පමණ ඉක්මවා බෝනස් දුන් රාජ්‍ය ආයතන නැතුවා නෙවෙයි!

පමණ ඉක්මවා බෝනස් දුන් රාජ්‍ය ආයතන නැතුවා නෙවෙයි!
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය සේවකයන් සඳහා විධිමත් අනුමැතියකින් තොරව  ප්‍රසාද දීමනා( බෝනස් ) සහ දිරිදීමනා ලබාදීමෙන්  රුපියල් කෝටි දාහතරක පමණ පාඩුවක්   ඉකුත් 2020 වර්ෂයේදී  සිදුකර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
 
චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව  සේවකයකු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 13,500 ක පමණ ප්‍රසාද දීමනා ගෙවිය හැකි වුවද, සංස්ථාව එම මුදලට අමතරව මාසික වැටුප මෙන්ම රුපියල් 10,000 ක සභාපති ප්‍රසාද දීමනාවක්ද  ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.
 
මේ අනුව සේවකයන් සඳහා චක්‍රලේඛ අනුමත සීමාව ඉක්මවා සහ විධිමත් අනුමැතියකින් තොරව 2020 වර්ෂයේදී ප්‍රසාද දීමනා ලෙස එක්කෝටි හැට පන් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව සඳහන්ය.
 
එසේම  සේවකයන් සඳහා 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා නිෂ්පාදන දිරිදීමනා ලෙස  රුපියල්  දොළොස් කෝටියකට වැඩි මුදලක් වැඩියෙන් ගෙවා තිබූ බවද, වාර්තා වේ.
 
විගණන වාර්තාවේ දැක්වෙන අන්දමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ  සේවකයන් සඳහා දිරිදීමනා ලෙස  2020 වර්ෂයේදී පමණක්  වැඩිපුර ගෙවා ඇති මුදල  රුපියල්  දෙකෝටියකට ආසන්නය.
 
තවද පැමිණීමේ දිරිදීමනා ලෙස මසකට එක් සේවකයකුට රුපියල් දෙදහසක් පමණක් ගෙවීමට අනුමැතිය  ලැබී තිබුණද, එය රුපියල් 3500 ක් දක්වා වැඩි කර ගෙවා තිබූ බව විගණන  වාර්තාවේ දැක්වෙයි.
 
මේ අතර නිලධාරියකුට ගෙවිය හැකි උපරිම ආපදා  ණය මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසකට සීමා කළ යුතුව තිබුණද, 2020 වර්ෂයේ දී නිලධාරීන් එකසිය එක් දෙනෙකුට  එම සීමාව ඉක්මවා රුපියල් එක්කෝටි විසිහතර ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාවේ සඳහන්ය.
 
තවද  වැඩ බැලීමේ කාලය මාස 3 ක උපරිමයකට යටත් විය යුතු වුවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වට්ටෝරු හා පර්යේෂණ) තනතුර සඳහා අඛණ්ඩව වර්ෂ තුනකට අධික කාලයක් වැඩ බැලීමේ පදනම මත නිලධාරියකු බඳවා ගෙන තිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.