ආණ්ඩු විරෝධී සටනට 'උතුරු-නැගෙනහිර ඉල්ලීම් එකතු කරන්න

ආණ්ඩු විරෝධී සටනට 'උතුරු-නැගෙනහිර ඉල්ලීම් එකතු කරන්න

රාජපක්ෂ පාලනයට එරෙහිව රට පුරා දියත් වන විරෝධතා මාලාව සංවිධිතව මෙහෙයවීම සඳහා ප්‍රකාශිත නායකත්වයක් මේ තාක් නොමැතිවීම බරපතල අඩුවක් ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිතියක් විසින් පෙන්වා දී තිබේ.

''අප්‍රේල් 03 වන දින සහ ඉදිරි දිනවල ආණ්ඩු විරෝධය කැටි කරමින් පාරට පැමිණෙන විරෝධතා සංයමයක් විනයක් ඇතිව සංවිධිතව මෙහෙයවීමට ප්‍රකාශිත නායක්තවයක් නොමැතිවීමේ බරපතල අඩුව අපි තවමත් දකිමු.''

එසේ වූවත් විරෝධතා සඳහා ගොනුවන ජනතාවගෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටින්නේ උතුරු-නැගෙනහිර ජනතාවටද අදාල රටේ ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වහා ලබාදෙන මෙන් කෙරෙන ඉල්ලීම් මත තම විරෝධය ප්‍රකාශ කරන ලෙසයි.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් අප්‍රේල් මස 2 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් සිහිපත් කරන්නේ ආණ්ඩු විරෝධය ප්‍රකාශයට පත් කිරීම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවයි. 

මාර්තු මස අවසන්  දින පස්වරුවේ මිරිහානේ ජනාධිපතිගේ පෞද්ගලික නිවස වැටලීමේ විරෝධතාව, සංයමයකින් තොර, ප්‍රචණ්ඩකාරී විරෝධතාවක් බවට පත්වීමේ වගකීමට, එයට මුල පිරූ පිරිස් මෙන්ම ආරක්ෂක අංශද වගකිව යුතු බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අවධාරණය කරයි.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කිසිවකු නොදන්නා මෙන්ම සමාජයට වගකියන්නටද බැඳීමක් නැති කණ්ඩායමක් රට පුරා ආණ්ඩු විරෝධයක් පාරට කැඳවීමක් කර තිබියදී ඊට දින තුනකට පෙර මේ ප්‍රචණ්ඩකාරී විරෝධයට මුල පිරුම, එවැනි වගකීමක් නොමැති සහ නායකත්වයක් නොමැති අරාජික විරෝධතා විසින් නිතැතින්ම ඉඩ ලබා දෙන අසංවර, අරමුණක් නැති ප්‍රචණ්ඩකාරිත්වයක් වීම වැළකිය නොහැක්කක්  බව ඇන්ටන් මාකස් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා වැඩි දුරටත් පවසයි.

''ඒවායේ තිබූයේ ජීවත්වීම සඳහා ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා පිරිමසා ගැනීමේ ඉල්ලීම් නොවේ. ඒවායේ තිබූයේ වහා ඉන්ධන, ගෑස්, විදුලිය ලබා ගැනීමේ ඉතාම හදිසි අවශ්‍යතා සඳහා විසඳුම් ඉල්ලා සිටීමක් නොවේ. ඒවායේ තිබූයේ ජනතා ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් නොවන වෙනත් කොතැනකින් හෝ ගෙනැවිත් “ගෝටා ගෙදර යනු” යැයි ජනතා විරෝධය මත පැල කළ සටන් පාඨයකි. එනිසාම, තවමත් ජනතා ඉල්ලීම් ලෙස විරෝධතාවල හඩ නැගෙන්නේ ඉන්ධන, ගෑස්, විදුලිය වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වහා ඉල්ලා හඬ නගන සටන් පාඨ ය."

මේ රටේ මේ වනවිට, සිය දහස් ගණන් ජනතාවක් දිනපතා තම මූලික අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට නොහැකි අසීරුකම් මැද මෙන්ම තම දෛනික ආදායම් උපයා ගැනීමට නොහැකිව අතරමං වූ ජනතාවක් ලෙස ආණ්ඩු විරෝධයක්, වෛරයක් අප්‍රසාදයක් සමාජගත කරමින් ඉන්නා බව සදහන් කරන වෘත්තිය සමිති නායකයා සදහන් කරන්නේ මේ ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා විසඳුම් ඉදිරිපත් නොකරන තාක් කල් ඒ ආණ්ඩු විරෝධය තමන්ගේ නොහැකියාව හේතුවෙන් ගොනුවන ආණ්ඩු විරෝධයක් බැව් මේ ආණ්ඩුව පිළිගත යුතුව ඇති බවයි.

"ඒ වගේම ඒ ජනතාවට ඔවුන්ගේ ආණ්ඩු විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මූලික අයිතියක් ඇති බවත් පිළිගත යුතුව ඇත."

එනිසා සියලු අසංවිධිත අඩුපාඩු සමගින් වුව ද  මාර්තු 31 වැනි දින විරෝධය මර්දනය කරන්නට පොලීසිය සහ ආරක්ෂක සේවා යොදා ගත් බලහත්කාරී පිළිවෙත, අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට පොලිස් අත්අඩංගුවේදී කෙරුනු පහරදීම් පිළිබඳ චෝදනා සියල්ල සමගින් ආණ්ඩුව මේ විරෝධතා මර්දනය කිරීමට ගනු ලබන සියලු පියවර නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක  විසින් හෙලා දැක තිබේ.

(ලීඩර්)