අපි පහු ගිය කාලය පුරාම කෑවට වැඩිය හිටියේ හාමතේ

අපි පහු ගිය කාලය පුරාම කෑවට වැඩිය හිටියේ හාමතේ

සේවක අයිතිවාසිකම් අමු අමුවේ විනාශ කර දැමූ වසරක් තුළ ගෙවුනු සතියක්…..

ලංකාවේ නිදහස් වෙළද කළාප කම්කරුවන් ඉතා සුවිශේෂී කණ්ඩායමක් වන අතර, ඔවුන් අති බහුතරය ඈත දුෂ්කර ගම්වලින් සංක‍්‍රමණය වූවන් වන අතර, ඔවුන්ගෙන් අතිබහුතරය ගැහැණු ශ‍්‍රමිකයින් වීම සුවිශේෂ තත්ත්වයකි. මොවුන් තම උපන් ගම්බිම් බලා පිටත්වන්නේ සාමාන්‍යයෙන් වසරට දෙවතාවකි. එනම් සිංහල-දෙමළ අලුත් අවුරුදු උදාවන අපේ‍්‍රල් මාසයේ හා නත්තල් වෙනුවෙන් නිවාඩු ලැබෙන දෙසැම්බර් මස අග කාලවලදීය. මෙසේ වසරකට දෙවතාවතක් තම නිවෙස්කරා පැමිණෙන මෙම ශ‍්‍රමිකයන්ගේ ආගමනය එම පවුල්වල සාමාජිකයින්ට සැබැවින්ම අවුරුදු මෙන්ම නත්තල ද රැගෙන එයි. එය එසේ වන්නේ අවුරුදු සහ නත්තල් කාල දෙකේදීම, ‍තමන් වසරක් පුරා කුසට නිසි ආහාරයක්වත් නොමැතිව, බොහෝ කැපකිරීම් හා පරිශ‍්‍රමයන් තුළ ඉතිරිකරගත් සොච්චමෙන් තම පවුලේ සාමාජිකයින් සතුටු කිරීමට සමත් යමක් ඔවුන් පොදි බැදගෙන ගම් බිම් වෙත සේන්දු වන හෙයිනි.

මෙම වසරේ අවුරුදු නිවාඩුව ගෙවී ගියේ කොරෝනා වසංගත තත්වය හමුවේ, ඔවුන්ගේ නවාතැන් පොළවල් වල ඔවුන් ‘ලොක්ඩවුන්’ වූ තත්වයක වන අතර, ඇතැම් දිනවල එක් වේලවකටවත් කුසගින්න වෙනුවෙන් යමක් නොලැබුන පසුබිමකය. එසේ නවාතැන් පොළවල්හි සිරවී සිටින සේවකයින් පිලිබද වගේ වගක් නැති පාලකයින් එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් බහුතර සේවකයන්ගේ රැකියාව අහිමි කළ අතර, වැටුප් ගෙවීම පවා පැහැර හැරියහ. ආණ්ඩුව මෙම පිරිස පිළිබද තඹ සතයකට මායිම් නොකළ අතර, නොසලකා හැරීම් හා වෙනස්කොට සැලකීම් උපරිම ලෙස ඔවුන්ගේ හිස මතට කඩා දැමූවේ ඉතාමත් නිර්ලජ්ජිත ලෙසය.

කොරෝනා දෙවන රැල්ලත් සමග ගෙවී යන මෙම සතිය නැවත වරක් තම ප‍්‍රමාණය අනුව, කදමලු බැදගනිමින් ඔවුන් නැවත වරක් ගම්බිම් බලා පිටත් වන සතියයි. එනමුත් මෙම සතිය පුරාම නිදහස් වෙළද කලාපය දෙසින් අසන්නට දකින්නට ලැබෙන්නේ අදෝනා පමණි. එක් ආයතනයක තම බෝනස් මුදල ඉල්ලා සේවකයින් අඛන්ඩ අරගල සිදු කරනු ලැබූවේ, මේ මාසසේ සමහර සේවකයින්ගේ අතට ගත් වැටුප රුපියල් 5000 ක්, 3000ක් තරම් සොච්චමකට සීමා වී ඇති පසුබිමක් තුළයි.

පසුගිය කොරෝනා තත්වය මත සේවයට වාර්ථා කිරීමට නොහැකි වූ සේවකයින්ගේ ඔවුන්ට හිමි සියලු නිවාඩු කපා දමා, අමතර දවස් පඩි රහිත නිවාඩු ලෙස නම් කිරීම නිසා, ඔවුන් අතට ලැබුනේ බෝඩිම් කුලියවත් ගෙවා ගත නොහැකි සොච්චමකි. ඒ අනුව ඔවුන් අවම වශයෙන් තම ජීවිත අවධානම පවා නොසලකා හරිමින් තමන් කළ අඛංඩ සේවාව ගැන සලකා බලා වාර්ෂික ප‍්‍රසාද දීමනාව ලබා දෙන ලෙස ඉල්ලා අරගලයක නියැලුන අතර, ඔවුන් පාලනය කිරීමට ආයතන විසින්, පාතාල කල්ලි පවා යොදවා තිබිණි. නමුත් අවසානයේ ඔවුන් හරි අඩක බෝනස් මුදලක් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම තවත් ආයතනයක බෝනස් මුදල වෙනුවෙන් අරගල කළ සේවකයින් පිරිස් හා පාලකයින් අතර ඇති වූ ගැටලුව විසදීමට පොළිස් විශේෂ කාර්ය බලකාය පවා යෙදවීය. ඒ පාලකයන් සේවක අයිතිවාසිකම් පිළිබද සංවේදී වූ තරමය.

සේවකයින් තලා පෙලා දැමීමේ උච්චතම අවස්ථාවක් කරා මේ වන විට පවතින තත්වය ගමන් කර ඇති අතර තම පවුලේ සාමාජිකයින් බැහැ දැකීමට මෙම වසර තුළ ඔවුන්ට තිබූ අන්තිම අවස්ථාවත් පාලකයින් විසින් උදුරාගෙන ඇත. මන්ද සොච්චමක් අත නොමැති සේවකයන්ගේ ආගමනය නිවසට නත්තල් රැගෙන එන්නේ නැත. එමෙන්ම අනෙක් අතින් කෙසේ හෝ ගම් බිම් බලා යාමට උත්සාහයක යෙදෙන බහුතරයකට තම උපන් ප‍්‍රදේශයේ බලධාරීන් පවසා ඇත්තේ ඔවුන් ගමට පැමිණියහොත් පවුලේ සියලු සාමාජිකයින් නිරෝධායනයට ලක් කරන බවයි.

මෙම තත්වය කෙබදු දැයි මාසික වේතනයද, වාර්ෂික ප‍්‍රසාද දීමනාව ද අහිමිව සිටින කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කරන එක් කම්කරු සේවිකාවන් පැවසු ප‍්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ.

”අපේ ආයතනයේ කොරෝනා සෑදුනු සේවිකාවක් හමුවුනු පළවෙනි දවසෙම අපේ ලයින් එකම නිරෝධායනයට දැම්මා. ආයතනය විසින් අපිව වෙනම තැනක නතර කරලා නිරෝධායනයට ලක් කලා. නැවත බෝඩිමට ඇවිල්ලත් තවත් දින 28 ක් ඉන්න උනේ, වෙන ආයතනයනක වැඩ කල බෝඩිමේ ළමයෙක් කොරෝනාවලට ගොදුරු වුන නිසා. එහෙම ඉදලා වැඩට ගිහින් මේ මාසේ පඩි ගන්න කොට පඩිය තිබුනේ රුපියල් 3050.00 යි. මට නීත්‍යානුකූලව මේ වසර සදහා හිමි නිවාඩු ටික ඔක්කොම කපලා, ඉතිරි දින ටික නෝපේ යවලා. ඊට පස්සේ බෝනස් එකවත් ලැබෙයි කියල, පුදුම බලාපොරොත්තුවකින් හිටියේ. අන්තිම මොහොතේ කිව්වා ඒක දෙන්නෙත් නෑ කියල. දෙයියනේ හිතේ තිබුන ඔන්කොම බලාපොරොත්තු කඩාගෙන වැටුනා. මට අපේ‍්‍රල් අවුරුදු නිවාඩුවටවත් ගෙදර යන්න බැරි උනා. අපි පහු ගිය කාළය පුරාම කෑවට වැඩිය හිටියේ හාමතේ. ඒත් මේ සැරේවත් ගෙදර යන්න ඕන කියලා සන්තකේටම තිබුණ කරාඹු දෙක ඇවරිවත්තේ ජුවලරියකට දීලා රුපියල් 7800 ක් ගත්තා. අරගෙන අම්මටයි, තාත්තටයි ඇදුම් දෙකකුයි, නංගිට අවුරුද්දට පොත් ටිකක් එක්ක සපත්තු දෙකකුයි ගත්තා. ඔක්කොම කරලා යන්න හදද්දී, ගෙදරින් කථා කරල කිව්වා, ‘අනේ පුතේ ඔයා එනවට මෙ ගමේ මිනිස්සු කැමති නෑ,,, PHI ත් කිව්වා ළමයා ආවොත් කට්ටියම නිරෝධායනයට දානවා කියලා.’ ඉතින් මම කොහොමද ගෙදර යන්නේ. තාත්තා එදිනෙදා කුළී වැඩක් කරලා ගෙදරට කෑම බීම ටික ගෙනියන්නේ. මම ගිහින්, තාත්තට ඒ වැඩත් නැති උනොත් කොහොමද එයාලා කෑම බීම ටිකවත් හොයා ගන්නේ. මට උදව්වක් කරන්න පුඑවන් තත්වයක් තිබුන නම් මම යනවා. ඒත් මොනවා කරන්නද. මම ගමන අතහැරල දැම්මා. දැන් මම නිවාඩුවට බෝඩිමට වෙලා ඉන්න ඕන. ගෙදර යන නිසා කෑම ටිකවත් කන්න සල්ලි ඉතිරි කර ගත්තේ නැහැ. දැන් මේ දවස් ටිකේ කන්නවත් සල්ලි නැහැ. වැඩිපුර දින ටිකක් බෝඩිමේ හිටියම වැඩිපුර ලයිට් බිලත් ඉල්ලනවා. මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ.,,

ඒ එක් සහෝදරියකගේ කථාව උවද මෙම කථාවට අඩු වැඩි වශයෙන් සමාන වූ කථා සිය ගණනක් නිදහස් වෙළද කලාපිය සේවක සැමගේ කථාව බවට මේ වන විට පත්ව තිබීම කොතරම් වේදනාවක්ද? කොතරම් ඛේදවාචකයක්ද?

අශීලා දංදෙනිය (විකල්ප)