"කොවිඩ් එන්නත්" මහ ජනතාව ගසා කන පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් බවට පත්වන ලකුණු

Ravi-Kumudesh

කොවිඩ් එන්නත් මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශය විසින් සිදු කරන වන බලපෑම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව කළමනාකරණය කළ යුතුය. අඩු ආදායම් ලාභීන්ට සහ මිලදී ගැනීමට හැකියාවක් නැති බව තමන් විසින් තීරණය කරනු ලබන මහජනතාව හැරුණු කොට, මිලදී ගැනීමේ හැකියාවක් පවතින සහ විශාල ආදායමකට හිමිකමක් තියෙන පුද්ගලයන් සඳහා එන්නත් මිලදී ගැනීමට හැකියාව ලබා දීමේ වරදක් නොවන්නේ එමගින් අඩු ආදායම් ලාභීන්ට වක්‍රාකාරයෙන් වාසි සැලසෙන බැවිනි. නමුත්, ව්‍යාපාරිකයන්ට එන්නත් සඳහා හිතූ හිතූ මිල නියම කරමින්, අධික ලාභ ලැබීමට හෝ එන්නත් මාෆියාවක් රට තුල ඇති කිරීමට ඉඩ ලබා නොදිය යුතුය.

මේ සඳහා ඇති සුදුසුම ක්‍රියාමාර්ගය වනුයේ "G to G" හෙවත් රාජ්‍යයන් වශයෙන් කරණු ලබන මිලදී ගැනීමක් ලෙස එන්නත් ගෙන්වීමට, ඖෂධ පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය සිය වගකීම ඉටු කිරීමය. ඒ අනූව පෞද්ගලික අංශයයේ අවශ්‍යතාවය සදහා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ, නිශ්චිත මිල පාලනයකට යටත්ව එන්නත් ලබා දීය හැකිය.

වර්තමාන රජය යටතේ ඖෂධ නිෂ්පාදනය, නියාමනය හා බෙදා හැරීම සදහා වෙනම අමාත්‍යවරයෙක් සහ වෙනම අමාත්‍යාංශයක් පවා පිහිටුවා තිබියදී, සෞඛ්‍ය අමාත්‍යාංශයට වාසි සලසා ගත හැකි සෑම මිල දී ගැනීමක්ම දේශපාළණ ව්‍යාපාරික ගජ මිතුරන් අතට පත්කර නිකං බලාගෙන සිටීම වගකීම් පැහැර හැරීමකි.

රාජ්‍ය අමාත්‍යාංශය හරහා මිලදී ගැනීම සහ බෙදාහැරීම සිදු කරන අතර වාරය තුළ, පෞද්ගලික අංශයට ද කිසියම් මිල පාලනයක් යටතේ එන්නත් ලබාදීම මගින් වැඩි ආදායම්ලාභීන්ගේ බර සැහැල්ලු කර ගනිමින් ඔවුනගෙන් උපයන මුදල අඩු ආදායම්ලාභීන්ට අදාල නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සදහා යොදවා ගත හැකිය. එසේ නොමැතිව තමන්ගේ ගජ මිතුරන් සහ දේශපාලන තැරැව්කාර ව්‍යාපාරිකයන් සඳහා හිතූ හිතූ ආකාරයට එන්නත් ලියාපදිංචි කිරීමටත් එන්නත් ගෙන්වීමට සහ විකිණීමට ඉඩ හැරීම මගින් මහජනතාව කබලෙන් ලිපට ඇද වැටෙන බව අප අවධාරණය කරමු. ඖෂධ නියාමන අධිකාරිය තවදුරටත් එන්නත් නියෝජිත සමාගම්වල තැරැව් කරණයට යටවී "කොවිෂීල්ඩ් එන්නත" පමණක් ලියාපදිංචි කර තිබීම ද, මෙම ගජමුතු ගජමිතුරු ව්‍යාපාරික වුවමනාවන් ගේ කොටසක් බව අප සැක කරමු.

සංචාරකයන්ගේ සහ ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කරමින්, එම ආදායම ගජමිතුරු ගජමිතුරු රෝහල් ගිණුම්වලට බැර කිරීම භාවිතාව, එන්නත් වලට අදාලවත් සිදුවීමේ ප්‍රවණතාවයක් අප නිරීක්ෂණය කරමු. කොරෝනා මර්ධනය සඳහා රටක් ලෙස විශාල මුදලක් වැය කරමින් තිබෙන මොහොතක දී, සෞඛ්‍ය සේවාව වෙණුවෙන් ඉපයිය හැකි ආදායම, එලෙස මිතුරන් අතට පත් නොකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ රජයේ ආදායමක් ලෙස පවත්වා ගැනීමට, ඊට අදාල රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව තිබිය යුතුය.

රවී කුමුදේස්