විශ්‍රාම වැටුප් ගෙවීම පමාවීම ගැන රජයේ අවධානය යොමුවෙලා

විශ්‍රාම වැටුප් ගෙවීම පමාවීම ගැන රජයේ අවධානය යොමුවෙලා
මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
 
 විශ්‍රාම වැටුප ලැබීමට දිර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවයට පත්වන බව සඳහන් කළ සභාපතිවරයා මෙය දිර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවක්, බවත් ඒ  පිළිබඳ පැමිණිලි නිතර ලැබෙන බවත් පවසා ඇත.
 
නිලධාරීන් පෙන්වා දී ඇත්තේ නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රයක් ලැබී මසක කාලයක් ඇතුළත විශ්‍රාම වැටුප ගෙවීමේ හැකියාව පවතින බවයි. බොහෝ ගැටලු මතු වන්නේ අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ නොවීම හේතුවෙන් බවද  ඔවුන් පෙන්වා  දී තිබේ.
 
එහෙත් සාමාජික මන්ත්‍රීවරයන් පවසා ඇත්තේ  සිය විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු දැනගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳ ජනතාව තුළ බලවත් කළකිරිමක් පවතින බවයි. ඒ නිසා මෙම ක්‍රමවේදය නවීන තාක්ෂණයද උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සැලසෙන අයුරින් සැකසිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.  
 
 
එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම විශ්‍රාම වැටුප් සම්බන්ධව කටයුතු කිරිම සඳහා උපාධිධාරි නිලධාරියෙකු  පත් කිරීමට යෝජනා කරන ලෙසද,  මන්ත්‍රීවරුන් ගෙන් යෝජනා වී තිබුණු අතර දිස්ත්‍රික්ක වලට අදාළ විශ්‍රාමිකයන්ගේ සංගම් කමිටුව වෙත කැඳවා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සුදුසු බව සාමාජික මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දී ඇත.
 
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහින්දානන්ද අලුත්ගමගේ, මොහොමඩ් මුසාම්මිල්, ගුණතිලක රාජපක්ෂ, මර්ජාන් හලීල්, එම්. රාමේෂ්වරන්, කුමාරසිරි රත්නායක සහ කපිල අතුකෝරළ සහභාගී වී තිබේ.