ධිද වාර්තා විය. තත්වය වඩත් බිහිසුණු වූයේ පොලිස් අත් අඩංගුවට ගත් අපරාධවලට සම්බන්ධ නොයෙකුත් සැකකරුවන්ද පොලිසිය භාරයේ සිටියදී ඝාතනයවීමේ රැල්ලක් පැන නැගීම සමගිනි. පසුව කොවිඩ් නිරෝධායන නීති කඩ කළා යැයි අත් අඩංගුවට ගත් දෙදරු පියෙක් ඝාතනය දක්වාම එය උත්සන්න විය. යුධමය තත්වයේ සාහසික භීතිය යළි දැනෙන්නට වූ ජනතාවගේ විරෝධය නිසාම වඩාත් නාගරික දකුණේ ප්‍රදේශවල මිලිටරිමය මෙහෙයුම් සීමා කිරීමට ආණ්ඩුවට සිදුවිය.එහෙත් එහිදීද නිශ්චිත සැලසුම් සකස් නොකළ ආණ්ඩුව යළිත් සිය බලහත්කාරීත්වය මිලිටරිය හරහා මුදාහරිමින් තිබේ. මිලිටරිමය කෲරත්වය සමග කතාකරන භාෂාව හා අදහන ආගම මත ජාතික ජන කොටස්වලට වෙනස්ව සැලකීමේ මෙතෙක් පවති ලංකාවේ ආණ්ඩුවල සුපුරුදු අවමානුෂික ක්‍රියාවලිය යළිත් බලාත්මක කරමින් තිබේ. කොවිඩ් 19 නිසා මියගිය අයගේ මෘතශරීර සම්බන්ධ අවසන් කටයුතුවලදී භූමදානය හෝ ආදාහනය කිරීමේ ගැටලුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා තහවුරු කර තිබියදී ආණ්ඩුවේ හැසිරීම බලහත්කාරී ආදාහනය කිරීමකවීම විසින් ලාංකීය මුස්ලිම් ජනතාවට එල්ල කළ ප්‍රහාරය අතිශය අමානුෂික ය.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මීට සම්බන්ධ සිද්ධි කිහිපයක් මේ බව යළිත් තහවුරු කරයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේදී කොවිඩ් සංචරණ නීති කඩකළ බවට චෝදනා කොට මුස්ලිම් ජාතිකයින් පිරිසක් මහමග දණගස්වා දෑත් ඔසවාගෙන සිටීමට සන්නද්ධ හමුදා විසින් අණ කිරීම කීපදිනකට පෙර වාර්ථා විය. කල්මුණ ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් හා තමිල් ජනතාව ක්‍රිකට් ස්ටම්ප්ස්වලින් පහරදී පලවා හැරීම දෙවන සිද්ධියයි. මේ අවස්ථා දෙකම සන්නද්ධ හමුදා සාමාජිකයන් විසින් සිදු කිරීම රටේ පිළිගත් පොදු නීතියද පරයා යෑමකි. ජනතාවට දඬුවම් දීමේ බලයක් කිසිදු මිලිටරි හෝ පොලිස් කණ්ඩායමකට පවරා නැති අතර මෙය ආණ්ඩුව විසින් මුදාහරින ලද මිලිටරි බලහත්කාරය ක්‍රියාවේ යෙදවීමකි.

රටේ සමස්ත ජනතාව මත හෙළා ඇති තෙල්මිල වැඩිවීමේ, බඩු මිල වැඩිවීමේ ආර්ථික බරට අමතරව ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමළ භාෂාව කතා කරන ජනතාව මත මිලිටරිමය මැදිහත්වීම අඛණ්ඩව සිදුවන බව ඉහත සිද්ධි විසින් තහවුරු කරයි. ජනතාව ඔවුන් කතා කරන භාෂාව ඔස්සේ අසමානතාවයට හා පීඩාවට ලක් කිරීම අපි දැඩිව හෙළා දකිමු.

එය තවත් වට ගණනාවකින් ලාංකීය ජනතාව රුදුරු ජාතිවාදී ජන ඝාතනයක් දක්වාම රැගෙන යෑමට වෛරය පතුරුවන ක්‍රියාමාර්ගයක් පමණකි. උතුරු නැගෙනහිර දෙමල හා මුස්ලිම් ජනතාව මත මිලිටරිමය බලහත්කාරය යෙදීමට විරුද්ධවන ලෙස අපි සමස්ත ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මෙහි ප්‍රමුඛතම කාර්යභාර්ය පැවරී ඇති සිංහල භාෂාව කතා කරන ප්‍රගතිශීලී ජනතාවට ද මේ සම්බන්ධව පෙරමුණ ගනිමින් අප සමග එක්වන ලෙසද ඉල්ලමු.

සම අයිතිය ව්‍යාපාරය