ඇෆ්ලටොක්සින් පිලිකාකාරකය ඉදිරිපත්කර ත්‍රිපෝෂ සමාගම අලෙවි කරයිද?

ඇෆ්ලටොක්සින් පිලිකාකාරකය ඉදිරිපත්කර ත්‍රිපෝෂ සමාගම අලෙවි කරයිද?
සමාජ මාධ්‍ය ජාලවලට අමතරව මේ දිනවල ප්‍රධාන මාධ්‍යවල ද නොකඩවා කෙරෙන්නේ රජයේ ව්‍යාපාරයක් වන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ අති ජනප්‍රිය සන්නාහක නිෂ්පාදනය වන ත්‍රිපෝෂ වල ඇෆ්ලටොක්සින් නම් පිලිකාකාරකය මිනිස් ශරීරයට අහිතකර මට්ටමකින් ඇතැයි අතිශයෝක්තියෙන් යුතුව වාර්තා කිරීමය. ඒ ඇසුරෙන් ත්‍රිපෝෂ සමාගමේ පාලනයට එරෙහි මතයක් සමාජගත කිරීමය. එවැනි නොනැවතෙන ප්‍රචාරයක් සඳහා වන නොකියවෙන දේශපාලනයක් ඇතැයි අපි විශ්වාස කරමු.
 
එයට හේතුවන කාරණාව නම්, ජනාධිපති වික්‍රමසිංහ හැමදා පෙනී සිටි රාජ්‍ය ව්‍යාපාර “පෞද්ගලීකරණය” කිරීම මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වල අන්තර්ගතව තිබීමය. පසුගිය අගෝස්තු අවසානයේ සිය “2022 අන්තර්වාර අයවැය” ඉදිරිපත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම ගැන ද ප්‍රකාශ කළේය.
 
ඒ පසුබිමෙහි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම එල්ල කර ගනිමින් ඇෆ්ලටොක්සින් පිලිකාකාරකය සම්බන්ධව ගෙන යන ප්‍රචාරය පිටුපස ද පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයක් ඇතැයි අපි අනුමාන කරමු. සෞඛ්‍යාරක්ෂාව සඳහා ජාත්‍යන්තරව නිර්දේශිත ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා ඇතැයි නඩු පැවරීම සඳහා අධිකරණය වෙත ඉකුත් 21 වන දින ඉදිරිපත් කරනු ලැබූ සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ නිෂ්පාදකයින් වන සිලෝන් බිස්කට්ස්, මැලිබන් හා ලක්මී එක්ස්පෝට් සමාගමට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කරන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝගකර ඇතත් රජයේ සමාගම හා ත්‍රිපෝෂ වෙනුවෙන් පෙන්වන උනන්දුව ඒ පෞද්ගලික සමාගම් වෙනුවෙන් මාධ්‍යයට ඇත්තේ නැත.
 
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සමස්ථ සේවක පිරිසම අපගේ වෘත්තීය සමිතියේ සාමාජිකයින් වන හෙයින්ම, එහි කෙරෙන කටයුතු ගැන යම් අවබෝධයක් දැනුවත්වීමක් මව් සංගමය වශයෙන් අපට ඇත. ත්‍රිපෝෂ සමාගම ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරයකි. ඔවුන්ගේ ඇති විශේෂය නම් මන්දපෝෂිත දරුවන්, ගැබිණි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් මිලියන 01.2 ට ආසන්න සංඛ්‍යාවකට නොමිලේ ත්‍රිපෝෂ ලබා දීම සඳහා ඔවුන් දායක වීමය. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැරූ වාර්ෂික පිරිවැය වන රුපියල් බිලියන 07 ට ආසන්න මුදල දැන් සමාගම දරා ගන්නේය. ඔවුන්ගේ සුපෝෂ අලෙවියෙන් එය පියවා ගැනීමට ඔවුන් සැළසුම්කර ඇත. එවගේම සමාගම ඉන් ලබන ලාභය මගින් මාසික ඉලක්ක සපුරාලීමේ දීමනාවක් සියලු සේවකයින්ට ලබා දීමටත් සමත්ව ඇත.
 
එවැනි කාර්යක්ෂමතාවක් සමග ඔවුන් ලබා ගන්නා බඩ ඉරිඟු වල සෞඛ්‍යයට අහිතකර මට්ටමක ඇෆ්ලටොක්සින් තිබේදැයි පරීක්ෂා කරන බෑව් සේවකයෝ කියති. ඒ අනුව, ත්‍රිපෝෂ සමාගමේ සභාපති ප්‍රකාශ කළ පරිදි ඇෆ්ලටොක්සින් හේතුවෙන් අගෝස්තු මාසයේ අවසන් සතියේ බඩ ඉරිඟු බහලුම් 11 ක් ප්‍රතික්ෂේප කර ඇත. අනතුරුව බෙදා හැරීමට පෙර නිමි නිෂ්පාදන ද මෙම සැප්තැම්බර මාසයේ පළමු දෙසතියේ නිෂ්පාදන කාණ්ඩ හා දින අනුව පරීක්ෂණ වලට ලක් කර, ඒවායේ අහිතකර කිසිත් නොවූයෙන් ප්‍රාදේශීයව බෙදා හැර ඇත.
 
එහෙත් ඊට පෙර තොගයක ඇෆ්ලටොක්සින් තිබූ බවට කළුතර ප්‍රදේශයෙන් වාර්තා විය. වෙළඳපලේ ඇති හා බෙදා හැරෙන නිමි නිෂ්පාදන පරීක්ෂා කිරීමත් ඒවායේ දොසක් තිබේ නම් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියකි. එසේ කෙරුණු පරීක්ෂණ වාර්තා අගෝස්තු 20 හෝ ඊට පෙර දිනක වාර්තා ය. ඒ සම්බන්ධ දැනුම්දීම් ලැබූ විගස අදාල තොග නොපමාව නැවත
එකතුකර ගත් බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති මාධ්‍යයට කියා කිබුණි. එහෙත් එම වාර්තා ගැන මාධ්‍ය ඝෝසාව ආරම්භ කෙරෙන්නේ මේ සැප්තැම්බර මස ආරම්භයේදී ය. මාධ්‍යයන්හි කෙරෙන එවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශ මගින් ත්‍රිපෝෂ සම්බන්ධ අනියත බියක් සමාජයේ වගා වන්නේය.  
 
මෙය රාජ්‍ය ව්‍යාපාරයක් වන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට එරෙහි වෙනත් අරමුණක් ඉටු කර ගැනීමක් විය යුතු යැයි අප කියන්නේ එවැනි මාධ්‍ය සංදර්ශන ඇෆ්ලටොක්සින් අධිකව තිබීම හේතුවෙන් නඩු පැවරීමට කටයුතුකර ඇති පෞද්ගලික සමාගම් තුන සම්බන්ධයෙන් නොමැති හෙයිනි. අවම තරමින් ඔවුන්ගේ අනාරක්ෂිත නිෂ්පාදන වෙළඳපලින් ඉවත්කරගෙන තිබේදැයි ප්‍රශ්න කෙරෙන්නේ නැත. ඇෆ්ලටොක්සින් ඉහළ අගයක් තිබූ නිෂ්පාදන සඳහා ඔවුන් යොදා ගත් බඩ ඉරිගු තොග රසායනික පරීක්ෂාවකට බඳුන් කරනූ ලැබුවේදැයි සහ ඒවායේ වාර්තා කොහේදැයි ප්‍රශ්න කෙරෙන්නේද නැත. ඔවුන් ප්‍රතික්ෂේප කළ බඩ ඉරිඟු තොග ඇත්නම්, ඒවාට සිදුවූයේ කුමක්දැයි අනිවාර්යෙන් ඇසිය යුත්තකි.
 
අප තේරුම් ගන්නා අයුරු මාධ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සමිති නායකයින් කියන්නට උත්සාහ කරන්නේ මෙම රාජ්‍ය සමාගමේ අකාර්යක්ෂමතාව හා නොසැළකිල්ල දරුවන්ට සහ මව්වරුන්ට බරපතල අනතුරක් බවය. එවැනි චෝදනා එනමුත් ඔවුහු නඩු පවරන පෞද්ගලික සමාගම් වෙත එල්ල නොකරති. ඒ අතර සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීවේ, ත්‍රිපෝෂ සමාගමට ඩොලර මිලියන 02 ක ආධාරයක් කිරීමට පෞද්ගලික සමාගම් 02 ක් සූදානම් නමුත් ඔවුන් ප්‍රචාරයට අකමැති හෙයින් නම් හෙළි කළ නොහැකි බවය. රාජ්‍ය ආයතනයකට එවැනි නිර්නාමික මුදල් ආධාර ආයෝජන වශයෙන් භාර ගත නොහැකිය. එබැවින් මේ පුණ්‍යාධාර ගැන කතා පසුව පෞද්ගලීකරණයට පරිවර්තනය කෙරෙනු ඇතිදැයි අපි නොදනිමු.
 
අවසන් වශයෙන් කිව යුත්තේ ත්‍රිපෝෂ හා අනෙක් පෝෂණ නිෂ්පාදනයේදී වඩා වගකීමක් ඇතිව කටයුතු කර ඇත්තේ රජයේ සමාගම බැව් ද, පෞද්ගලික සමාගම් විසින් නිෂ්පාදනය කෙරෙන ආදේශක පෝෂණ ගැන එතරම් අවධානයක් සෞඛ්‍ය අංශ යොමු නොකරන බව ද මේ සිද්ධියෙන් පෙනෙන බවය. එහෙත් රජයේ ව්‍යාපාර නිසියාකාරව කළමනාකරණය නොවන්නේ යැයි මත වැපිරීමක් මාධ්‍යය ද හවුල්ව සිදු කෙරෙන්නේය.
 
එබැවින් අප අවධාරණය කරනුයේ අද මේ සමාජයේ බහුතරය වන නාගරික දුප්පත් හා ග්‍රාමීය ආර්ථිකයෙහි අක්‍රීය වූ පවුල් හා දරුවන් හරියාකාර ආහාර වේලක් නොලබන යුගයකි. පවුල් සියයට 35 ට වැඩි ප්‍රතිශතයකට නිසි ආහාර වේලක් ගත නොහැකි හෙයින් දරුවන් පාසල් යාම අතහැර දමන යුගයකි. දෑවුරුද්දකට ආසන්න කාලයේ කොරෝනා වසංගතය හා ඉන්ධන ගැටළු හේතුවෙන් පාසල් අධ්‍යාපනය අඩාලව තිබූ අතර, දැන් ආහාර සපයා ගැනීමට නොහැකි හෙයින් දරුවන් පාසල් යන්නේ නැත. සරළව කිවහොත් බාල වයස් දරුවන් ඔවුන් නොදන්නා සහ ඔවුන්ගේ දෙමාපියන්ට උත්තර නැති විශාල විනාශයක් අද්දරට තල්ලුවී ඇත. ඒ හේතුවෙන් අප අද වැඩිම මන්දපෝෂණයක් ඇති ආසියානු රටවල් අතර සයවැනි ස්ථානයට පත්ව ඇත. මේ පටු දේශපාලන අවශ්‍යතා මත තීන්දු තීරණ ගත හැකි හෝ ගත යුතු මොහොතක් නොවේ.
 
ඒ සියලු කාරණා හමුවේ අප මේ මොහොතේ ඉතා කාරුණිකව සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ පටු දේශපාලන හෝ පෞද්ගලික වාසි සඳහා තීන්දු ගැනීමෙන් වැළකී තම ප්‍රදේශයේ ප්‍රජා සෞඛ්‍ය සේවාවන් හා පොදු කටයුතු වෙනුවෙන් හවුල් වෙමින් ප්‍රජා සෞඛ්‍ය සේවාවේ වගකීම් නිසියාකාරව ඉටු කිරීමට දායකවන මෙන් ය. ඒ සමගම වැදගත් වන්නේ මෙවැනි පිරිස් වෙනුවෙන් ක්ෂණික විසඳුම් යෝජනා කෙරෙන හා සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් වැඩපිළිවෙලක් සංවාදයට තබන සමාජ ව්‍යාපාරයකට ඉඩ හදා ගැනීමය. මේ සමාජයේ අවදානම් සහගත ජීවිත ගත කරන ජනතාවට වැදගත් වන්නේ එවැනි අත දීමකි.
ස්තූතියි.
මෙයට විශ්වාසී
 
ඇන්ටන් මාකස්
සම ලේකම්

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය