ළමා හා කාන්තා හිංසනය පිටු දැකීම සඳහා විශේෂ කතිකාවක් ගොඩ නැගෙයි

ළමා හා කාන්තා හිංසනය පිටු දැකීම සඳහා විශේෂ කතිකාවක් ගොඩ නැගෙයි

කඳුකරයේ ළමා හා කාන්තා හිංසනය පිටු දැකීම සඳහා කඳුකරයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධාන 22 ක් සමග කඳුරට ජනතා පෙරමුණ මගින් විශේෂ සාකච්ඡාවක් පසුගිය 25 වෙනි දින හැටන් ක්‍රිෂ්ණ භවාන් ශාලාවේදී පවත්වනු ලැබීය.

කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන හිංසනය, එය සිදුවීමට බලපා ඇති හේතු, ඒවා වළක්වා ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවල වගකීම හා මැඳිහත්වීම කෙසේද? රජය පාර්ශවයෙන් මැඳිහත්විය යුත්තේ කෙසේද? නීති ක්‍රියාමාර්ග ගත යුත්තේ කෙළෙසද කියා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වේළු සාමි රාදාක්‍රිෂ්ණන් මහතා පැවසීය.

රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයකු වන මෝහන සුබ්‍රමණියම් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තුව පවත්වන එක් දිනයකට රුපියල් ලක්ෂ 92 ක විශාල මුදලක් වැය කරන බවත්, රටේ අනාගතය භාර ගැනිමට සිටින ළමයින්ගේ මෙම ඛේදවාචකය නැවැත්වීමට නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේදී නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවය. පසුගියදා අවසනාවන්ත ලෙස මරණයට පත් ඩයගම දැරියගේ සිද්ධිය යටපත් කිරීම සඳහා එයට චොදනා ලැබ සිටින පුද්ගලයින් විශාල මුදලක් වැය කරන බවත් එම දැරිය ගණිකාවක් ලෙස හඳුන්වාදීමට පෙළඹී ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වූ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන්නේ, වතුකරයේ පවතින වත්මන් අවාසනාවන්ත තත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, වතු ප්‍රජාව දැඩි ආර්ථික අපහසුතාවයන් මධ්‍යයේ ජීවත්වන නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවී ඔවුන්ගේ පවුල් ජීවිත අවුල් වියවුල් තත්වයකට ඇද වැටී ඇති බවය. අධික පොලිය සමග එම ණය ගෙවා ගැනීමට නොහැකිවීම නිසා නිවසේ සිටින තම බාල වයස් දරුවන් විවිධ ප්‍රදේශවල මෙහෙකාර සේවය සඳහා, තැරැව්කරුවන් මාර්ගයෙන් යැවීමට පෙළඹී සිටින බවය. පවතින කොවිඩ් වසංගතය හමුවේමව්වරුන්ට හා වැඩිහිටි කාන්තාවන්ට විදේශ රටවල රැකියා සඳහා යාමට නොහැකි තත්වයක් පවතින නිසා පාසල් අධ්‍යාපනයද නැවතී ඇති අවස්ථාවේ විශේෂයෙන් පාසල් වයසේ පසුවන බාල වයස් ගැහැණු දරුවන් නිවෙස්වල මෙහෙකාර සේවය සඳහා යැවීමට විශාල ලෙස පෙළඹී සිටින බව එම නියෝජිතයින් පෙන්වා දුන්හ.

වතුකරයේ තුළ පාසල් අධ්‍යාපනයට යොමුවන පිරිසෙන් පිරිමි ළමයින් බහුතරයක් අතරමඟ පාසල් අධ්‍යාපනය නවතා ආපන ශාලා, වෙළඳසල්, විවිධ ව්‍යාපාරික ආයතන, නිවාස වල සේවය සඳහා යොමුවන තත්වයක් ඇතිව තිබෙන්නේ එම ළමයි ගැන සොයා බැලීම සඳහා කිසිදු ආයතනයක් නොමැති වීමෙන් බවරාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් මෙහිදී වැඩිදුරටත් පෙන්නා දුන්හ.

උපුටා ගැනීම -අද