කොවිඩ් වසංගතය හමුවේ අසරණ සිටිනව ගෘහ සේවකයින්ගේ කඳුළු කතාව

කොවිඩ් වසංගතය හමුවේ අසරණ සිටිනව ගෘහ සේවකයින්ගේ කඳුළු කතාව

පවතින කොවිඩ් වසංගතය හමුවේ කිසිදු පිළිසරණක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති කම්කරු ප්‍රජාවක් ලෙස ගෘහස්ත කම්කරුවන් එසේත් නැත්නම් ගෘහ සේවකයන් හැඳින්විය හැකිය. වසංගතය හමුවේ තම රැකියා අහිමිව අතේ සතේ නොමැතිව ජීවිතය ගැටගසා ගන්නේ කෙසේදැයි අවිනිශ්චිතව සිටින ඔවුන්ගේ කතාව කිසිදු බලධාරියකුට පෙනෙන්නේ නැත. මෙවැනි අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් රජයේ මැදිහත් වීම අත්‍යාවශ්‍යය වී ඇත. මක් නිසාද යත් ඔවුන්ද රටේ ආර්ථිකයට සැලකියයුතු කොටසක් දායකත්වය දක්වන නිසාවෙනි.  ජානාධිපතිතුමණි, ගරු කටයුතු පාර්ලිමේන්තු ලොක්කනි ඔබව පත්කර ගත් ජනතාව බඩගින්නේ. ඔවුන් වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන්න. මේ ගෘහ සේවිකාවකගේ කතාවයි.

මගේ නම නිරූපා. මම ගෘහ සේවකයෙක් විදිහට අවුරුදු හතරක් තිස්සේ වැඩ කරමින් ඉන්නවා. ඒ අවුරුදු 4ක කාලය තුළ නිවාස 5ක සේවය කළා. ඒ කිසිම් නිවසක ප්‍රමාණවත් පඩියක් ගෙව්වේ නැහැ. එක එක ගෙවල් අනුව පඩිය වෙනස්. සමහර දවස් වල දවසම වැඩ කළාම රුපියල් 750යි ලැබෙන්නේ. උදෙන්ම ගෙදරින් හියාම හොඳටම හවස් වෙලා තමයි ගෙදර එන්න ලැබෙන්නේ. සමහර දවස්වලට රෑත් වෙනවා. අපි ගොඩක් මහන්සි වෙලා වැඩ කළත් කවදාවත් ඒ මහන්සියට හරියන වැටුපක් ලැබෙන්නේ නැහැ. ලැබෙන වැටුපෙන් ප්‍රවාහනයටත් ගාණක් වියදම් වුණාම අතට ඉතුරු වෙන්නේ ඉතා සුළු මුදලක්. ඒකෙන් හැමදේම කරගන්න ඕන. අපට වැටුප් ලැබෙන්නේ අප රැකියාවට ගියහොත් පමණි. අසනීපයක් වෙලා ගෙදර හිටියොත් එදාට කන්න විදිහක් නැහැ.

මගේ ස්වාමිපුරුෂයා කුලී වැඩ කරන්නේ. ඔහුගේ වැටුප ප්‍රමාණවත් නැහැ අපිට තියෙන වියදම් පියවගන්න. මට දුවෙක් ඉන්නවා. ඇය පාසල් යනවා. කොරෝනා හේතුවෙන් පාසැල් වහලා තියෙන නිසා Zoom වලින් තමයි ඉගෙන ගන්නේ. අමතර පන්ති පවා Zoom වලින් තියෙන්නේ. හැබැයි ඒ ගාස්තු අනිවාර්යෙන් ගෙවන්න ඕන. ඒ ගාස්තු ගෙවන්න සල්ලි නැති නිසා අමතර පන්ති වලට සම්බන්ධ වෙන එකත් නතර කළා. Zoom වලින් පාසලේ කටයුතු වලට සම්න්ධ වෙද්දී ඩේටා කාඩ් වලට ලොකු වියදමක් යනවා. සංචරණ සීමා නිසා දැන් රස්සාවට යන්නත් විදිහක් නැති නිසා ඩේටා කාඩ් එකක්වත් ගන්න විදිහක් නෑ. ළමයාගේ අධ්‍යාපන කටයුතු නතර වෙලා තියෙන්නේ.

මම  සේවය කරන නිවසෙන්  දුරකථන ඇමතුමක්වත් ගන්නේ නැහැ. අපි කොහොම ජිවත් වුණත් එයාලට ඒවා වැඩක් නැහැ. බැරිම තැන ගිය මාසෙ කීයක් හරි දෙන්න කියල බැගෑපත් වුණා. ආයේ එඅදට ආවම කපා ගන්න කියල සල්ලි ඉල්ලුවම රුපියල්

2000ක් දුන්නා. කොරෝනා ඉවර වුණාම ඒ ණයට හරියන්න පඩි නැතුව දවස් 3ක් විතර වැඩකරන්න වෙයි.

අපි ජිවිත කාලෙම හම්බ කරලා මේ රස්සාවෙන් මන් ඉතුරුකරගත්තු දෙයක් නෑ. ඉතින් අපේ රස්සාවෙන් අපිට හොඳ පඩියක් ලැබුණානම් එහෙම ඉතුරු කරගෙන මේ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න තිබුණා.

ලයිට් බිල් වතුර බිල් ගොඩගැහිලා. ඒවා ගෙවාගන්න විදිහක් නෑ. දැන් අපි බයේ ඉන්නේ කොයි  වෙලේ හරි ලයිට්, වතුර කපයි කියල. අපි ජීවත් වෙන්නේ Flat නිවසක. නිවාස කුලිය ලෙස මසකට රු. 2800 ක්. මාස 3කින් ඒක ගෙවලත් නැහැ. දියණිය අසනීප වුවද බෙහෙත් මිලදී ගැනීමට මුදල් නැත.

අන්තිමට සංචරණ සිමා දාල පාරවල්  වසා දමා මාස එකහමාරක් විතර ගත වෙලා තියෙනවා. අපට රජයෙන් කිසිම සහනයක් ලැබෙන්නේ නෑ. අඩු ආදායම් ලාභී පවුල් වලට රජයෙන් 5000 දෙනවා කියල ප්‍රවෘත්ති වලට කිව්වට අපිටනම් රුපියලක්වත් ලැබුනේ නැහැ. ආණ්ඩු හැමදාම කලෙම් අපිව රවට්ටපු එක. අපිට සමෘද්ධියත් නැහැ.

ප්‍රොටෙක්ට් සංගමය විසින් ලෝක කම්කරු සංවිධානය සමග එකතුවෙලා පලවෙනි කොරෝනා රැල්ල වෙලාවේ ගෘහ සේවකයින් සඳහා රුපියල් 5000 ගානේ බඩුගන්න වවුචර් දුන්නා. ඒ වෙලාවේ ඒක අපිට ලොකු හයියක් වුණා. ප්‍රොටෙක්ට් එකටයි ILO එකටයි අපි ඒ ගැන ස්තූතිවන්ත වෙනවා.

රජයේ සේවකයන්ට එයාල රස්සාව කරලා ඉවරවුණු කාලෙට විශ්‍රාම වැටුපක් තියෙනවා. ඔවුන් රැකියාව කරලා ඒක කරගන්න බැරි කාලෙට නිදහසේ ඉන්න මිය යන තුරුම  වැටුපක් ඇත. ප්‍රයිවට් රස්සා කරන අයටත් ETF එක තියෙනවා. ඒත් ගෘහ සේවිකාවනට ඒ කිසිම දෙයක් නෑ. කිසිම දීමනාවක් නැහැ. වැඩ කරගන්න බැරිවුණු කාලෙට කාගේ හරි යටතේ අසරණ වෙලා මැරෙන්න වෙන්නේ.  

අප රැකියා ස්ථානයේ වැටුණත්, කරදරයක් වුණත්, අසනීපයක් හැදුනත්  ඔවුන් අපව රෝහලකට හෝ  රැගෙන යන්නේ නැහැ. ඒ සියලු වේදනා සහ වියදම් අපි දරාගන්න ඕන.

රජයේ සේවකයන්ට ගෙදර හිටියත් පඩි ලැබෙනවා. ප්‍රයිවට් රස්සා කරන අයට පඩියෙන් භාගයක් හරි ලැබෙනවා. අපි වගේ ගෘහ සේවකයන් බඩගින්නේ ඉන්නවා.

අපිට නීතියක් නැති නිසයි මේ ප්‍රශ්න වලට මුණ දෙන්න වෙලා තියෙන්නේ. ගෙවල්වල වැඩකරන අයටත් හරි පඩියක්, වැඩකරන වෙලාවක්, නීතියෙන් හදලා දෙනවනම් මේ ප්‍රශ්න අඩු වෙනවා. මේ වගේ වසංගතයක් වෙලාවට අපිට මොකක් හරි ආරක්ෂාවක් තිබුනනං අපිට මෙහෙම වෙන්නේ නැහැ.

ILO සංවිධානයෙන් ගෙවල් වල වැඩකරන අයට ගෙනාපු C189 කියල පනතක් තියෙනවලු. ඒ නිතිය රජය සම්මත කරලා අපිටත් නීතියක් හදන්න කියල අපි රජයට කියනවා. ඒ පනතට දැන් අවුරුදු 10ක්. කරුණාකර අපිට ඒක රට ඇතුලේ සම්මත කරලා දෙන්න.

ගෘහ සේවක දිනය ජූනි 16. මේ දිනය ගැන කවුරුත් දන්නේ නැහැ. අපේ රස්සාව රස්සාවක් විදිහට කම්කරු කාර්යාලයෙන් පිළිගන්නේ නැහැ. අපි රජයට කියන්නේ අපිත් වැඩකරන මිනිස්සු. අපි කරන්නෙත් රස්සාවක්. ඒක පිළිගන්න. නැත්නම් ගෙවල් වල අයිතිකාරයෝ කවදාවත් අපිට සලකන විදිහ වෙනස් කරන්නේ නැහැ. 

ඒ වගේම මේ කොරෝනා වසංගතය ඉවරවෙනකන් සහනාධාරයක් ලබා දෙන්න කියල අපි ඉල්ලනවා. අපි ගෘහ සේවකයන් විදිහට අපේ සංගමයෙන් ඇමතිතුමා හමු වී අපේ ගැටළු කියන්න කම්කරු කාර්යාලයට එන්න බලාපොරොත්තු වෙනවා.