ඌන සේවා උපාධිධාරින්ගේ ගැටළුවට ස්ථිර විසඳුමක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

ඌන සේවා උපාධිධාරින්ගේ ගැටළුවට ස්ථිර විසඳුමක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

ඌන සේවා උපාධිධාරීන්ට ස්ථීර විසඳුමක් ලබාදීම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කඩිනම් කරන මෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ 2020 වැඩසටහන යටතේ උපාධියට සුදුසු නොවන රැකියාවල නියුතු ඌන සේවා උපාධිධාරීන් යොමු කර ඇති ඉල්ලීම් සලකා බලා ඔවුන්ට සහනයක් වන පරිදි විසඳුමක් ලබාදෙන මෙන් අප අවස්ථා කීපයක දී රජය ඇතුළු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමු.

පාර්ශව ගණනාවකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා 2021 ජනවාරි 11 දින රැස්වූ අමත්‍ය මණ්ඩලය ඌන සේවා උපාධිධාරීන් සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ බඳවා ගැනීමට තීරණයක් ගත් බව කැබිනට් තීරණ දැනුම් දීමේ දී මාධ්‍ය මඟින් ප්‍රකාශ කරන ලදි. රජය විසින් ගනු ලැබූ එම තීරණය පසුගිය සති අන්ත ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය මගින් ද තහවුරු කර තිබුණි. ඌන සේවා උපාධිධාරීන්ගේ ගැටළුවට විසඳුමක් ලබාදීමට රජයගත් තීරණය සංවර්ධන නිලධාරී සේවා සංගමය ලෙස අප අගය කරමු.

2021.01.11 දින උක්ත කරුණට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අදාළ බඳවාගැනීම් සිදු කරන ආකාරය පිළිබඳව 2021.01.18 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් හමු වී අප සංගමය සාකච්ඡා කරන ලදි. 2021.01.11 දින ගනු ලැබූ තීරණයට අනුව ඌන සේවා උපාධිධාරීන් බඳවාගැනීමට අදාළ කැබිනට් තීරණයේ ලිඛිත ප‍්‍රකාශයක් අදාළ බලධාරීන් වෙත 2021.01.18 දින වනවිට ලැබී නොමැති හෙයින් ඒ පිළිබඳව අනුගමනය කරන ක්‍රමවේදය සම්බන්ධව පැහැදිලි තීරණයකට එළැඹීමට නොහැක විය.

රජය ගනු ලැබූ ඉහත තීරණයක් සමඟ ඌනසේවා උපාධිධාරීන් උපාධිය මූලික සුදුසුකම ලෙස සලකා බඳවාගැනීම් කරන සංවර්ධන නිලධාරී තනතුරට පත්වීමේ දැඩි අපේක්ෂාවකින් පසුවන බව සඳහන් කරමු.

ඌන සේවා උපාධිධාරීන් සම්බන්ධයෙන් 2021.01.11 දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඊට අදාළ දැනුම්දීම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන්වෙත කඩිනමින් යොමුකර රජය ගනු ලැබූ තීරණය ක‍්‍රියාවට නංවමින් ඌන සේවා උපාධිධාරීන්ට ස්ථීර විසඳුමක් ලබා දීම කඩිනම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.