ගුරු දිනයේත් ගුරුවරුන් අභයාරාමයේ හා මහ පාරේ - ඒ අතරේ ජනපතිගෙන් ඇමතුමක්

ulapane-sumangala-himi

මෙරට ගුරු දිනය සැමරූ (06) දිනයේ සිය වැටුප් විෂමතා විසඳන ලෙස රජයට බලකරමින් ගුරු - විදුහල්පති වෘත්තීය සංගම් රට පුරා ස්ථාන රැසකදී උද්ඝෝෂණ මාලාවක් දියත් කර තිබුණි. උද්ඝෝෂණයේ නිරත ගුරු සංගම් රජයට අවධාරණය කරන්නේ වැටුප් ගැටලුව විසඳීමට අදාළව තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙසයි. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය නම් කර ඇත්තේ 'අඳුර නසන ගුරු පරපුර අඳුරට හෙළීමට එරෙහිව ජාතික කළු විරෝධතාවය' ලෙසයි.

මෙම විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන උද්ඝෝෂණය පැවතියේ කොළඹ ලිප්ටන් වටරවුම අසළයි. එතැනට රැස්වුණු ගුරු හා විදුහපල්පති වෘත්තීය සන්ධානය අද පෙරවරු 10ට පමණ උද්ඝෝෂණය ආරම්භ කරන ලදී. ඊට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවලදී ද උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණි.

කෙසේ වෙතත් මෙම විරෝධතා සංවිධාන කර තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජන ඒකරාශීවීම් සඳහා අවසර හිමි නොවන පසුබිමක් තුළ බවට චෝදනා නැඟෙයි.

කෙසේ වෙතත් උද්ඝෝෂණ සඳහා එක්වී සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙසේ කියා සිටියි.

"අපි මේ උද්ඝෝෂණය කරලා ආණ්ඩුවට දෙන පණිවුඩය තමයි වහාම ගුරු - විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබාදෙන්න ඕනේ කියන එක. විසඳුම් වෙනුවෙන් අපි ඕනම ක්‍රියාමාර්ගයක් ගන්නවා."

මේ අතර ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් සෙවීම සඳහා (06) දින නාරාහේන්පිට අභයාරාම විහාස්ථානයේදී සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වුණි. ඊට එක්වූ දේශපාලන පක්ෂ නායකයින් සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වෘත්තිය සංගම් මෙන්ම රජයද මධ්‍යස්ථ තැනකට පැමිණ මෙම ගැටලුව විසඳා ගත යුතු බවයි. ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සහ නූතන අධ්‍යාපන අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවේදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.

ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් ඇතුළු දේශපාලන පක්ෂ සාමාජිකයින් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. මේ පිළිබඳ  ජනාධිපතිවරයා තමාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් යහපත් ප්‍රතිචාර දැක්වූ බව අභයාරාම අධිපති,  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. උන්වහන්සේ මෙසේද කියා සිටියේය.

"අභයාරාමයේ මොකුත් රැස්වීමක් පැවැත්වෙනවද කියලා ජනාධිපතිතුමා දුරකථන ඇමතුමක් දීලා ඇහුවා. ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙන බව මං දැනුම්දුන්නා. මේ ප්‍රශ්නය හාමුදුරුවො අතට ගන්න. මේකට අපි විසඳුමක් දෙන්න ඕනෑ" කියන එක ජනාධිපතිතුමා කීවා."

මේ අතර ඔක්තෝබර් මස 14වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගනිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා කෘත්‍යාධිකාරීන් වහන්සේලාගේ අභිමතය පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව ඉගෙනුම් ක්‍රියාවලිය විධිමත් පරිදි ආරම්භ කිරීම ඔක්තෝබර් 21 වනදා සිට සිදුවෙන බවද සඳහන් කරයි.

එසේ වුවද පවත්නා තත්ත්වය හමුවේ මෙම ආරම්භ කිරීම් කොතෙක් දුරට සාර්ථක වෙයිද යන්න සැක සහිතය.

එසේම අද ගුරු - විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී (06) දින එම කටයුතු ආරම්භ කෙරුණු අතර එය සිදුවූයේ  අදට යෙදී ඇති මෙරට ගුරු දිනයට සමගාමීවයි. මෙතෙක් ගුරු - විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබුණි.

එහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළය.

"ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටු වියයුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කරගනිමින් ලක්ෂ 43ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වෙනවා."

එසේ වුවද ගුරුවරුන්ගේ සැබෑ ප්‍රශ්නය නිල හැඳුනුම්පතක් නොතිබීම නොවන බව අමාත්‍යවරයා වටහා නොගැනීම කනගාටුවට කරුණකි.

- පී.ඩබ් මුතුකුඩආරච්චි

h h

Teachers 1

Teachers 2

Teachers 3

(ඡායාරූප අනුග්‍රහය - ලංකාදීප හා ද ලීඩර්)