වසංගතය නිසා අසරණවූ අවිධිමත් අංශයේ කම්කරුවන්ට ප්‍රොටෙක්ට් සංගමයෙන් සහනාධාර

වසංගතය නිසා අසරණවූ  අවිධිමත් අංශයේ කම්කරුවන්ට ප්‍රොටෙක්ට් සංගමයෙන් සහනාධාර

වසංගතය නිසා තම ආදායම් අහිමි වූ අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා සහනාධාර බෙදා දීමේ වැඩසටහනක් අද ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් ආරම්භ කළා. මෙහිදී, සංගමයේ සාමාජිකයන් වන ගෘහස්ථ කම්කරුවන් ඇතුළු අවිධිමත් අංශයේ කම්කරුවන් වෙත ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා වව්චර් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම හැටන් ශාඛා කාර්යාලයේදී සිදු විය.

මෙම වැඩසටහන අදියර කිහිපයක් යටතේ කොළඹ, හැටන් සහ ලක්ෂපාන ශාඛා මගින් සිදු කිරීමට සංගමය කටයුතු සකස් කර ඇති අතර සාමාජිකයන් වසංගත කාලය තුළ පත්ව ඇති පීඩාවට යම් සහනයක් ලබා දීම මෙහි අරමුණයි. පසුගියදා රජය මගින් ආදායම් අහිමි වූවන්ට රුපියල් 2000ක සහනාධාර ලබා දීමට තීරණය කළ ද එය ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට බව දක්නට ලැබේ. එසේම එම රුපියල් 2000 ලොක් ඩවුන් කාලයට තබා සතියකටවත් ප්‍රමාණවත් නොවන බව දිනෙන් දින අහස උසට බඩු මිල ඉහළ යවන ආණ්ඩුව විසින්ම ඔප්පු කර ඇත.

එසේම මේ කාර්යයයේදී ආණ්ඩුව සිතා සිටින්නේ අවිධිමත් අංශයේ කම්කරුවන් හෝ දෛනික වැටුප් අහිමි වූවන් යනු රට අරින වහන විදිහ අනුව රැකියා ලැබෙන පිරිසක් බවය.මෙම වසංගතය නිසා අවිධිමත් අංශයේ කම්කරුවන් බොහෝ පිරිසක් මාස ගණනාවක් තිස්සේ තම ජිවනෝපාය අහිමි වී ඇත. තවත් බොහෝ පිරිසකට වසංගතය දෙවන රැල්ලේ සිටම රැකියා අහිමි විය. මේ ගැන කිසිදු සැලකිල්ලකට නොගෙන  ඔවුන් පසුගිය අගෝස්තු 22 දින ඉදිරිපත් කළ චක්‍රලේඛයෙන් කියා සිටියේ රට වැසූ නිසා පිඩාවට පත් ජිවනෝපාය අහිමි වූවන් සඳහා රු. 2000ක් ලබා දෙන බවය.

මෙවැනි තීරණ වලින් පෙනී යන්නේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාව ගැන  කිසිදු සැලකිල්ලක් නොදක්වන බවය. එපමණක් නොව ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායටද මේ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බවය.

නොඑසේ රට තුළ සීග්‍රයෙන් ඉහළ  ගොස් ඇති බඩු මිල ඉහළ යාම නොදන්නවා විය හැකිය. අප සිතන්නේ මේවා ඔවුන් නොදැන කරන කටයුතු නොවේ. මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් විසින් සාමාන්‍ය ජනතාව පිළිබඳව සහ ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳව දක්වන සැලකිල්ල මෙය නම් එය ඉතා ඛේදජනකය.

තමාට ජිවත් විය නොහැකිව බඩගින්න ඉවසා ගත නොහැකිව, මෙම ජනතාව වසංගතය පසෙකලා වීදි බැසීම වැඩි ඈතක නොවේ. එම නිසා මෙම අදායම් අහිමි වූ කම්කරුවන් සඳහා රජය විසින් වසංගතය අවසන් වන තුරු අදියර කිහිපයකින් හෝ දීමනාවක් ලබා දීම සිදු කළ යුතුය. එසේම සියළු අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා යහපත් ජිවන තත්ත්වයක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් නිශ්චිත සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සහිත ක්‍රමවේදයක් සකස් කළ යුතුය.