ශ්‍රී ලංගම විරුවන්ට කොරෝනා එන්නත මුල් වටයේම ලබාදෙන්න

ශ්‍රී ලංගම විරුවන්ට කොරෝනා එන්නත මුල් වටයේම ලබාදෙන්න

සුව විරුවන්ට රණවිරුවන්ට හා සමානවම ශ්‍රී ලංගම විරුවන්හට ද කොරෝනා එන්නත් ප්‍රථම වටයේදීම ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

අත්‍යාවශ්‍ය සේවාවන්වල සේවය කරන සේවකයන් ප්‍රවාහනය කරීමේ ක්‍රියාවලිය සහ මගී ජනතාව ප්‍රවාහනය කරීමේ භාරදූර කාර්යය ශ්‍රී ලංගම විරුවන් ඔවුන්ගේ ජීවිතවලට සිදුවියහැකි අවධානම පවා නොතකා මේ මොහොතේ සිදුකරයි එම සේවකයනහට මුහුණු ආවරණ, අත්වැසුම් , වෙනත් වෛද්‍ය පහසුකම් විධිමත්ව අඛණ්ඩව ලැබෙන්නේ නැත. ඔවුන් සේවය කරන ශ්‍රී ලංගම ඩිපෝවෙන්, ආයතනයන් විෂබීජහරණය සිදුකිරීම සිදුවන්නේ ද මන්දගාමී ලෙසය. රණවිරුවන්. සුවවිරුවන් හා සමානවම ශ්‍රී ලංගම විරුවන් ද සිදුකරනු ලබන්නේ ඉමහත් සේවාවකි.

බස්වල ගමන් කරන මගීන් පිළිබඳව කිසිදු අවබෝධයක් ශ්‍රී ලංගම විරුවන්හට නොමැති අතර කොරෝනා උවදුරට ඔවුනට කොයි මොහොතේ හෝ අනිවාර්යයෙන්ම මුහුණදීමට සිදුවනු ඇත. නමුත් ශ්‍රී ලංගම විරුවන් තමන්ට සිදුවිය හැකි භයානක උවදුර පවා නොසළකා අත්‍යාවශ්‍ය සේවාවන්වල සේවකයන්ට සහ මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබාදේ. එම ශ්‍රී ලංගම විරුවන්හට තමන්ගේ සේවය කරනු ලබන බස්රථවලම රාත්‍රී නවාතැන් ගැනීමට පවා සිදුවී ඇති අතර එම ක්‍රියාවලිය භයානක ක්‍රියාවලියක් වේ. මන්ද යත් බස්රථවල ගමන් කරනු ලබන්නේ කුමන තරාතිරමේ මගීන්ද යන්න පිළිබඳව අවබෝධයක් ඔවුනට නොමැති නිසාය. සුව විරුවන්, රණවිරුවන් හා සමානවම ශ්‍රී ලංගම විරුවන් ද සුවශේෂී සේවාවක් කරනු ලබන නමුත් ඔවුන් අගය කිරීම කිසිදු මාධ්‍යයකින් හෝ කිසිදු පාලකයින්ගෙන් සිදුවන්නේ නැත.

ඉහත කරුණු පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර කොරෝනා උවදුරින් සිදුවිය හැකි අනතුරට නොබියව මුහුණ දෙමින් ජීවිත පරිත්‍යාගයෙන් අගනා සේවාවක් කරනු ලබන ශ්‍රී ලංගම විරුවන්ට හටද කොරෝනා එන්නත් ප්‍රථම වටයේදීම ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අප
සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.