ශ්‍රී ලංකා ටෙලිකොම් : පෞද්ගලීකරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

ශ්‍රී ලංකා ටෙලිකොම් : පෞද්ගලීකරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද? ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය (මැයි 15 වැනිදා) තීන්දු කළේය.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සමස්ථ විදුලි සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉකුත් මාර්තු මස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන්නේ ටෙලිකොම් ආයතනය පෞද්ගිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේද? යන්න සම්බන්ධෙයන් කතිකාවතක් නිර්මාණය වෙමින් පවතින පසුබිමකය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද?

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවට මෙම පෙත්සම් වලින් චෝදනා කර තිබුණි.

එම චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා, බ්‍රිතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සන්දේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත් අධිකරණය හමුවේ පැවසීය.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින ආකාරයට අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවොත් විදේශ ආයෝජකයින් මෙරටට පැමිණීම මගහැර වෙනත් රටවල් කරා ඇදී යාමට හැකියාව තිබෙන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

මෙම ක්‍රියාවලිය හරහා ටෙලිකොම් ආයතනයේ කොටස්කරුවන්ටත්, එහි ග්‍රාහකයන්ටත් අගතියක් සිදු වන බවට පෙත්සම් වලින් චෝදනා කර තිබුණද එය ද පදනම් විරහිත බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ක්‍රියාදාමය හරහා ලැබෙන වාසිය ටෙලිකොම් ආයතනයට පමණක් නොව එහි කොටස්කරුවන්ටත්, ග්‍රාහකයන්ටත් හිමිවන අතර මෙය සැමටම ජයග්‍රහණය ගෙන දෙන වැඩපිළිවෙලක් බවත් පැවසීය.

ඒ අනුව මෙම ක්‍රියාවලිය තුළින් පෙත්ම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් නොවන හෙයින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දැක්වූ අතර ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

'කොටස් ජූනි මස තෙක් විකුණන්නේ නැහැ'

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතුව තිබෙන රජයේ කොටස් ජූනි මස 15 වන දා තෙක් විකීණීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා (මැයි 08 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජේ. බී. ගුරුසිංහ සහ ලේකම් එච්. කේ. හෙට්ටිආරච්චි යන අය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක මෙම ප්‍රතිඥාව ලබා දුන්නේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීම සඳහා වගඋත්තරකරුවන් අනුගමනය කරන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව යි.

කෙසේ වෙතත්, මීළඟ නඩු දිනය තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමක් නොකරන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා (මැයි 08 වැනිදා) අධිකරණයට දන්වා සිටියේ ය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 15 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේ ය.

මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමය විසින් ඉදිරිපත් කෙරුණු තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජීව ගුණතිලක අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කරමින් මෙම පෙත්සම වෘත්තිය සමිතියක් විසින් ගොනුකර තිබෙන බව පෙන්වා දුන්නේ ය.

වෘත්තීය සමිතියක් නෛතික පුද්ගලයකු වශයෙන් පිළිගත නොහැකි බවත්, එබැවින් අදාළ පෙත්සම පවත්වාගෙනයාමට නොහැකිබවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වා සිටියේ ය.

ඒ අනුව අදාළ පෙත්සම මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීය.

ඊට ප්‍රතිචාර වශයෙන් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙය මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් ඉදිරිපත්කර ඇතැ යි සඳහන් කළේ ය.

ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට බාධාවක් මතු නොවන බව නීතිඥවරයා ප්‍රකාශ කළේ ය.

අනතුරුව මේ පිළිබඳ නියෝගය ජූනි මස පස්වන දා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරු මඬුල්ල විසින් නිවේදනය කෙරිණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළුව සාමාජිකයන් පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර වගඋත්තරකරුවන් විසින් මහජන අදහස් විමසීම, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම, සේවක අදහස් විමසීම සහ කොටස්කරුවන්ගෙන් අදහස් විමසීම සිදුකර නොමැති බව යි.

එබැවින් මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය පාරදෘෂ්‍යභාවයෙන් තොරබවත්, එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිබවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මේ හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ග්‍රාහකයින් මිලියන 10.2කට වැඩි පිරිසකට අගතියක් සිදු වනබව ද පෙත්සම්වලින් පෙන්වා දී තිබේ.

වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය තුළින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින්, කොටස්කරුවන් සහ ග්‍රාහකයින්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ද තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව තිබෙන කොටස් පැවරීම පිළිබඳ තීරණයට අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්වලින් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

(bbc/sinhala)