1904 SMS: ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් කොවිඩ් 19 රෝගීන්ට පහසුකම් රැසක්

1904 SMS: ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් කොවිඩ් 19 රෝගීන්ට පහසුකම් රැසක්

“කොවිඩ් 19 රෝග සත්කාර ඒකාබද්ධ යාන්ත්‍රණය ” ට අයත් “1904”කෙටි පණිවිඩ සේවාව වෙත මෙතෙක් කෙටි පණිවුඩ 32,000 ක් පමණ ලැබී ඇති අතර එමගින් රෝගීන් 150,000 කට පමණ සහාය ලබාදීමට හැකි වී ඇත.

යාන්ත්‍රණයට අයත් 247 හදිසි දුරකථන ඇමතුම් සේවාව සමග සම්බන්ධ වී ඇති රෝගීන් ගණන 50,000 ක් පමණ වේ. ඇමතුම් ඔස්සේ හඳුනාගත් හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් දහසක් පමණ රෝහල්ගත කෙරිණ. මෙම සේවාවෙන් තම නිවෙස් වල සිට ඉදිරි වෛද්‍ය පහසුකම් සඳහා සහාය හා උපදෙස් පතන විශාල ජනකායකට නිවැරදි මග පෙන්වීම ලබාදීමට හැකි වී ඇත.

මෙම තොරතුරු අනාවරණය වූයේ  “කොවිඩ් 19 රෝග සත්කාර ඒකාබද්ධ යාන්ත්‍රණය” කුමක්ද? කාටද, මාතෘකාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. ප්‍රවෘත්ති සාකච්ඡාව (29) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සංවාදය ආරම්භ කළ මහනුවර, ජාතික මූලික අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය අතුල සුමතිපාල මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ චක්‍රලේඛයක් මගින් අගෝස්තු 19 දින ස්ථාපිත “කොවිඩ් 19 රෝග සත්කාර ඒකාබද්ධ යාන්ත්‍රණය ”  මේ වන විට කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් ඉතා පුළුල් සත්කාර සේවාවාක් ඉටු කරන බවයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, “1990” සුව සැරිය ගිලන් රථ සේවාව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 247 හදිසි ඇමතුම් සේවාව යන සියල්ල අයත් යාන්ත්‍රණය කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින්  ක්‍රියාත්මක කෙරේ. මහාචාර්යවරුන්ගේ, සෞඛ්‍ය සේවාවට හා විශ්ව විද්‍යාල පද්ධතියට අයත් වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල  සමූහයකගේ දායකත්වය මෙම යාන්ත්‍රණයට ලැබේ. ඉකුත් දිනවල කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල් හා සෙසු සෞඛ්‍ය පහසුකම් සැලසීමේ ප්‍රමුඛතාව හඳුනාගැනීමට යාන්ත්‍රණය අතිශය වැදගත් මෙහෙයක් ඉටු කළ බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ මහතා හදිසි දුරකථන ඇමතුම් ගැනීමේදී ඇතිවන දුරකථන මාර්ග අවහිර වළක්වා ගැනීමේ සුදුසුම විකල්පයක් ලෙස “1904”කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක කළ බව පැවසීය. කාණ්ඩ තුනක් යටතේ කෙටි පණිවිඩ ලබා ගැනේ.  කෙටි පණිවිඩය යොමු කරන්නා හදිසි ප්‍රතිකාර අවශ්‍ය අයකු නම්  “A”  අක්ෂරය සමග පණිවිඩය යොමු කරන්නාගේ නම, වයස, ලිපිනය වැනි තොරතුරු සඳහන් කළ යුතුය. කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුව ඇතත් බරපතළ අපහසුතා නැති රෝගියකු “B” අක්ෂරය යටතේ තොරතුරු ලබා දිය යුතුය. ”C” අක්ෂරය යටතේ සිය තොරතුරු යොමු කළ යුත්තේ දැනට විශේෂ රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වූ තැනැත්තන්ය.

සියලු පණිවිඩ මහාචාර්යවරුන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන වෛද්‍ය සමූහයක් වෙත එවෙලේම දර්ශනය කිරීමේ පහසුකම් “1904”කෙටි පණිවිඩ සේවා මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිතය. ඒ අනුව, වෛද්‍යවරු තොරතුරු ලැබෙන රෝගීන්ගේ තත්වය විමසා බැලීමෙන් පසු ඉදිරි සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ ප්‍රමුඛතාව හා ලබාදිය යුතු උපදෙස් හා මගපෙන්වීම තීරණය කරති. සුවසැරිය ගිලන් රථ සේවාව හා රෝහල් සමග ඒකාබද්ධව හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වහාම රෝහල් කරා යොමු කෙරේ. සෙසු රෝගීන් සමග නිසි කළමනාකරණයක් ගොඩනගාගන්නා අතර, නිවෙස්වල රැඳී සිටීමේ ගැටලුවක් නැති රෝගීන් ගැන පවුල් වල සාමාජිකයන්ට නිසි උපදෙස් ලබා සැපයේ. ශ්වසන අපහසුතා හෝ එවැනි විශේෂිත අපහසුතාවක් මතුවී ඇති කොවිඩ් 19 රෝගියකු A අක්ෂරය යටතේ තම තොරතුරු යොමුකිරීම සුදුසු බව මහාචාර්වරයා පැවසීය. බස්නාහිර, දකුණ හා වයඹ පළාත්වල මෙම සේවාව ස්ථාපිත නමුත් දිවයින පුරා ප්‍රදේශවලින් මෙම සේවාවට පණිවිඩ ලැබී ඇති බවත්, ඒ සියල්ල සම්බන්ධ ඉදිරි පියවර ගෙනඇති බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, ඉන්දික කරුණාතිලක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින්  247 හදිසි දුරකථන ඇමතුම් සේවාව පිළිබඳව පැහැදිළි කළේය. මහාචාර්යවරයා පැවසූයේ ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ මෙම අංකය ඇමතිය හැකි බවයි. ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ මහාචාර්යවරුන්ගේ සිට වෛද්‍ය සිසුන් දක්වා වගකීමැති වෛද්‍ය වෘත්තිකයින් සමූහයක් ඊට දායකත්වය  දෙති. විදේශගත ශ්‍රී ලාංකික වෛද්‍යවරු පවා මීට එක්වී සිටිති. සියල්ලන්ගේ සහභාගිත්වය ඇති WhatsApp සමූහයක් මගින් රෝගීන්ගේ තොරතුරු විශ්ලේෂණයට ලක් කරන අතර, නිසි ඉදිරි පියවර සඳහා රෝගීන් වහාම යොමුකිරීම සිදු වේ. දුරකථන මාර්ග අවහිරතා නිසා මගහැරෙන ඇමතුමක් වුවද නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පහසුකම් ඇත.

නිවෙස් වල රැඳී සිටින රෝගීන් සම්බන්ධයෙන් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ විවේකය, පෝෂණීය ආහාර ගැනීම, උණුසුම් දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම හා නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි. විශේෂයෙන්ම වෛද්‍ය නිර්දේශවලින් තොරව ප්‍රතිජීවක ඇතුලු ඹෟෂධ භාවිතය ඉතා අවදානම් බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කළ තොරතුරු අතර සුවිශේෂ කරුණක් වූයේ යම් තැනැත්තකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇත්නම් එම රෝගියා නිවසේ රැඳී සිටිය යුතුද රෝහල්ගත විය යුතුද යන්න පිළිබඳව ස්වයං තීරණ වලට නොපැමිණ අනිවාර්යයෙන් නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය යන්නයි. කොවිඩ් රෝගීන්ට  නිසි උපදෙස් හා අදාළ සියලු මගපෙන්වීම් කිරීමට “කොවිඩ් 19 රෝග සත්කාර ඒකාබද්ධ යාන්ත්‍රණය” පැය 24 පුරා කැප වී සිටී.