පාසල් පුරප්පාඩු පිරවීමේදී කොන්දේසී ඉවත් කරන ලෙස ඉල්ලයි

පාසල් පුරප්පාඩු පිරවීමේදී කොන්දේසී ඉවත් කරන ලෙස ඉල්ලයි

ජාතික පාසල්, පළාත් පාසල් පුරප්පාඩු සඳහා ඉල්ලූම් කිරීමේ දී නිකුත් කර ඇති අසාධාරණ කොන්දේසි ඉවත් කර සැමට සමාන අවස්ථාවක් ලබා දීමට පියවර ගන්නා මෙන් ඉල්ලා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.

එසම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජාතික පාසල් හා පළාත් පාසල් ගුරු පුරප්පාඩු සඳහා මාර්ගගත (Online) ක්‍රමයට 2018,2019 හා 2020 රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය සඳහා බඳවාගත් සංවර්ධන නිලධාරීන්ට ඉල්ලූම් කිරීමට අදාළ නිවේදනය මඟින් පසුගිය පෙබරවාරි 28 වන දින අවස්ථාව ලබා දී ඇත.

වර්තාවන අන්දමට ගුරු සේවයේ පුරප්පාඩු 60,000 අසන්නව පවතී. එසේ තිබිය දී 2018, 2019 හා 2020 වර්ෂවල බඳවාගත් සංවර්ධන නිලධාරීන්ගෙන් ජාතික හා පළාත් පාසල් සඳහා බඳවා ගැනීමට කටයුතු කරනුයේ 22,000 කට ආසන්න ප්‍රමාණයකි. ඒ ආකාරයට කප්පාදු කිරීමට අප සංගමය එකඟ නොවන අතර සමාන අධ්‍යාපන සුදුසුකම් සහිත සියලූ උපාධිධාරීන්ට ගුරු සේවය සඳහා ඉල්ලූම් කිරීමේ සමාන අවස්ථාවක් ආණ්ඩුව විසින් ලබා දිය යුතු බව අපි අවධාරණය කරමු.

දැනට නිකුත් කර ඇති කොන්දේසි හේතුවෙන් පහත සඳහන් කරුණු අනුව විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බව වැඩිදුරටත් පෙන්වා දෙන්නෙමු,

  • මාර්ගගත ක්‍රමයට ඉල්ලූම් කිරීමේ 1. පොදු උපදෙස් 1.2.3 අනුව 2018,2019,2020 බඳවාගත් උපාධිධාරීන්ගෙන් 2019.12.31 දිනට වයස අවුරුදු 35ට නොවැඩි පිරිසට පමණක් ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබා දී ඇත. එම වයස් සීමා කොන්දේසියත් සමඟ 2018, 2019, 2020 බඳවාගත් උපාධිධාරීන් අතරින් 5000 කට ආසන්න ප්‍රමාණයකට ඉල්ලූම් කිරීමේ අවස්ථා අහිමි කර ඇත,
  • අදාළ ඉල්ලූම් කිරීමේ 1.2.1.2 යටතේ 2018 හා 2019 වර්ෂවල බඳවාගත් උපාධිධාරීන් 2020.01.01 දිනට හා 2021.01.01 දිනට සංවර්ධන නිලධාරී සේවයේ ස්ථීර පත්වීම් ලැබූ නිලධාරීන් වීම යන කොන්දේසිය මත 2018 වර්ෂයේ මධ්‍යම හා සබරගමු පළාත් සභාවන් යටතේ ස්ථීර වූ උපාධිධාරීන්ගේ ස්ථීර පත්විම් දිනය 2019.08.20 දින වන අතර එම පිරිසට ඉහත ඉල්ලූම් කිරීමේ අවස්ථාව අහිමි කර ඇත,
  • වසර 10 කට අධික කාලයක් ජාතික පාසල් හා පළාත් පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඉගැන්වීම් කටයුතුවල පවා අඛණ්ඩව නිරතවන අතර එම පිරිසට නිත්‍ය ගුරු සේවය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ද අහිමි කර ඇත. ඒ අනුව 1999 සිට 2017 දක්වා විවිධ අවස්ථාවල දි පළාත් හා ජාතික පාසල්වෙත අනුයුක්තව සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඉල්ලූම් කිරීමට පවා අවස්ථාවක් ලබා නොදී සම්පූර්ණයෙන්ම පිටමං කිරීම යුක්ති සහගත නොවේ,
  • 1999-2017 බඳවාගත් උපාධිධාරීන් අතර නැටුම්, සංගීත, චිත්‍රකලා, ඇතුළු විවිධ සෞන්දර්ය උපාධිධාරීන්, හින්දි, චීන, ජපන් ඇතුළු භාෂා විෂයන් උපාධිය ලෙස සමත්ව ඇති උපාධිධාරීන්, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව ඇතුළු ශාස්ත්‍රීය විෂයන් උපාධිය ලෙස හාදාරා ඇති උපාධිධාරීන්, විද්‍යා, ගණිත ධාරාවේ විෂයන් උපාධි ලෙස හැදෑරූ උපාධිධාරීන් සැලකිය යුතු පිරිසක් සිටින අතර එම උපාධිධාරීන්ගේ සේවය පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ලබාගත හැකිය. නමුත් ඔවුන් සියලූ දෙනා විවිධ කාර්යාලීය ලිපි ගොණු රාජකාරී සඳහා සීමා කර ඇත. ගුරු සේවය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාවක් ලබා දී ඇති මොහොතේ එම පිරිස් සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථා අහිමි කිරීම වෙනුවට ඒ සඳහා අවස්ථාව ලබා දිමට පියවර ගත යුතුව ඇත,
  • වයඹ, බස්නාහිර, මධ්‍යම, දකුණ ඇතුළු පළාත් සභා මට්ටමින් 2015-2020 කාලය තුළ ගුරු තරඟ විභාග පවත්වන ලදි. අදාළ පළාත් ගැසට් නිවේදන වල පැවති උපදෙස් අනුව අදාළ පළාත් සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් ගුරු තර`ග විභාගයට පෙනී සිටි අතර සමත් වූ උපාධිධාරීන් රජයේ වෙනත් රැකියාවක් කිරීම හේතුවක් බවට පත්කර සම්මුඛ පරීක්ෂණ අවස්තාවල දි ගුරු තරඟ විභාග සමත් උපාධිධාරීන්ට ගුරු සේවයට තරඟ විභාගයෙන් ඒමට තිබූ අවස්ථාව පළාත් බලධාරීන් විසින් නීතිවිරෝධී අන්දමින් අහිමි කර ඇත. එවැනි බරපතල අසාධාරණයකට ලක් වූ ගුරු තරඟ විභාග සමත් උපාධිධාරීන්ට ද ඉල්ලූම් කිරීමේ අවස්ථා ලබා දීම බලධාරීන්ගේ වගකීමක් වනු ඇත,
  • මීට වසර කීපයකට පෙර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ආරම්භ කළ දකුණු පළාත් පාසල් සිසුන්ගේ විෂය ප්‍රවීණතාවය ඉළහ නැංවීමේ ‘‘සිසු තරණ’’ විශේෂ අධ්‍යාප ව්‍යාපෘතිය සඳහා දකුණු පළාත් සංවර්ධන නිලධාරීන් පාසල් හා අධ්‍යාපන ආයතන වෙත අනුයුක්ත කරනු ලැබුවේ ගුරු සේවය සඳහා ඇතුළත්වීමේ අවස්ථාව ලබාදීමේ එකඟතාවය මතය. අදාළ සුදුසුකම් සහිත එම සංවර්ධන නිලධාරීන් ද මෙම වැට සටහනින් ඉවත් කර ඇත,
  • අදාළ පොදු උපදෙස්හි 1.2.7, 1.2.8 හා 1.2.9 සඳහන් කොන්දේසි අනුව 2018,2019, 2020 වර්ෂවල බඳවාගත් උපාධිධාරීන් සඳහා ලබා දීමට නියමිත ව ඇත්තේ තාවකාලික ගුරු පත්වීමකි. වසර 03ක් තාවකාලික ගුරුවරයෙකු ලෙස පාසල්වල උගන්වා ඉන් අනතුරුව ගුරු සේවා ව්‍යවස්ථාවේ 7.2.4.1 අනුව පවත්වන ලිඛිත විභාගයෙන් සමත් වන පිරිස පමණක් ගුරු සේවයේ නිත්‍ය තනතුරට පත් කරනු ඇත.මෙවැනි ක්‍රමයක් ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් නොවේ.
  • ආණ්ඩුවේ මේ තීරණයත් සමඟ වසර 03කින් පසු ගුරුවරුන් ලෙස ඉගැන්වූ සංවර්ධන නිලධාරීන් වැඩි පිරිසක් දැඩි සමාජමය හා ආත්ම ගෞරවය සම්බන්ධයෙන් වන බරපතල ගැටළුවකට මුහුණ දීමට නියමිත වනු ඇත,
  • 2018,2019, 2020 වර්ෂවල බඳවාගත් උපාධිධාරීන්ගෙන් 2019.12.31 දිනට වයස් සීමා ඉක්ම නොවූ 60,000 කට ආසන්න පිරිසකට මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව තිබුණ ද ඉන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට නියමිතව ඇත්තේ 22,000 ආසන්න පිරිසකි. ඉහත පිරිසෙන් 3/4 කට ආසන්න වශයෙන් 40,000 පමණ ගුරු සේවයේ අවස්ථාව අහිමි වනු ඇත.

මෙම ක්‍රියාදාමය මඟින් උපාධිධාරීන් දැඩි අපහසුතාවයකට මෙන්ම හෑල්ලූ කිරීමකට ද ආණ්ඩුව විසින් ලක්කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දෙන්නෙමු.

යෝජනා හා ඉල්ලීම්

  1. පොදු උපදෙස් පත්‍රිකාවේ 1.2.7, 1.2.8. හා 1.2.9 හි සඳහන් කරුණු අනුව ගුරු සේවා ව්‍යස්ථාවේ 7.2.4.1 අනුව ලිඛිත විභාගයක් පවත්වා සුදුසුකම් සහිත පිරිසට පමණක් නිත්‍ය පත්වීම් ලබාදෙන බව සඳහන් කර ඇත. ගුරු සේවා ව්‍යස්ථාවද රකිමින් සුදුසුකම් සහිත උපාධිධාරීන්ට පිළිගත් ක්‍රමයට ගුරු සේවයට ඇතුල්වීම සඳහා වන එම යෝජනාවට හා කොන්දේසිවලට අප සංගමය එකඟ වෙමු,
  2. ඒ අනුව අවසානයේ සිදු වනුයේ ලිඛිත විභාගයක් පැවැත්වීම නම් 1999-2021 බඳවාගත් සංවර්ධන නිලධාරීන් ඇතුළු අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් සියලූ දෙනා ස්ථීර රාජ්‍ය සේවකයින් ගණයට ඇතුළත්වන බැවින් දැනට පවතින අවුරුදු 35 උපරිම වයස් සීමා කොදේසිය ඉවත් කර 1999-2021 දක්වා වන ජාතික පාසල්වල හා පළාත් පාසල්වල සේවයේ නියුතු උපාධිධාරීන් ඇතුළු සුදුසුකම් යටතේ ඉල්ලූම්කළ හැකි සියලූ උපාධිධාරීන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අවස්ථාව හා ලිඛිත විභාග අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

ඉහත සඳහන් 02 සිට 09 දක්වා වන ගැටළු පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන මෙන්ද, යෝජනා හා ඉල්ලීම් තුළ ඇතුළත් ඉල්ලීම් සඳහා 2022.03.15 දිනට පෙර පිළිගත හැකි විසඳුමක් ලබා දෙන මෙන්ද ඉතා වගකීමේන් ඉල්ලා සිටිමු.

අදාළ සංශෝධනයන් 2022.03.15ට පෙර සිදු නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීරණය වන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.