ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම්වරිය  "2020 සුපිළිපන් ප්‍රණාම" කිරුළු පළඳියි

Previous Next

ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලී රත්නවීර මහත්මිය 15000 කට අධික සමස්ථ S.M.S. සංඛ්‍යාවෙන් වැඩිම එස්.එම්.එස් මනාප ප්‍රමාණයක් දිනාගනිමින් පසුගිය ඉරිදා (24) සුපිළිපන්  ප්‍රණාම කිරුළු පළදනු ලැබුවාය. සුපිළිපන් ප්‍රණාම 2020 අවසන් වටයේදී තවත් රාජ්‍ය නිලධාරීන් සිව්දෙනෙකුද ජයග්‍රාහකයන් ලෙස උපහාර ලැබීය. එම රාජ්‍ය නිලධාරීන් සිව්දෙනා වන්නේ මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් චමිලා අතපත්තු මහත්මිය,  යාල වනෝද්‍යානයේ වන සත්ත්ව අඩවි සහකාර චමින්ද අත්තනායක මහතා,  මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා සහ යාපනය ප්‍රාදේශීය ලේකම් සාම්භාසිවම් සුදර්ශන් මහතායි. 

සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් අවංකත්වයෙන් යුතුව ජනතාවට සේවය සලසන අවංක රාජ්‍ය නිලධාරින් හට "කීර්තිය හා ප්‍රණාමය" පුද  කරනු වස් "සුපිළිපන් ප්‍රණාම 2020" ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කොට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබිය. 2020 වසරේ ජුනි මස සිට අගෝස්තු මස දක්වා වූ නාම යෝජනා බාරදීමේ කාල පරිච්ඡේදය තුළ සුපිළිපන් ප්‍රණාම 2020 වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි සියයකට අධික නාම යෝජනා ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙම නාමයෝජනා සියල්ල පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් මඟින් ඉතාමත් අපක්ෂපාතී විනිශ්චයකට ලක් කෙරුණු අතර ඉන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයකින්, අවසන් ජයග්‍රාහකයින් පස්දෙනා තෝරා ගන්නා ලදී.

කිසිඳු දේශපාලන අතපෙවීමකට හෝ අනෙකුත් බලපෑමකට ඉඩ නොතබමින් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ජනතාවට සේවාවන් ලබා දීමේ  ප්‍රතිපත්තිය මෙම වැඩසටහනේ වැඩිම මහජන ප්‍රසාදය දිනා ගත් ඉනෝකා හිමාලි රත්නවීර මහත්මියගේ සුපිළිපන්භාවයට මනා උදාහරණයකි. සිය එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ජනතාවට ඉතා සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීම නිසා ඇය ප්‍රදේශයේ පුරවැසියන්ගේ ප්‍රසාදය දිනා ගෙන ඇති අතර පුරවැසියන්ට ලබා දෙන සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීම වැනි දුරදර්ශී නායකත්වයක් සිය සේවා ස්ථානයට ලබා දෙයි. 

සීමා නිර්ණය කොමිසමේ ගරු සභාපති මෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු ගරු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේය. මෙම සම්භාව්‍ය අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, මාධ්‍යවේදීන්, සුපිළිපන් ප්‍රණාම ජයග්‍රාහකයින්ගේ පවුල්වල සාමාජිකයින් හා අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව මෙම උළෙලේ සියලු කටයුතු සුදානම් කර තිබුණි. 

වැඩිම මහජන ප්‍රසාදය දිනා ගැනීම පිළිබඳව සභාව ආමන්ත්‍රණය කල රත්නවීර මහත්මිය මෙසේ ප්‍රකාශ කලාය. "නිදහස් අධ්‍යාපනයක් ලබා රාජ්‍ය නිලධාරීන් වශයෙන් කටයුතු කරන අප, මේ රටේ බදු ගෙවන ජනතාවගෙන් යැපෙන්නන් බව මතක තබා ගත යුතුයි. අප ඔවුන්ට ණයගැති වන අතරම මගේ අදහස වන්නේ රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් කටයුතු කිරීම පුරවැසියන්ට අපගේ කෘතගුණ දැක්වීමට ලැබෙන අවස්ථාවක් බවයි." 

සුපිළිපන් ප්‍රණාම (Integrity Icon) යනු "එකවුන්ටබ්ලිටි ලැබ්" (Accountability Lab) නමැති ගෝලීය සිවිල් සමාජ සංවිධානයේ සංකල්පයක් මත ආරම්භ කරනු ලැබූ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් වන අතර පළමු වතාවට මෙම වැඩසටහන පැවැත්වූයේ 2015 වර්ෂයේ නේපාලයේදී ය. මෙම වැඩසටහන දැනට පාකිස්තානය, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, මෙන්ම මෙක්සිකෝව ආදී රටවල වාර්ෂිකව පවත්වන වැඩසටහනක් වශයෙන් ගෝලීයව පැතිරී ගොස් ඇත. මෙම වැඩසටහනේ ඇති විශේෂත්වය වන්නේ ජාතික මට්ටමෙන් සුපිළිපන් රාජ්‍ය නිලධාරීන් අගය කිරීම මෙන්ම නාමයෝජනා කාල පරිච්ඡේදයේ සිට අවසන් ජයග්‍රාහකයින් පස් දෙනා අතුරින් "වැඩිම ජනතා ප්‍රසාදය දිනා ගන්නා අවංක රාජ්‍ය නිලධාරියා" තෝරා පත් ගැනීම දක්වා වන සමස්ත ක්‍රියාවලියම මහජන සහභාගිත්වයෙන් සිදු වීමයි.