“මයිනාගෝගම හා ගෝඨාගෝගම“ පහරදීමට ඉඩදුන් පොලිස් නිලධාරින්ට එරෙහිව විනයානූකූල පියවර ගන්න

“මයිනාගෝගම හා ගෝඨාගෝගම“ පහරදීමට ඉඩදුන් පොලිස් නිලධාරින්ට එරෙහිව විනයානූකූල පියවර ගන්න

2022 මැයි මස 09 වැනි දින, අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති ”මයිනාගෝගම” සහ ගාලූමුවදොර ආශ්‍රිත ප්‍රදේශයේ පැවති ”ගෝඨාගෝගම” ස්ථානවල පැවති සාමකාමී විරෝධතාවයේ යෙදී සිටි අහිංසක නිරායුධ ජනතාව පවත්වාගෙන ගිය ”ආදරයේ අරගලය” ට පොලූ මුගුරු රැගත් ආයුධ සන්නද්ධ මැරයින් විසින් කරන ලද බියකරු ම්ලේච්ඡ ප්‍රහාරය වළකාලීමට හැකියාව තිබියදීත්, එම ප්‍රහාරය වැලැක්වීමට නිසි පියවර නොගැනීමෙන් වගකිවයුතු උසස් පොලිස් නිලධාරියෙකු ලෙස, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. ඩී. තෙන්නකෝන් හෙවත් දේශබන්දු තෙන්නකෝන් මහතා, දැවැන්ත අපරාධයක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වහාම විනයානූකූල පියවර ගන්නා ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

02. ආයතන සංග්‍රහය 1 වැනි කාණ්ඩයේ අර්ථ නිරූපණය අනුව, අධිකරණ නිලධාරියෙකු හැර ජනරජය යටතේ වැටුප් හිමි කවර හෝ නිලයක් දරන තැනැත්තෙක් රජයේ නිලධාරියෙක් වන්නේය. ඒ අනුව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජයේ නිලධාරියෙකි,

03. රජයේ නිලධාරියෙක් ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ දිනයේ ප්‍රශ්නගත සිදුවීම වන ස්ථානයේ සිටි උසස් ම රජයේ නිලධාරියා වන අතර, උසස්ම පොලිස් නිලධාරියා ද වන්නේය,

04. ඉහත සිද්ධියට අදාළව මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, එම මැර ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත්තේ, ඉහළ නිලධාරීන් දෙදෙනෙකුගෙන් ලැබුණු නියෝග දෙකක් අනුව බවයි.

ඒ අනුව ගම්‍ය වන්නේ, වැළැක්විය හැකිව තිබූ මැර ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළේ ඉහලින් ලද නියෝග අනුව බවයි.

මැයි 18 වන දින පාර්ලිමේන්තු සංවාදයේදී අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා මේ පිළිබඳව සත්‍ය හෙළිදරව් කර ඇත. එමෙන්ම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ කතාව අනුමත කරමින් රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කියා සිටින්නේ, පොලිස්පති සහ පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් එසේ නියෝග කර ඇති බවත්, ප‍්‍රහාරය වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා නියෝග දී ඇති බවත්ය. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 : 1 වගන්තියට අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද, ආණ්ඩුවේ ප්‍රධානියා ද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක ද වන්නේය),

05. ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවධානය පිණිස පහත කරුණු ඉදිරිපත් කර සිටිමු,

1. විනය නීති සංග්‍රහයේ XLVII පරිච්ඡේදයේ 8 : 3 වගන්තියේ සඳහන් පරිදි, බාහිර බලපෑම්, නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කළ නොහැකි වන අතර, දැවැන්ත අපරාධයක් නොවැලැක්වීමට බාහිර පාර්ශ්වයක උපදෙස් අනුව ක්‍රියා කර ඇත,

11. එමෙන්ම, සේනාධිනායක වරයාගේ උපදෙස් පිළිබඳ අවධානය යොමු නොකර අපරාධය වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන නැත,

06. ඒ අනුව,

1. යථොක්ත නිලධාරියා, රාජ්‍ය නිලධාරීන්ගේ විනය පාලනය සම්බන්ධයෙන් අදාල වන ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVII පරිච්ඡේදයේ 8 : 3 අනුව, කිසියම් නිලධාරියෙකුගේ හෝ බලධාරියෙකුගේ හෝ වෙනත් පාර්ශවයක බලපෑමක් මත, වැළැක්වීමට හැකිව තිබූ අපරාධමය සිදුවීමක් වැළැක්වීමට කටයුතු නොකිරීමෙන්, රාජකාරිය පැහැර හැර ඇති අතර, රටටත් ජනතාවටත් දැවැන්ත අපරාධයක් හා අනර්ථයක් සිදුකර ඇත,

11. ආයතන සංග්‍රහයේ XLVII වන පරිච්ඡේදයේ 8 : 3 ප්‍රකාරව කටයුතු නොකිරීමෙන් මිනිස් ජීවිත හා රාජ්‍ය හා පෞද්ගලික දේපල විනාශ කිරීමට මැර කණ්ඩායම් වලට අවස්ථාව සලස්වා ඇත,

111. උසස් පොලිස් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවනතව කටයුතු කර නැත,

1V. රාජකාරිය පැහැරහැර, නීතියට යටත් නොවී කටයුතු කිරීමෙන්, අනිකුත් පොලිස් නිලධාරීන්ට මෙන්ම රජයේ නිලධාරීන්ට නරක ආදර්ශයක් ලබා දී ඇත,

යන කරුණු පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරවමු. 

ඒ අනුව,

07. ආයතන සංග්‍රහයේ XLVIII වන පරිච්ඡේදයේ  31 : 1 : 14, 31 : 5 : 2, 31 : 1 : 1, 31 : 1 : 2, 31 : 1 : 9, 31 : 1 : 10 සඳහන් වැඩ තහනම් කළ හැකි විෂමාචාරයන් සිදු කර ඇති බව පැහැදිලි වේ. ආයතන සංග්‍රහයේ XLVIII වෙනි පරිච්ඡේදයේ 31 : 5 අනුව අදාල නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම් කිරීමට අදාල විනය බලධාරියාට හැකියාව ඇත,

08. යථෝක්ත නිලධාරියා පෙර කී විෂමාචාරය සිදුකර ඇති බව බැලූබැල්මට පෙනීයන තත්වයක් තුල සහ ඔහු විසින්ම සිදුකර ඇතැයි කියවෙන ප්‍රකාශ අනුව ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 31 : 5 : 2 අනුව ඔහුගේ වැඩ තහනම් කිරීමට හැකි බව පැහැදිලිය,

09. එසේ හෙයින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ ගෞරවය හා කීර්තිනාමයත්, පොලිසියේ ගෞරවය හා කීර්තිනාමයත් කෙලෙසා ඇති බැවින්, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ රාජකාරී වැඩ තහනම් කර අදාල විනය පියවර ගන්නා මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.