සහල් සහ සීනි මිල පාලනය කිරීම සඳහා අභ්‍යාසලාභීන් අනුයුක්ත කිරීම ගැටළු සහගතයි

සහල් සහ සීනි මිල පාලනය කිරීම සඳහා අභ්‍යාසලාභීන් අනුයුක්ත කිරීම ගැටළු සහගතයි

අභ්‍යාසලාභීන් වසරකට අධික කාලයක් මුහුණදෙන පීඩනය හා අපහසුතාවය තේරුම් ගනිමින් ඔවුන් තවදුරටත් මෙවැනි වගකීම් විරහිත කාර්යයන්ට යොදවා අර්බුද නිර්මාණය කිරීම වෙනුවට කඩිනමින් ස්ථීර කිරීමටත් ඒ හා සමානව අදාළ රාජ්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවේ සීමාවන් ද සැලකිල්ලට ගනිමින් කාර්යයන්හි යොදවන ලෙස සහල් සහ සීනි මිල පාලනය කිරීම සඳහා අභ්‍යාසලාභීන් අනුයුක්ත කිරීම නීත්‍යානුකූල ක්‍රියාවක් බැවින් ගැටළු සහගතය දන්වමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් මගින් දන්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සහල් සහ සීනි මිල පාලනය යතාර්ථයක් කර ගැනීමට අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඉතාම ගැටළු සහගත තීරණයක් බවත්, අභ්‍යාසලාභීන් අර්බුදයකට ලක් කිරීමක් බවත්, අද වන විට සිදු කළ යුත්තේ ඔවුන් කඩිනමින් සථීර කර රාජකාරී පැවරීම නීත්‍යානුකූල පැවරීමක් බවත් අපි පළමුව පෙන්වා දෙන්නෙමු.

  1. විවිධ මට්ටමේ රාජ්‍ය අනුග්‍රහයන් සහිතව මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් අද වන විට සීනි, සහල් හා වී වෙළඳපොළ මත ඇති කර ඇති ජනතාව පීඩාවකට ලක්වන අයුරින් ලාභ ඉපයීම පාලනය කරමින් ජනතාවට සාධාරණ මිලකට අදාළ ද්‍රව්‍ය ලබා ගැනීමට රජය මැදිහත් විය යුතු බවත් එය කළ යුත්තක් බවත් අප සංගමය පිළිගනිමු. නමුත් එම කාර්යය පාලනය කිරීමට සුදුසුු, නිසි අධිකාරියක් හා බලයක් සහිත නිලධාරීන් යෙදවීම නිසි පරිපාලන ක්‍රමවේදය වන අතර එම කටයුතුවලදී රාජ්‍ය සේවයට අදාළ ස්ථීර සේවකයකුදු නොවන අභ්‍යාසලාභීන් යෙදවීම කොතරම් ආකාරයකින් සුදුසුද යන්න බලධාරීන් අවධානය යොමු කළ යුතුව ඇත,
  2. පාරිභෝගික සේවා අධිකාරි පනතේ බලය හිමිව ඇති නිලධාරීන්ට හැර එවැනි මිල පාලන කටයුතු වලට රාජ්‍ය සේවයේ ස්ථීර සේවකයෙකු නොවන නිශ්චිත විෂයකට මෙතෙක් වගකීමක් නොමැති අභ්‍යාසලාභීන් යෙදවීම හා එසේ යෙදවීමෙන් තහවුරු වනුයේ මෙම වැඩ කටයුත්ත කරනුයේ සත්‍ය ලෙස මිල පාලනයකට නොවන ක්‍රියාවකට බව ජනතාව තුළ ඇතිවිය හැකි මතය පිළිබඳ අදාළ බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතු වීම,
  3. එවැනි මිල පාලන ක්‍රියාවකට අදාළ වෙළෙඳ පරිශ්‍ර හෝ ගබඩා සංකීර්ණ සඳහා ඇතුල්විය හැකි අධිකාරියක් සහ බලතල සහිත නිලධාරීන් යෙදවීමට අවශ්‍ය පියවර ගැනීම,
  4. 2020 රැකියා විරහිත උපාධිධාරී/ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ පුහුණුව යටතේ සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන් පාරිභෝගික කටයුතු අධිකාරිය යටතට 2021 සැප්.07 දින සිට මාසයක් සඳහා අනුයුක්ත කිරීම පිළිබඳව යළි සලකා බලා කටයුතු කිරීම සුදුසු බව පෙන්වා දෙන්නෙමු,
  5. මෙවර අභ්‍යාසලාභී වසරක පුහුණුව කිසිඳු පාලනයකින් තොරව අවිදිමත් හා වගකීම් විරහිත කටයුතු රාශියක් සිදුවන බව පෙන්වා දීමට කැමැත්තෙමු,
  6. 2020. 03. 02 අභ්‍යාසලාභී පත්වීම් ලබා දී නැවත අවලංගු කිරීම. 2021. 08. 16 යළි පත්වීම් ලබා දීම, හමුදා කඳවුරු ආශ්‍රිතව පුහුණුවලට යොමු කිරීම, පාසල්වලට අනුයුක්ත කිරීම හා යළි කැඳවීම, ග්‍රාම නිලධාරී කාර්යාල වලට අනුයුක්ත කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල එන්නත්කරණ කටයුතු වලට කිසිඳු සෞඛ්‍යාරක්ෂිත උපකරණ හෝ පහසුකම් ලබා නොදී යෙදවීම, සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ලබා දුන් රු.7500/- දීමනාව එම කාර්යයන්වල යෙදෙන අභ්‍යාසලාභීන්ටද ලබාදෙන ලෙස අප සංගමය ඉල්ලූම්කල විට එය අභ්‍යාසලාභීන් නිසා ලබාදිය නොහැකි බව බලධාරීන් ප්‍රකාශ කිරීම, සීනි හා සහල් මිල පාලන ක්‍රියාවකට මැදිහත් වී කටයුතු කිරීමට හෝ නියෝගයක් ලබා දීමට බලය පැවරීමක් නොමැති අභ්‍යාසලාභීන් යෙදවීම දක්වාම අභ්‍යාසලාභීන්ට දැඩි පීඩනයක් හා අවිදිමත්කමක් ක්‍රියාත්මක වෙමින් පැවතීමත් එය සුදුසු කටයුත්තක් නොවන බවත් අප සංගමය පෙන්වා දෙන්නෙමු,
  7. රාජ්‍ය සේවකයින් ලෙස රජය පවරන කාර්යයන් ඉටු කිරීමේ බැදීමක් පවතින බවත්, එය අප ප්‍රතික්ෂේප නොකරන බවත් ප‍්‍රකාශ කරමු. නමුත් අප මෙහිදී ඉල්ලා සිටිනුයේ වසරකට අධික කාලයක් පුහුණුවේ නිරත කර ඇති අභ්‍යාසලාභීන් නියමිත පුහුණු කාලසීමාව ඉක්මවා ඇති බැවින් ඔවුන් කඩිනමින් ස්ථීර කරන ලෙසත්, රාජ්‍ය බැදීමක් සහිත ස්ථීර රාජ්‍ය සේවකයින් ලෙස අදාළ නිල කාර්යයන්හි යෙදවීමට පියවර ගන්නා ලෙසත්ය.

උක්ත කරුණු පිළිබඳව කඩිනමින් අවධානය යොමුකර අභ්‍යාසලාභීන් වසරකට අධික කාලයක් මුහුණදෙන පීඩනය හා අපහසුතාවය තේරුම් ගනිමින් ඔවුන් තවදුරටත් මෙවැනි වගකීම් විරහිත කාර්යයන්ට යොදවා අර්බුද නිර්මාණය කිරීම වෙනුවට කඩිනමින් ස්ථීර කිරීමටත් ඒ හා සමානව අදාළ රාජ්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවේ සීමාවන් ද සැලකිල්ලට ගනිමින් කාර්යයන්හි යොදවන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.