හමුදාවෙන් ලබාදෙන එන්නත් සම්බන්ධ දත්ත වාර්තාවීමේ ගැටලුවක්

gmoa

යුද්ධ හමුදාව මගින් සිදුකරන එන්නත්කරණ කටයුතුවලට අදාළ දත්ත නිවැරදි ආකාරයෙන් වාර්තා නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරකසභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ලැබෙන එන්නත් සම්බන්ධ දත්ත නිසි පරිදි ගබඩා වන බවත් යුද්ධ හමුදාවෙන් දෙන එන්නත් සම්බන්ධව දත්ත නොලැබීමේ ගැටලුවක් පවතින බවත් වෛද්‍යවරයා ‘අනිද්දා‘ පුවත්පතට පවසා ඇත. 

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ප්‍රමාණවත් එන්නත් මාත්‍රා සංඛ්‍යාවක් තම කාර්යාලවලට නොලැබෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දිගින් දිගට ම පැවසූ බවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහුට නිවැරදි දත්ත නොලැබෙන බව ප්‍රකාශ කළ බව ද වෛද්‍යවරයා පැවසීය.

බොහෝ අවස්ථාවල සෞඛ්‍ය අංශ මගින් එන්නත් ලබා දෙන ස්ථානවල ජනතාව විශාල වශයෙන් ඒකරාශී වන අයුරු දැකගත හැකි අතර එන්නත් ප්‍රමාණවත් නොවී ගැටලුකාරී තත්ත්වයන් ද එම ස්ථානවල ඇති වූ බව වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් විමසූ විට වෛද්‍යවරයා පැවසුවේ, ”හැමවෙලාවෙ ම පෙන්නන්නේ සෞඛ්‍ය අංශයේ එන්නත් කිරීම් වැඩපිළිවෙළ අකාර්යක්ෂමයි කියලා. ඒ ගැන හොයල බැලුව ම අකාර්යක්ෂමතාවක් නෙමෙයි සිද්ධවෙලා තියෙන්නේ, එන්නත් ලබා ගන්න එන පිරිසට අවශ්‍ය එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන්නේ නෑ. එන්නත් 3,000ක් ඕනෑ තැනට එන්නත් 400-500ක් වගේ නිකුත් කරන්නේ,” යනුවෙනි.

එයට හේතුව ලෙස වෛද්‍යවරයා පෙන්වා දුන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් එන්නත් නිකුත් කරන අතර එහිදී යුද්ධ හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා එක්ව යුද්ධ හමුදාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය නිකුත් කර ගන්නා බවත් ඉන්පසු ඉතිරි එන්නත් සෞඛ්‍ය අංශවලට බෙදා දෙන බවත් ය.

තව ද යුද්ධ හමුදා ප්‍රකාශකයෙකු ලබා දුන් එන්නත් ප්‍රමාණය ප්‍රකාශයට පත් කළත් නිවැරදි දත්ත ප්‍රකාශවීමක් එහිදී සිදු නොවන බව ද ඔහු පැවසීය.

යුද්ධ හමුදාව එන්නත්කරණ කටයුතු සිදුකිරීමේ ගැටලුවක් නොමැති බවත් එන්නත් ලබා දිය යුතු ප්‍රදේශ සහ එන්නත් ලැබිය යුතු පුද්ගලයන් තෝරාගැනීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවන බවත් ඒ හේතුවෙන් කොරෝනා මරණ සංඛ්‍යාව අවම කරගැනීමට පවා නොහැකිව ඇති බවත් ඔහු පැවසීය.

ඔහු පැවසුවේ අවුරුදු 60ට ඉහළ පිරිසට එන්නත් ලබා දී අවසන්ව නොමැති පසුබිමක අවුරුදු 20-30 වයස් කාණ්ඩ එන්නත් කිරීම ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ විද්වත් කමිටුව මගින් එන්නත් ලබාදීම සම්බන්ධ තීරණ ගත යුතු බවත් හා කොවිඩ් මූලස්ථානයට අවශ්‍ය පරිදි තීරණ නොගත යුතු බවත්ය.

එන්නත් නිකුත් කරනුයේ කාටද යන කාරණය හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නොදන්නා තත්ත්වයකට එන්නත්කරණ කටයුතු අයාලේ යන බවක් පෙනෙන්නට ඇතැයි ඔහු පැවසීය.

එන්නත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, තමාට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසත්ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

(ප්‍රියාශා හෙට්ටිහේවා - අනිද්දා)