මානසික සෞඛ්‍ය සේවා සැමට ලබාදෙමු - එය යථාර්ථයක් කිරීමට අත්වැල් බැඳගනිමු

mental-health

ඊයේට යෙදුණු, එනම් ඔක්තෝබර් 10 වැනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනයයි .අන් කවරදාටත් වඩා මානසික සෞඛ්‍ය පිළිබදව අද වන විට සැලකිලිමත් වීමට අවශ්‍ය වේ . ලොව පුරා ව්‍යාප්තව ගිය කොවිඩ් -19 වෛරසය නිසා පැනනැගි සුවිශේෂී තත්වයන් නිසාම මානසික සෞඛ්‍යයට දැඩි බලපෑම්  එල්ල වූ බව නොරහසකි.සැබැවින්ම කොවිඩ් -19 ගෝලීය වසංගතය දැඩි බලපෑම් එල්ල කරන ලද්දේ පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට  වුවද එය බැලූ බැල්මට බාහිරින් නොපෙනෙන නිසා ඒ වෙනුවෙන් යොමුවූ අවධානයේ අඩුවක්ද නිරීක්ෂණය කල හැකි වේ.

වසංගතය හමුවේ ලොව පුරා මානසික සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීමද නිරීක්ෂණය කල හැකිවේ. වෙනදාටත් වඩා සේවාවන් අවශ්‍ය මොහොතක සාමාන්‍ය  කාල වකවානුවකදී පවතින සේවාවන් මට්ටමට හෝ මානසික සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් අර්බුදය තවත් උග්‍ර වේ.  කෙසේ වෙතත් 2021 වසරේ මැයි මාසයේදී රැස්වූ ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය ඒ ඒ රාජ්‍යයන්ට මග පෙන්වීම් ලබා දෙමින් ප්‍රකාශ කලේ සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ගොස් නව මං පෙත් ඔස්සේ මානසික සෞඛ්‍ය සේවාවන් පුරවැසියන් වෙත ලබා දිය යුතු බවයි.

කොවිඩ් සමය හා මානසික සෞඛ්‍යය

බිය, කණගටුව හා අධික ආතතිය ඇතුළු මානසික තත්ව වලින් කොවිඩ් සමයේ මහජනතාව පෙලෙන බව ලොව පුරා වර්තා සනාථ කරයි.වෛරස ව්‍යාප්තිය හමුවේ අපගේ එදිනෙදා චර්‍යාවේ වෙනසක් සිදු වීමද මානසික තත්වයන්හි  පැහැදිලි වෙනස්කම් ඇතිවීමට  බලපා තිබේ.වෛරස ව්‍යාප්තිය අවම කිරීමට පනවා තිබෙන සංචරණ සීමා වැඩි දෙනෙකුගේ සමාජ ජීවිතය අවුල් කර තිබේ.නව ජීවන රටාව යටතේ නිවසේ සිට වැඩ කිරීම,තාවකාලික රැකියා වියුක්තිය හෙවත් රැකියා අහිමිවීම,දරුවන් පාසැල් පරිසරයෙන් ඈත් වීම හා පවුලේ සාමාජිකයින් , හිත මිතුරන් එකිනෙකා කායිකව හමු වීම සීමාවීම මානසික ගැටළු ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණු කීපයකි. එබැවින් අපේ කායික හා මනසික සෞඛ්‍යය නිසි පරිදි තබා ගැනීමට නම් විමසිල්ලෙන් ,දැනුවත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

මානසික සෞඛ්‍යය හා ලෝක තත්වය

ලොව පුරා බිලියනයක පමණ ජනතාවක් මානසික රෝගවලට ගොදුරුවී සිටිති. එසේම ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මොහොතක මානසික රෝගයක් වැලදීමට හැකියාව පවතී.එසේම ලොව වැඩිහිටියන්ගෙන් 5% ක් මානසික අවපීඩනයෙන් / විශාදයෙන් ( Depression)  පෙලෙන බවද පර්‍යේෂණාත්මක ව තහවුරු කර ගෙන තිබේ.එසේම අවපීඩනය නම් මානසික රෝගය  වැඩිහිටියන්ගේ ආබාධිත බව ඇතිවීමටද ප්‍රබල හේතුවක් වේ.එසේම වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ ලෝකයේ වයස අවුරුදු 10-19 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ආබාධයන්ට  එක් වරක් හෝ ගොදුරු වූ අය වීමයි.ඉන් අඩකට වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 14 දී එම රෝගවලට ගොදුරු වෙති.එහෙත් ඔවුන්ගෙන් අති බහුතරය කිසි විටෙක ප්‍රතිකාර ලබා ගැනීමට නොපැමිණෙති.අඩුම වශයෙන් එම පුද්ගලයින් හෝ පවුලේ හා සමාජයේ කිසිවෙකු ඔවුන්ට මානසික ආබාධයක් තිබෙන බව වත් නොදනිති.භින්නෝන්මාදය (schizophrenia ) වැනි දරුණු මානසික ආබාධ සහිත පුද්ගලයින් රටේ සාමාන්‍ය ජනතාව මරණයට පත් වන වයසට වඩා වඩා වසර දහයකට හෝ විස්සකට පෙර මෙලොවින් සමු ගනිති.මේ අතර ලොව පුරා සිදුවන මරණ වලින් සියයට එකක් සියදිවි නසා ගැනීම් නිසා සිදු වන මරණයකි.වයස අවුරුදු 15 – 19 අතර  තරුණ , තරුණියන්ගේ  මරණවලට හේතුවන සිව්වන ප්‍රධාන හේතුව සියදිවි නසා ගැනීම බව තහවුරු වී තිබේ. කොවිඩ් -19 නිසා මේ  බියජනක තත්වය තවත් වැඩිවී තිබේ.

මානසික සෞඛ්‍ය සේවාවේ ගැටළු

මානසික සෞඛ්‍ය සේවා  ජනතාව ගේ අවශ්‍යතාව පරිදි ලබා දීමට තරම් සංවර්ධනය වී නැත.ගුණාත්මය ඉහල මානසික සෞඛ්‍ය සේවාවක් ලැබෙන්නේ ජනගහනයෙන්  ඉතාම අල්ප ප්‍රමාණයකට පමණි.මානසික සෞඛ්‍ය සේවාවන් ලබාදීමට  යෙදවෙන මුදල් ප්‍රමාණය අඩුවීම ප්‍රබල ගැටළුවකි.අපකීර්තිය ( Stigma),වෙනස්කොට සැලකීම (discrimination ) හා මූලික මානව අයිතීන් උල්ලංඝනය නිසා ඇතිවන  තත්වයන්ද  පුළුල් ලෙස ගත් කල මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවීමට හේතුවක් වේ.

මානසික සෞඛ්‍ය සේවාවන්ට ආයෝජනය

පොදුවේ ගත් කල ලොවපුරා රටවල් සිය ජාතික සෞඛ්‍ය වියදමින් මානසික සෞඛ්‍ය සේවා වෙනුවෙන් වෙන් කරන්නේ 2% ක් පමණි. මෙය ඉදිරි වසරවලදී ක්‍රමයෙන් වැඩිකිරීම අත්‍යවශ්‍ය වී තිබේ.රටවල් සංවර්ධනය වන වේගය අනුව  ජාතික ආදායම් පුළුල් වුවද මානසික සෞඛ්‍ය සේවා වෙනුවෙන් ආයෝජන කිරීමේ යම් අඩුවක් පෙන්නුම් කෙරේ.

 බොහෝ මානසික ආබාධ  - රෝග  ,සුව කිරීම කල හැකිය.  පුද්ගලයින්ට ඒ සමග ජීවත් විය හැකිය.   අපට ඒ වෙනුවෙන්  යුතුකමක්  ඇත

නිසි මානසික සෞඛ්‍ය සේවා සැපයීමේ තත්වය මෙසේ කණගාටුදායක  වුවද සතුටුදායක පුවත වන්නේ සාමාන්‍යයෙන් බහුල මානසික ගැටළු සමනය කිරීම නිසි මැදිහත්වීමක් ඇත්නම් පහසුවෙන්ම කල හැකි බවයි. මානසික අවපීඩනය  (depression ) හා  කාංසාව (anxiety ) තත්වයන් සමනය කිරීම නිසි පරිදි අදාල පුද්ගලයින් සමග සාකච්ජා කිරීමෙන්, උපදේශනය මගින්, භාවනා ක්‍රම මගින් සහ මේ සියල්ලේම එකතුවකින් කල හැකිය. මානසික සෞඛ්‍ය සේවා සපයන පුද්ගලයින් බවට පුහුණුවකින් පසුව සාමාන්‍ය සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල ඉතා පහසුවෙන්ම පත් කල හැකි වීමද විශේෂත්වයකි. දරුණු මානසික රෝග සහිත පුද්ගලයින්ද නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් හා මැදිහත් වීම් සිදු කිරීමෙන් අකාලයේ මියයාම වලක්වා ගත හැකිවේ. ඔටිසම්  (autism) හා ඩිමෙන්ෂියා (dementia) වැනි තත්වයන්ට  ලක්වූ පුද්ගලයින්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් ඔවුන් රැකබලා ගන්නන් පුහුණු කිරීම කල යුතුය.

ගුණාත්මක මෙන්ම මිලක් ගෙවීමට සිදුවන විට සාධාරණ මිලක් යටතේ මානසික සෞඛ්‍ය සේවා  විශේෂයෙන් ප්‍රජා පාදක මානසික සෞඛ්‍ය සේවා ලබාදීම වෙනුවෙන් කැපවීම අප විසින් කල යුතු රටක් ලෙස සැලසුම් කලයුතු කරුණකි.මානසික ආබාධ හා රෝග සමග ජීවත් වන්නන්ට සිය ජීවිතය පහසු කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීමත් ,ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී එවන් පුරවැසියන් ගැනද සිතා කටයුතු කිරීම රටක, සමාජයක, සබුද්ධික පුරවැසියන්ගේ අත් හල නොහැකි වගකීමකි.

සටහන  - ජානක සුනෙත් බණ්ඩාර (සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී )