අර්බුද දෙකක් නිසා වෛද්‍යවරුන් සුව සේවය හැර යන බවට බියක්

අර්බුද දෙකක් නිසා වෛද්‍යවරුන් සුව සේවය හැර යන බවට බියක්

නිදහස් සෞඛ්‍ය සේවාව අනතුරේ හෙලන බවට සුව සේවයේ ප්‍රධානතම වෘත්තීය සමිති ආණ්ඩුවට චෝදනා කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ හිඟයට අමතරව මානව සම්පතේ හිගකමද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගතයට අහිතකර ලෙස බලපානු ඇති බවට වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය අනතුරු අගවා සිටි.

'' ඖෂධ විතරක් නෙමෙයි. හියුමන් රිසෝස් ප්‍රශ්නයකුත් හෙල්ත් එකේ තියනවා. වෛද්‍යවරු විතරක් නෙමෙයිසෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගොඩක් අය මේක අතහැරලා යන තත්වෙක ඉන්නේ. ''

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ පවසන්නේ පසුගිය කොරෝනා වසංගත සමයේ මුහුණ දුන් ආකාරයේ අධි වසංගත තත්වයක් යළි මෙරට තුළ මතු උවහොත් ඒය කළමනාකරණය කර ගැනීම පහසු නොවන බවයි.

රජයේ රෝහල්වල සේවයේ නියුක්තව සිටි විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ වනවිට රට හැර යමින් සිටින බව පසුගිය සමයේ  ජනමාධ්‍ය දිගින් දිගටම වාර්තා කර තිබුනි.

මේ වන විට රටේ ඖෂධ 111 ක හිඟයක් පවතින බව පවසන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, මැයි 30 වැනිදා ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ එම හිඟයට කඩිනම් විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි සති දෙක තුළ එය 70 දක්වා පහත වැටෙනු ඇතැයි ඔහු වැඩි දුරටත්  විශ්වාසය පළ කර තිබුනි. මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රමාණය 383 ක් වන අතර, ජිවිත ආරක්ෂක ඖෂධ ප්‍රමාණය 14 කි.

වෛද්‍ය චමල් විජේසිංහ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඖෂධ හිඟයට ඒකම හේතුව ආර්ථික අර්බුදය හෝ මුදල් අහේනියම නොවන අතර නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටළු සහ වංචා  දුෂණ  විෂමාචාරද හේතු වී ඇති බවයි.

“රටේම තියන සල්ලි ටික, භාණ්ඩාගාරයේ තියන ඔක්කොම සල්ලි ටික හෙල්ත් මිනිස්ට්‍රියට දුන්නත් බැංකු වල තියන ඔක්කොම ඩොලස් ටික හෙල්ත් මිනිස්ට්‍රියට දුන්නත් ඖෂධ හිඟය විසදන්න බෑ. “

අමාත්‍යවරයා පවසන ආකාරයට සති දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයට විසදුම් ලබා දීම පහසු නොවන  බව පෙන්වා දෙන වෛද්‍ය චමල් විජේසිංහ අවධාරණය කරන්නේ, ඒ සදහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙලක් දියත් කළ යුතු බවයි.

ප්‍රශ්නයේ වපසරිය සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන තෙක් නිසිආකාරයෙන් තේරුම් ගෙන නොමැති බවට චෝදනා කරන වෛද්‍යවරයා සදහන් කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ක්‍රියා කරමින් සිටින්නේ පැලැස්තර විසදුම් ලබා දෙමින් බවයි.‍

'වෛද්‍ය පර්යේෂණ 70ක් අත්හිටවලා' - රවී කුමුදේශ්

සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය ඖෂධ වල  බරපතළ හිඟයක් තවමත් රටේ පවතින බව පෙන්වා දෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, එම ඖෂධ හිඟය පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ ‘අත්‍යවශ්‍ය ඖෂධ ලිස්ට්’ වෙනස් කරමින් වෙනත් අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගෙන්වීම සඳහා මූලිකත්වය ලබාදෙමින් බවයි.

මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය පරීක්‍ෂණ හැත්තෑවක් නතර කර දමා ඇති අතර ප්‍රධාන රෝහල් හයක ‘සීටී ස්කෑන්’ යන්ත්‍ර ද මාස ගණනක සිට පූර්ණ ලෙස අකර්මන්‍යව පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

“ ජාතික රෝහලේ කැනීටර් රසායනාගාරය මාස තුනක් වහලා. ළමා රෝහලේ වකුගඩු ක්‍රියාකාරිත්වය මනින යන්ත්‍රය මාස හයක් ක්‍රියාත්මක කර ගන්න අවශ්‍ය සැපයුම ලබාදී නැහැ. මහනුවර පිළිකා ඒකකයේ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකම අකර්මන්‍යයි ”

රට තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීමද මේ වන විට අඛණ්ඩව ඉහළ යමින් තිබෙන අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,409 කි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පවතින පුර්ණ රුධිර පරීක්ෂණය සදහා යොදා ගන්නා යන්ත්‍රය ද වසර 5 ක් තිස්සේ භාවිතයට ගෙන නොමැති බවයි.

(the leader)