රජය දරුවන්ගේ සම අධ්‍යාපනය රැකීමට අසමත් වෙලා

රජය දරුවන්ගේ සම අධ්‍යාපනය රැකීමට අසමත් වෙලා

කෝවිඩ් 19 වසංගත තත්වයන් තුළ පාසල් අධ්‍යාපනය කඩා වැටීම හා දැයේ දරුවන්ට සම අධ්‍යාපනය අයිතිය තහවුරු කිරීමට ආණ්ඩුව අසමත් වීම සම්බන්ධයෙන් පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයක දැක්වේ.

එම මාධ්‍ය නිවේදනයට අනුව, කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තිය තුළ දිවයිනේ සියලූම පාසල් මේ වනවිට වසා දමා ඇති අතර, වසරකුත් මාස 3 කට වැඩි කාලයක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වී ඇත. ගුරුවරු මෙන්ම දෙමාපියන්ද තම මුදල් වියදම් කරමින් ස්වෙච්ඡුාවෙන් සිදුකරන මාර්ගගත (online) අධ්‍යාපනය හැරෙන්නට පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විධිමත් වැඩපිලිවෙලක් මේ වනතුරු සකස් කර නොමැත.

මෙරට පරිගණක සාක්ෂරතාවය 33.3% පමණ වන අතර ඩිජිටල් සාක්ෂරතාවය මුළු ජනගහණයෙන් 46% ක් පමණ වේ. මේ තත්වය තුළ ලක්ෂ 43 ක් පමණ වන දරුවන්ගෙන් 60% කට පමණ මේ වනවිට මුළුමනින්ම අධ්‍යාපනය අහිමි වී ඇත. අධ්‍යාපන ලේකම්වරයා ප‍්‍රකාශ කරන ආකාරයට අන්තර්ජාල ආවරණ නොමැති ප‍්‍රදේශවල පාසල් 3000 ක් පමණ පිහිටා ඇත. එසේම මෙරට අතිවිශාල පිරිසක් දරිද්‍රතාවයෙන් යුතුව සිටින අතර ඔවුන්ගේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපනයට අවශ්‍ය පරිගණක ඇතුලූ උපාංග ලබාගැනීමට නොහැකිවීමෙන් දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, සම අධ්‍යාපන අවස්ථා බරපතල ලෙස අහිමිව ඇත.

එක්සත් ජාතීන්ගේ ළමා ප‍්‍රඥප්තිය මගින්ද සම අධ්‍යාපන අවස්ථා පිළිගෙන ඇති අතර, එම අවස්ථාවන් ලබාදීම රජයේ වගකීම වේ. එසේම ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව අනුව අධ්‍යාපනය ලැබීම මූලික අයිතිවාසිකමකි. එසේ තිබියදී මේ ආකාරයෙන් පාසල් දරුවන්ට දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අවස්ථා අහිමිවීම සම්බන්ධයෙන් විකල්ප ක‍්‍රියාමාර්ග හඳුන්වාදීමට බලධාරීන්ට මේ වනතුරුද නොහැකි වී ඇත. කෝවිඞ් 19 වසගත තත්වය තුළ පාසල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත්වීම තුළ පැහැදිලි වන්නේ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් රජයටද නොමැති බවයි.

පසුගිය දිනෙක ජනාධිපතිවරයා ජාතිය ඇමතූ අවස්ථාවේදී මෙරට වැඩ කරන ජනතාව බලාපොරොත්තු වූයේ කඩා වැටී ඇති අධ්‍යාපනය පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ඇති බවටයි. එහෙත් ජනාධිපතිවරයා පැවසූයේ පාසල් දස දහසකට ‘‘ෆයිබඔප්ටික්’’ තාක්ෂණය ලබාදී ඇති බවයි. මෙරට වැඩ කරන පන්තිය නියෝජනය කරන අයගේ දරුවන් පවා දිනපතා අන්තර්ජාල පහසුකම් සෙවීමට ගස්, ගල් හා වහල මත නගිමින් බරපතල පීඩාවකට පත්වන ආකාරය අප දිනපතා අත්විඳිමු. මාර්ගගත අධ්‍යාපනය තුළ මෙරට වැඩකරන ජනතාව බරපතල පීඩාවකට පත්ව ඇත්තේ අවශ්‍ය පරිගණක උපාංග හා අන්තර්ජාල සබඳතා සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීමෙනි. මාධ්‍යවල පළවන තොරතුරුවලට අනුව අධ්‍යාපන අමාත්‍යංශය පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ වසරකටත් වඩා වැඩි කාලයක් අධ්‍යාපනය අහිමි වූ පසුවයි. විශේෂයෙන් මුල් ළමාවිය සංවර්ධනය සහ ප‍්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය මිට වඩා සැලකිලිමත් විය යුත්තේ ඒ මත දරුවන්ගේ මෙන්ම රටේ අනාගතයද රඳා පවතින බැවිනි.

ඉහත තත්වයන් සම්බන්ධයෙන් ඔබගේ මාධ්‍ය ආයතනය හරහා පුළුල් ප‍්‍රචාරයක් ලබාදෙමින් රටේ සියලූම දරුවන්ට පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි විධිමත් වූ විකල්ප වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ සෘජු අවධානය යොමු කරවා ගැනීමට අපි අපේක්ෂා කර සිටිමු. එහිදී දැනට භාවිතා වන මාර්ගත අධ්‍යාපන ක‍්‍රමවේදය වෙනුවට ඔබ මාධ්‍ය ආයතනයේ දායකත්වය ඇතිව ආරම්භ කිරීමට හැකි විකල්ප වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ගොඩනැඟීමටද ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.