සංවර්ධන නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම නැවත වැඩ වර්ජනයකට අත වැනීමක්?

සංවර්ධන නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම නැවත වැඩ වර්ජනයකට අත වැනීමක්?

රජයේ කාර්යාල තුලින් ඉටු කරනු ලබන බොහෝ සේවාවන් ඉටුකරනු ලැබූයේ මීට පෙර ලිපිකරු සේවාව මෙන්ම වර්තමානයේ කළමනාකරණ සේවා නිලධාරීන් විසින්ය. අනාදිමත් කාලයක් තිස්සේ පවත්වාගෙන ආ මෙම සේවාවට කනකොකා හඩලන්නට පටන් ගත්තේ දේශපාලන වුවමනාවන් මත කිසිදු තරග විභාගයකින් තොරව උපාධි සහතිකයට පමණක් රාජ්‍ය සේවයට MN-4 වැටුප් කාණ්ඩය යටතේ බඳවාගත් උපාධිධාරීන් පිරිස නිසාය.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සොයා බැලීමකින් තොරව මෙම පිරිස් රජයේ කර්යාලවලට ගාල් කල අතර ඔවුන්ගේ බදවාගත් නිලය අනුව පැවරීමට රාජකාරියක් නොවූයෙන් බොහෝ දෙනෙක් රජයේ කාර්යාල වල කළමනාකරණ සේවා නිලධාරීන් ඉටු කරන සේවාවන් වලින් ඉතා සුළු රාජකාරි ප‍්‍රමාණයක් පවරා කළමනාකරණ සේවා නිලධාරියාට වඩා වැඩි වැටුපක් ලබයි.

මෙම තත්වය නිසා රජයේ කාර්යාල වල සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරීන් දැඩි මානසික පීඩනයකට පත්වී ඇත. එමෙන්ම මීට පෙර පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලසීමාවේදී සංවර්ධන නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමක් සිදු කල අතර කාර්යාල ගත සංවර්ධන නිලධාරීන්ටද යතුරුපැදි ලබා දීම පිළිබඳව එකල කළමනාකරණ සේවාවේ නිලධාරීන් (3000) තුන්දහසකට අධික පිරිසක් කොළඹ දී උද්ඝෝශන ව්‍යාපාරයක්ද දියත් කරන ලදී.

කෙසේ නමුත් නැවත වරක් ක්ෂේත‍්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම සඳහා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2020.11.27 දින පැවැති සාකච්ඡුාවේ අදහස් කර ඇති බව ප‍්‍රකාශ විය. ඒ අනුව 2014.01.01 දිනට පසුව පත්වීම් ලබා වසර 05 සේවාකාලයක් සහිත ග‍්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබා දීමට අවශ්‍ය විස්තර කැදවා ඇත.

ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ රාජකාරි අනුව යතුරුපැදි ලබා දීම සම්බන්ධව අපගේ විරෝධයක් නැත. එහෙත් ක්ෂේත‍්‍ර නිලධාරීන් වශයෙන් රාජ්‍ය සේවයේ කාර්යාල ගතව අප සේවාවේම රාජකාරි ඉටු කරන සංවර්ධන නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම පිළිබද අපගේ දැඩි විරෝධය ප‍්‍රකාශ කරමු.

මන්ද යත් ඔවුන් බහුතරයක් ඉටු කරනු ලබන්නේ කළමනාකරණ සේවා නිලධාරීන් ඉටු කරන සේවා කටයුතු බැවින් එසේ යතුරු පැදි ලබා දෙන්නේ නම් කළමනාකරණ සේවා නිලධාරීන්ටද තීරුබදු රහිතව යතුරුපැදි ලබා දීමයි කල යුත්තේ. එසේ නොමැති නම් ඔවුන් කාර්යාලවල දැනුදු කරන අප සේවාවට අයත් රාජකාරිවලින් ඉවත් කොට කටයුතු කිරීම සුදුසු බවත් එසේ නොමැතිව එකම කාර්යාලයක එකම සේවාවක් ඉටු කරමින් මෙවැනි ප‍්‍රතිලාභ ලබා ගැනීම පිළිකුලින් හෙලා දකින අතර ඒ වෙනුවෙන් සමස්ත කළමනාකරණ සේවා නිලධාරීන් දැනුවත් කර දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට යාමට සිදුවන බවද පෙන්වා දෙමු.

සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය