රට තුල කොවිඩ් -19 වසංගතය පැතිරීම හේතුවෙන් බොහෝ පිරිසකට තම ජීවනෝපාය කර ගැනීමට නොහැකි වී ඇති අතර බොහෝ දෙනාගේ ආදායම් මාර්ග ද අවහිර වී ඇති බවත්, එම නිසා ලබා ගත් ණය පහසුකම් (ලීසිං) , කල්බදු සහ මුල්‍ය පහසුකම් යලි ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් විශාල පිරිසක් අර්බුදයකට මුහුණ පා අසරණ වී ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කල ඒ අසංග පොතුපිටිය මහතා සංචාරක ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ආනයන සහ අපනයන, ස්වයං රැකියාකරුවන්, උපකාරක ගුරුවරුන්, හෝටල් සහ ආපනශාලා හිමිකරුවන්, පාසල් බස් රථ සහ වැන් රථ හිමිකරුවන්, සුලු ව්‍යාපරිකයන්, කුලී වාහන රථ හිමියන්, පුද්ගලික බස් රථ හිමියන් ආදී ක්ෂේත්‍ර ගණනාවක විශාල පිරිසක් මේ වන විට බරපතළ ගැටලුවකට මුහුණ පා සිටිනවා. ලීසිං ආයතන විසින් අයථා ලෙස දඩ පොලියක් අයකිරීම සහ එම රථ වාහන නැවත අත්පත් කර ගැනීම ඊට හේතුවයි. මේ හේතුවෙන් රට පුරා විශාල පිරිසක් අසාධාරණයට පත්වී තිබෙනවා.
එසේම මහ බැංකුව විසින් ලබා දෙන චක්‍රලේඛ ලීසිං ආයතන විසින් සත පහකට මායිම් නොකර ආයතනයේ අභිමතය පරිදි කටයුතු කරනවා.'මොරටොරියම්' යැයි පැවැසෙන සහනයක් මහා බැංකුව විසින් පාරිභෝගිකයාට ලබා දුන් අතර එය පාරිභෝගිකයා තවත් මහ පාරට ඇද දැමීමක්. මේ අපහසු සහ ජනතාව අසරණභාවයට පත්ව ඇති කාලය හමුවේ 5% අමතර පොලියක් ලබාගෙන ලීසිං වාරිකය වසරක් පසුපසට දැමීමක් සිදු කලානම් යම් සාධාරණයක් තිබෙනවා.
එසේම මහා බැංකුව විසින් නිකුත් කරන චක්‍රලේඛ උල්ලංඝණය කළ ලීසිං සමාගම් සදහා කිසිදු නීතිමය පියවරක් ගෙන නොතිබීම කනගාටුවට සහ කුමක් හෝ රහස් කාරණයක් ඇති බවට සැකයක් ඇතිවන කරුණක්. තවදුරටත් අදහස් දැක්වූ අසංක මහතා 2000/56 යන කල්බදු පනත සංශෝධනය කලයුතු බවත් මෙම පනත මගින් පාරිභෝගිකයාගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කර තිබෙන බවත් ප්‍රකාශකර සිටින ලදී.
ලීසිං ලබා ගත් පසු එය ගෙවා නිම කිරීමට පාරිභෝගිකයා බැදී සිටිනවා. නමුත් කොවිඩ්19 වසංගත හමුවේ සහ නිරෝධයන ඇදිරි නීතිය යටතේ බොහෝ පිරිසකගේ සියලුම ආදායම් මාර්ග නැතිවී අවහිර වී තිබෙනවා. එම නිසා මෙම සහන ඉල්ලා සිටිනවා. දැනට මෙම ගැටලු හේතුවෙන් රටේ ජනතාව මිලියන 8ක ප්‍රමාණයක් ණය තොරතුරු කාර්යංශයේ වර්තා වල සිටිනවා. ඉන් 68% ක් රටේ වැඩිහිටි ජනගහනයයි. මේ කාරණා සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අප සංගමය වෙත දිනකට පැමිණිලි 30-40 අතර ප්‍රමාණයක් ලැබෙනවා. එම නිසා කඩිනමින් මෙම ලීසිං ආයතන විගණනයකට ලක්කොට නියාමනය කර රටේ ජනතාවට සාධාරණයක් කර ජනතාව බේරාගැනීමට මහා බැංකුව කඩිනමින් කටයුතු කල යුතුයි. මින් ඉදිරියටත් මේ කාරණා හේතුවෙන් අසාධාරණයට පත් සමස්ත ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අප සංගමය සූදානම්" යනුවෙන් ද පැවැසීය.
රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමට රජය වහාම මැදිහත් විය යුතුයි
රක්ෂණ ගැටලු වලට ප්‍රධානතම හේතුව රක්ෂණ නියාමන කොමිසමේ නියාමනයක් නොමැති කමයි. ලංකාවේ රක්ෂණ පාරිභෝගිකයා ඉතාමත් සූක්ෂම ලෙස රක්ෂණ ආයතන මගින් රක්ෂණ වන්දි නොගෙවීම ඔස්සේ අසාධාරණය ලක්වන බව සහ රක්ෂණ නියාමණ කොමිසමේ නිසි පාලනයක් නොමැතිකම මෙයට හේතුව බවද ලීසිං සහ ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා සදහන් කලේය.
තවදුරටත් අදහස් දක්වමින් සංජය මහවත්ත මහතා ප්‍රකාශ කලේ මෙම කොරෝනා කාලයේ බහුතර පාරිභෝගිකයන් පිරිසක් කෝරොනා වැළදී නිවෙස්වලට වී ප්‍රතිකාර ලබාගන්නා බවත්, එම පාරිභෝගිකයන්ගේ රක්ෂණ වන්දි මුදල් සදහා වෛද්‍ය වාර්තා නොමැති කමින් ප්‍රතික්ෂේප වීමේ හැකියාවක් පවතින බවත්, ඒ සදහා නිසි වැඩපිලිවෙලක් රජය මැදිහත්වී ලබාදියයුතු බවද, අනීතික ලෙස ප්‍රතික්ෂේප වන වන්දි සදහා සාධාරණ වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සකසන ලෙසද, රක්ෂණ ඔම්බුඩ්ස්මන්වරයාගේ කාර්යභාරය නිවැරදි ලෙස පාරිභෝගිකයාගේ පැත්තෙන් සිදුවිය යුතු බවද ප්‍රකාශ කරන ලදී.
රක්ෂණ නියාමන කොමිසම තුල අකටයුතුකම් බොහෝ සිදුවන බවත්, අඩුම තරමේ ජීව ගණිතඥ තනතුර සදහා ස්ථිර පත්වීමක්වත් නොමැති බව විශේෂයෙන් පෙන්වා දෙන ලදී. එසේම ලෝක බැංකුව මගින් FSMA ව්‍යාපෘතිය හරහා ලැබුන ඩොලර් මිලියන 10ක මුදලට සිදුවුණ දෙය පිළිබඳවද විමසා සිටි සංජය මහතා, ලීසිං ආයතන සහ බැංකු මගින් ලීසිං පහසුකම් ලබාගත් වාහන සදහා රක්ෂණය වන විටදී රක්ෂණය සිදුකරන බ්‍රෝකර් ආයතන හරහා සිදුකරන කේත ක්‍රමය අහෝසි කර රක්ෂණ නියෝජිතයන් මාර්ගයෙන් ලබාදී පාරිභෝගිකයා සුරක්ෂිත කරදෙන ලෙසද ඉල්ලා සිටින ලදී.
ඇමතිවරුන්ට ණය නොගෙවා ඉන්න බැරිනම් අපි කොහොමද ගෙවන්නේ
රටේ පවතින කොවිඩ් 19 තත්වය යටතේ විරැකියාව ඉහල ගිහින් කියල ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියනවා. එහෙම තත්ත්වයක් යටතේ අද තියෙන ව්‍යාපාර හා සේවා වලට අදාළ අයගේ රැකියා අති විශාල ප්‍රමාණයක් අවදානමේදාන මේ ලීසිං හා ණය පිලිබඳ ගැටලුව ඉතාමත් දරුණු මට්ටමේ පීඩනයක බවට පත්වෙමින් තිබෙන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ලේකම් සුමේධ අමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ ජනතාව මේ පීඩනය කොච්චර දුරක් යනකන් දරාගෙන ඉඳීද කියල අපට විශ්වාස නෑ. රට වහල තිබුන පහුගිය දවස් කීපය තුලත් අනෙක් හැමෝම වැඩ උනත්, මේ ගැටලුවට අදාළ බොහෝ පිරිස් ගෙදරට වෙලා ඉන්නේ. ඔවුන් මේ දිනවල ජීවත් වුනේ ඊට පෙර දින ටිකේ හම්බ කරගත් සල්ලි වලින්. දැන් ඒ මුදලුත් ඉවර වෙලා. ඒ අතර මේ මාසය තුලත් ලීසිං, ණය වාරික ගෙවා ගැනීමට මේ ජනතාවට හැකිවේද කියන ප්‍රශ්නය මතුව තියෙනවා. රජය මේ පිළිබඳව මීට වඩා මැදිහත් වෙන්න ඕනේ වුනත් එහෙම වෙන බව පේනතෙක් මානයකවත් නෑ.
දැන් බලන්න පියල් නිශාන්ත රාජ්‍ය ඇමති කියන කතා. කෝවිඩ් වලට සල්ලි දෙන්න බෑලු. හේතුව ණයට මුළු පඩියම කැපිල යනවලු. අනේ මන්ත්‍රී තුමා.. පොඩ්ඩක් කියනවද අපිටත් මුලු පඩියම කපල ගන්න ආයතනය මොකක්ද කියල? එහෙම පුලුවන්ද ණය ගන්න?, ණය දෙන්න? ගෙදර අය කන්නේ අහවල් එකෙන්ද? අපිට සැහෙන්න සැකයක් එන කාරණයක් මේක! සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අමාරුව මේ අයගේ මේ කතාවෙන්ම ඔප්පු වෙනවා නේද? මාධ්‍ය ඉස්සරහට ඇවිත් VOICE CUT දෙන මැති ඇමතිලා හැමෝටම එළිපිට මෙහෙම කියන්න පුළුවන් මට ගෙවන්න බෑ කියල. එත් ඒක අපි කාටද කියන්නෙ? ණය, ලීසිං උගුලට අහුවෙලා ඉන්න අනික් අය මිනිස්සු නෙවේද? එයාලගේ නිවාස, වාහන, ව්‍යාපාර සින්න වෙලා මහමගට වැටුනට කමක් නැද්ද? නිවාස ණය, වාහන ලීසිං, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපරිකයන්, පුද්ගලික ණය කියන මේවා මේ තත්වය යටතේ ගෙවන්නේ කොහොමද?, හරියට ජීවත් වෙන්නවත් මුදල් හම්බ කරගන්න අවස්තාවක් නැතුව? රටේ ජනගහනයෙන් වැඩි පිරිසක්, මිලියන 8කට ආසන්න ජනතාවක් දුක් විඳින මේ ප්‍රශ්නයට තවමත් රජය හරි පිළිතුරක් ලබාදෙන්නේ නෑ. මහ බැංකුව නිහඬයි. වියාපාර වෙන්දේසි කරමින්, වාහන අයත් කරගනිමින්, දේපල වෙන්දේසි කරමින් මේ මුල්‍ය ආයතන කරන ක්‍රියාව මැති ඇමතිලා වගේ බලපුලුවන්කාර කම් දාල විසඳගන්න පුලුවන්ද සාමාන්‍ය අයට? මේ අවනීතිය හදලදීල තියෙන්නෙත් මේ 225මනේ!
මහ බැංකුවම කියන විදිහට පහුගිය වසරේ ලාබ ලබපු ආයතන ගත්තම උඩින්ම ඉන්නේ බැංකු සහ මුල්‍ය ආයතන. ඔවුන් ලබපු ලාබය ඊට පෙර අවුරුද්දට සාපේෂව බැලුවම දෙගුණයකට වඩා වෙනවා. සමහර ආයතන දස ගුණයක් ලාබ ලබල. එකත් මේ කෝවිඩ් තත්වය තුල. එත් පොඩි අය අන්ත අසරණ වෙලා. කොහොමද මේක වෙන්නේ? මේ සියලුම මුල්‍ය ආයතන හා බැංකු පොදු මහජනතාවගේ රීරි මාංශය උරා බීල, කාල තමයි ඒක කරලා තියෙන්නේ. මේ ලබාදෙන සහන අස්සෙත් GAME ගහල තමා මේක කරලා තියෙන්නේ.
රටේ ආර්ථිකය නගාහිටුවන්න නම්, රටේ සුළු හා මද්‍ය පරිමාන වියාපාර නගා සිටුවන්න ඕනෙ. පුද්ගලිකව දෙන සේවා වලට උදව් සහ සහන දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට තේ කර්මාන්ත වලට, කුඩා ඇඟලුම් වියාපාර වලට උදව් දෙන අතරේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ සේවා සපයන්නන්ට, බස් ආදී පොදු ප්‍රවාහන සේවා වලටත් ත්‍රීවීල්, වෑන්, කාර් ආදී කුලීරථ ක්ෂේස්ත්‍රයේ අයටත් සහන සහ උපකාර ලබා දිය යුතුයි. රජයෙන් මේ සඳහා තල්ලුවක් නැත්තන් කොහොමද රටේ ආර්ථික චක්‍රය කරකැවෙන්නේ?
මහජනයා අතර මුදල් සංසරණය වෙන්නේ? ඇත්තටම රටේ ආර්ථික චක්‍රය කරකැවෙන්නෙත්, මහජනයා අතර මුදල් සංසරණය වෙන්නෙත් මේ පෙර කිව්ව ක්ෂ්ත්‍ර නිසානේ. නැතුව අධික ලාභ ලබන, මහා ව්‍යාපරිකයන් ටික දෙනෙක්ගෙන් නෙවෙයිනේ? ඒ අය අතේ රටේ සල්ලි හිරවෙලා තියෙනවා. සංසරණය වෙන්නෙ නෑ.ඒවා ගන්නත් රජය සහ මහ බැංකුව කටයුතු කලයුතුයි. හැබැයි නොවෙන්නෙත් ඒකමයි. නය, ලීසිං ගෙවන්න, ජීවත්වෙන්න සල්ලි උපයන්න අවස්තාව ඕනේ. එලියට බහින්න බෑ කොරෝන නිසා මරණ සිද්ද වෙනවා. එහෙම තියෙද්දිත් මරණ වරෙන්තුව අරන් මේ අයගෙන් කොටසක් උපයන්න එලියට බහිනවා. කොටසකට ඒකත් කරන්න බෑ. එක්කෝ තිබ්බ ව්‍යාපාර වැටිලා. නැත්තන් ඒ අදාළ ක්ෂේත්‍රයම කඩා වැටිලා. ඒවගේ තවත් කාරණා බොහොමයක් තියෙනවා. මේවට පිළිතුරු ඕනේ නිසා තමා ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය ඉදිරිපත් වෙලා මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කරන්නේ.