දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව සේවක අර්ථසාධක අරමුදල ප්‍රධාන අනෙක් එවැනි විශ්‍රාමික පාරිතෝෂික අරමුදල් සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දු කරන්නාවූ පියවර පිළිබඳව පහත දැක්වෙන කරුණු සහ යෝජනා නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය මහ බැංකු අධිපතිවරයා වෙත දන්වා ඇත.
එම ලිපියේ ඉදිරිපත් කර ඇති යෝජනා පහතින් දැක්වේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්‍ධයෙන් ආණ්ඩුව තීන්දු කරන්නාවූ පියවර පිළිබඳව මේ වනවිට සමාජයේ විවිධ අර්ථකතනවලට හා ප්‍රතිචාරයන්ට ලක් වෙමින් ඇත. ඒ බොහෝමයක් සාධනීය අර්ථකතන හා ප්‍රතිචාර නොවේ. එනිසාම ඒ සම්බන්ධව අර්ථසාධක අරමුදලේ හිමිකාර සේවක සේවිකාවන් අතර ඇත්තේ ඔවුන්ගේ සාමාජික මුදල් විවිධාකාරයෙන් අවභාවිතා කෙරෙන්නේයැයි වන බරපතල සැකයකි.
මේ වනවිට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුලු හැම රාජ්‍ය ආයතනයකම වාගේ ඉහළ පෙළ නිලධාරීන් ද මහපරිමාන දූෂණ වලට හවුල්ව ඇතැයි පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීම් වලදී තොරතුරු අනාවරණය වන පසුබිමක, අර්ථසාධක අරමුදල් අවභාවිතවීම හා අරමුදල් කළමණාකරණයෙහි දූෂණ ගැන සේවක සේවිකාවන් කණස්සලුවීම පුදුමයක් විය නොහැක. එවගේම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු කවරාකාරයේ ආර්ථික ක්‍රියාවලියක්දැයි හරියාකාර අවබෝධයක් නොමැති සහ එම ක්‍රියාවලියෙහි ඔවුන්ගේ සාමාජික මුදල් වලට සිදුවන්නේ කුමක්දැයි නිල වශයෙන් පැහැදිළි කිරීමක් සිදුනොවන පසුබිමක, අරමුදල් අවභාවිතය හා දුෂණ සම්බන්ධ දැඩි සැකයක් සේවක සේවිකාවන් අතර සීඝ්‍රයෙන් පැතිර යාම වැළැක්විය නොහැක්කකි.
එවැනි වටපිටාවක, ඉකුත් 29 වන දින ඔබ විසින් හදිසි මාධ්‍ය හමුවක් පවත්වමින් අර්ථසාධක අරමුදල සහ අනෙක් එවැනි අරමුදල් සම්බන්ධව කළ පැහැදිළි කිරීම් මාධ්‍යයෙහි වාර්තාකර තිබූයේ මේ වනවිට මූල්‍ය පිරිසකර කිරීම් වෙනුවෙන් බැංකු ක්ෂේත්‍රය සැළකිය යුතු වගකීමක් දරා ඇති අතර, අනෙක් ආයතන වලට වඩා වැඩි බදු ප්‍රතිශතයක් බැංකු ක්ෂේත්‍රය විසින් ගෙවන හෙයින් තවදුරටත් ඔවුන්ට බර පැටවිය නොහැකි යැයි කියාය.
“ඊට ප්‍රතිවිරුද්ධව, විශ්‍රාමික පාරිතෝෂික අරමුදල් සඳහා අය කෙරෙන්නේ සියයට 14 කි. ඒ අතරතුර යෝජනා වන්නේ 2025 වන තෙක් රිසීට් පත් මත සියයට 12 ක් ලැබිය හැකි දිගු කාලීන භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් විශ්‍රාමික පාරිතෝෂික බැඳුම්කර හුවමාරු කිරීමටය. ඒවා 2025 න් පසුව ද අවම සියයට 09 ක් වනු ඇත. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් සඳහා දිගු කාලීනව අවම සියයට 09 ක ආපසු ලැබීමක් සහතික වන්නේය. එවගේම, කිසිදු පුද්ගලයෙකුගේ වර්තමාන ශේෂයෙහි කිසිදු අඩුවක් නොවනු ඇත. යම් හෙයකින් එය සියයට 09 ට වඩා අඩු වුවහොත්, ඒ හිඟය පිරවීමට මහ භාණ්ඩාගාරය එකඟව ඇත. විශ්‍රාමික පාරිතෝෂික අරමුදල් මෙම ක්‍රියාවලියට හවුල්වීමට සූදානම් නොවන්නේ නම්, දැනට අය කෙරෙන සියයට 14 බද්ද වෙනුවට ඔවුන් සියයට 30 ක බද්දකට යටත් කිරීමට ඉඩ ඇත” යැයි ඔබ එදින පැවසූ බවත් වාර්තා විය.
එමගින් වූවත් තමන්ගේ සාමාජික මුදල් එකතු කෙරෙන අර්ථසාධක අරමුදලට සිදුවන්නේ කුමක්දැයි සාමාන්‍ය සේවකයෙකුට හරියාකාර අවබෝධයක් ලබා ගත නොහැක. ඔබගේ ඉහත ප්‍රකාශය බොහෝ දෙන කියවා ගෙන ඇත්තේ ඔවුන්ගේ අරමුදල් වෙනුවෙන් දැනට ලබා දෙන සියයට 14 ක පොලිය ඉදිරියේදී සියයට 09 දක්වා අඩු විය හැකි අතර, එය ඊටත් වඩා අඩු වුවහොත් මහ භාණ්ඩාගාරයෙන් හිඟ ප්‍රතිශතය පුරවන්නේ යැයි ඔබ සහතික වූ බවෙකි. මහ භාණ්ඩාගාරයේ පොරොන්දු මේ ආණ්ඩුවේ දේශපාලන පොරොන්දු ලෙස සැළකෙන හෙයින් ඒ සම්බන්ධව සමාජයේ ඇති දැඩි අවිශ්වාසය, තිබූ අවදානම හා සැකය තව දුරටත් උග්‍රවන්නට දැනටම හේතුවී ඇත.
එවැනි අවිනිශ්චිත සන්දර්භයක, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල හා අනෙක් විශ්‍රාමික පාරිතෝෂික අරමුදල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සම්බන්ධ වන්නේ කෙසේද හා ඉන් සේවක සේවිකාවන්ට ලැබිය හැකි වාසි අවාසි තිබේදැයි නිල වශයෙන් දැන ගැනීමේ සහ එවැනි තීන්දුවක පංගුකාරයින්වීමේ අයිතිය, අවම තරමින් සේ.අ. අරමුදලේ 2020 වාර්ෂික වාර්තාවේ සඳහන් වන සක්‍රීය සාමාජික සාමාජිකාවන් මිලියන 2.6 ට තිබිය යුතුය.
සක්‍රීය සාමාජිකත්වයේ ඒ අයිතිය වෙනුවෙන් අප සංගමය මීට පෙර කිහිප වරක් කරුණු ඉදිරිපත් කර ඇත්තෙමු. එහිදී වැදගත්ම කාරණාව වන්නේ අරමුදලේ අයිතිකරුවන් කම්කරු දෙපාර්තමේන්තුව හෝ මහ බැංකුව නොවීම ය. අරමුදලේ අයිතිකරුවන් වන්නේ එහි ගිණුම් හිමි සක්‍රීය සාමාජිකයින් මිලියන 2.6 වන්නාහ. එහෙත් අරමුදල් පරිහරණය කිරීම පිළිබඳව, ඒවා ආයෝජනය කිරීම පිළිබඳව තීන්දු ගැනීමේ කොතැනකවත් අයිතිකාර සේවක සේවිකාවන් ඇත්තේ නැත. තීන්දු ගනු ලබන්නේ ඒ අරමුදල් පිළිබඳ භාරකාරත්වය පවරා ඇති නිලධරයින් පිරිසක් සහ දේශපාලනඥයින් ය.
එම පරස්පරය හා ඒ හේතුවෙන් සේවකයින් පත්ව ඇති අසාධාරණය මීට පෙර මහ බැංකු අධිපති වශයෙන් 2016 ජූලියේ සිට 2019 දෙසැම්බරය දක්වා කටයුතු කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් පිළිගනු ලැබ, ඔහු ඒ ගැන වෘත්තීය සමිති සමග සාකච්ඡා ආරම්භ කළේය. ආයෝජන සම්බන්ධ තොරතුරු ලබාදීමටද ඔහු එකඟ විය. වෙනත් බාහිර බලපැම් සමග එම සාකච්ඡා අතරවාරයේ නතර වින. අප ඉන් තේරුම් ගත් මූලික කාරණාව වූයේ අර්ථසාධක අරමුදලෙහි සහ අනෙක් විශ්‍රාමික පාරිතෝෂික අරමුදල්වල ගනුදෙනු විවෘත කිරීමෙන්, ඒ සම්බන්ධ තොරතුරු සාමාජික සේවක සේවිකාවන්ගේ නියෝජිත වෘත්තීය සමිති වෙත ලබා දීමෙන් තමන්ට ලැබිය හැකි ලාභාවකාශ ඇහිරෙනු ඇතැයි බිය වන පිරිස් ඉන්නා බවය. ඔවුන් මහ බැංකු අධිපතිට බලපෑම් කළ හැකි අධිකාරවාදී තනතුරු දරණා බවය.
අද රටේ සමාජ ආර්ථික තත්ත්වය අතිශය බරපතල් බිඳ වැටීමකට පත්ව තිබෙන හෙයින්, එදා මෙන් ඉහළ නිලධර කමිටුවල තීන්දු වෙනුවෙන් සේවක අයිතිවාසිකම් අතහැර සිටිය නොහැකිය. විශේෂයෙන්ම, ඔවුන් කිසිවකු සෘජු සමාජ වගකීමකට බැඳි නැති හෙයින් ඔවුන්ට සේවක අයිතිවාසිකම් පවරා ගැනීමට තවදුරටත් ඉඩ තැබිය නොහැකිය. එනිසා මිලියන 2.6 ක සේවකයින්ගේ අයිතිය වෙනුවෙන් ඔබ ක්‍රියාකාරීව මැදිහත් විය යුතු යැයි අපි තරයේ විශ්වාස කරන්නෙමු.
ඔවුන් සැමගේ අයිතිය වෙනුවෙන් සේවක සේවිකාවන් මිලියන 2.6 සමග එකවර සාකච්ඡා කිරීමේ කිසිදු ප්‍රායෝගික හැකියාවක් නොමැති බව අප සංගමය ද පිළිගන්නෙමු. එනිසා සෑම සේවා හා නිෂ්පාදන ක්ෂේත්‍රයක්ම ආවරණය වන අයුරු, පිළිගත් සේවක නියෝජනයන් වෙනුවෙන් එම ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරී වෘත්තීය සමිතිවලින් සැදුම්ලත් නියෝජිත මණ්ඩලයක් සමග මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුලු අනෙක් විශ්‍රාමික පාරිතෝෂික අරමුදල් වෙත එකී ප්‍රතිව්‍යුහගත කිරීම් බලපාන්නේ කෙසේදැයි ගැඹුරු සාකච්ඡාවක් වහා කැඳවන මෙන් අප සංගමය ඉල්ලා සිටින්නෙමු. අනතුරුව එම සාකච්ඡාව නිදහස් වෙළඳ කලාප හා දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡා ලෙස පැවැත්වීමට ද අප සංගමය යෝජනා කරන්නෙමු.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල හා අනෙක් විශ්‍රාමික පාරිතෝෂික අරමුදල් ඊට ඇතුලු කෙරෙන්නේ කෙසේද යන්න පිළිබඳ පොදුවේ සමාජයත් විශේෂයෙන් එම අරමුදල් හිමි සාමාජික සේවක සේවිකාවනුත් දැනුවත් කිරීමේ වගකීම, අර්ථසාධක අරමුදලේ භාරකාරත්වය පවරා ඇති මහ බැංකුවේ මුදල් මණ්ඩලය සතු පැහැර හැරිය නොහැකි මූලික වගකීමක් යැයි අප සංගමය කියා සිටින්නෙමු. එතෙක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට හා අනෙක් විශ්‍රාමික පාරිතෝෂික අරමුදල්වලට අදාලව කිසිදු පියවරක් නොගන්නා මෙන් ද වැඩිදුරටත් අප සංගමය මෙයින් ඉතා පැහැදිළිව ඉල්ලා සිටින්නෙමු.
මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඔබ ගනු ලබන පියවර පිළිබඳව අප සංගමය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.