පස්දුන්රට ජාතික අධ්‍යාපන පීඨය වෛද්‍ය පීඨය කිරීම අකුලාගන්නා ලෙස ඉල්ලයි

පස්දුන්රට ජාතික අධ්‍යාපන පීඨය වෛද්‍ය පීඨය කිරීම අකුලාගන්නා ලෙස ඉල්ලයි

පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය බිලිදී යෝජිත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ උත්සාහය හෙළාදකින බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මොරටුව විශ්වවිද්‍යාලයේ යෝජිත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා පස්දුන්රට ජාතික අධ්‍යාපන පීඨ පරිශ්‍රය යොදාගැනීමේ හා එම පීඨයේ පුහුණුව ලබන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙනත්    විද්‍යාපීඨවලට අනුයුක්ත කිරීමේ උත්සාහයක් පවතින බව දැනගන්නට ලැබෙන අතර එම අත්තනෝමතික උත්සාහය පිළිබඳව අපගේ දැඩි පිළිකුළ හා බලවත් විරෝධය ප්‍රකාශකර සිටිමු.

තවත් වෛද්‍ය පීඨයක් ඉදිකිරීම සතුටුවිය හැකි කාරණයක් වුවද, ආණ්ඩුව එම වෛද්‍ය පීඨය ඉදිකිරීමෙදී මේ රටේ ඉතාමත් වැදගත් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයක් බිලිදීමට සූදානම් වන්නේ නම් එය ඉතාමත් කණගාටුවට කාරණයකි. පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය මේ රටේ පාසල් පද්ධතිය සඳහා සියවසකට වැඩි කාලයක් තිස්සේ පුහුණු ගුරුවරුන් බිහි කළ විද්‍යා පීඨයකි. 1908 සිට 1985 දක්වා මියුසියස් ගුරු විද්‍යාලය ලෙසත්, 1985 සිට පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ලෙසත් මෙට ජාතික අධ්‍යාපන පද්ධතියට පුහුණු ගුරුවරුන් දායාද කිරීමේදී මෙම ආයතනය ඉටුකර ඇත්තේ සුවිශේෂී කාර්යභාරයකි. ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා මේ වනවිට රට පුරා ඇති විද්‍යා පීඨ 4 න් එකක් වන මෙම විද්‍යා පීඨය වසරකට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 250 - 300 ක් අතර ප්‍රමාණයකට පුහුණුව ලබාදෙන ආයතනයකි. ගුරු හිඟයක් ඇතැයි කියමින් දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ගුවන් හමුදා නිලධාරීන් යෙදවීමට යෝජනා කළ අධ්‍යාපන අමාත්‍යාංශයම එවැනි යෝජනාවක් කර ඉතා කෙටි කාලයක් තුළ දශක ගණනාවක් ඉංග්‍රීසි ගුරුවරු පුහුණු කළ ප්‍රධාන විද්‍යා පීඨයක් වසා දැමීමට තීරණය කරන්නේ නම් එය ඔබතුමා යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇදවැටී ඇති තත්ත්වය පෙන්වන පිළිබිඹුවකි.

පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය මෑතක සිට ඉංග්‍රීසි භාෂා විෂයට අමතරව, ෂක්‍ඔ, ප්‍රාථමික අධ්‍යාපනය හා ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය සඳහාද මෑතක සිට ගුරුවරු පුහුණු කිරීම ආරම්භ කර ඇති අතර එවැනි පීඨයක් වසා දැමීමට තරම් අධ්‍යාපන අමාත්‍යාංශය බංකොළොත් තත්ත්වයට ඇදවැටුණේ කෙසේදැයි අපි ප්‍රශ්න කර සිටිමු. කළ යුත්තේ පවතින ගුරු හිඟය සලකා තව තවත් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කිරීම මිස මෙවැනි අමනෝඥ තීරණ ගැනීම නොවන බවද අපි දැඩිව අවධාරණය කරමු.

එසේම යෝජිත වෛද්‍ය පීඨය කඩිනමින් ස්ථාපිත කිරීමද දැඩි අවශ්‍යතාවයකි. සෞඛය අර්බුද ගහන මෙවැනි වටපිටාවක රටට ගුණාත්මක වෛද්‍යවරු බිහිකිරීම සඳහා වෛද්‍ය පීඨ තවතවත් ආරම්භ කළ යුතුවේ. නමුත් වෛද්‍ය පීඨයක් බිහිකිරීමේදී එය සිදුකළ යුත්තේ කොහේ හෝ ඇති ගොඩනැගිලි කිහිපයක් වෙන්කරගෙන ටියුෂන් පටන්ගන්නා සේ නොවන බවද දැඩිව අවධාරණය කරමු. රජරට වෛද්‍ය පීඨය, නැගෙනහිර වෛද්‍ය පීඨය මෙලෙස ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවශ්‍ය මූලික පහසුකම් ස්ථාපිත කරගැනීම සඳහා සිසුන්ට අධ්‍යාපනය පැත්තක දමා මහ මග වසර ගණනාවක් උද්ඝෝෂණ කිරීමට සිදුවිය. එවැනි තත්ත්වයක් තුළ මොරටුව විශ්වවිද්‍යාලයේ යෝජිත වෛද්‍ය පීඨය සුදුසු ස්ථානයක කඩිනම් අවශ්‍ය පහසුකම් ස්ථාපිත කොට ආරම්භ කිරීම වෙනුවට පස්දුන්රට විද්‍යා පීඨය බිලිදී එහි ගොඩනැගිලිවල වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට සූදානම්වීම යනු ගම සමග පිළිසඳරක් වැඩසටහන තුළ රාජ්‍ය නායකයා ප්‍රශ්න විසඳන්නා හා සමානම විකාරයකි. එය එ`එවාගේ බෙල්ලත් කපා මුට්ටියත් බිඳ දැමීම පන්නයේ ක්‍රියාවකි.

එම නිසා පස්දුන් රට ජාතික අධ්‍යාපන පීඨය විනාශකර යෝජිත වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ අමනෝඥ තීරණය හකුළා ගන්නා ලෙසත්, වෛද්‍ය පීඨය සුදුසු ස්ථානයක අවශ්‍ය පහසුකම් සහිතව ස්ථාපිත කරන ලෙසත් අපි ඉතා දැඩිව අවධාරණය කර සිටිමු.