කාලගුණෙන් පීඩාවට පත්වූවන්ට රතුකරුසෙන් සහන

කාලගුණෙන් පීඩාවට පත්වූවන්ට රතුකරුසෙන් සහන

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින, ගම්පහ , ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ජනතාව වෙත සහන සැලසීම සඳහා , ශ්‍රී ලංකා රතුකුරුස සමාජය, රුපියල් මිලියන 140කට අධික මූල්‍යමය වටිනාකමකින් යුත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත .

මෙම ආපදා සහන වැඩසටහන හරහා, අදාළ දිස්ත්‍රික්ක තුනෙහි , පවුල් 3000කට පමණ අයත් පුද්ගලයින් 15000කට පමණ සහන සැලසීම, ශ්‍රී ලංකා රතු කුරුසයේ ඉලක්කය හා අපේක්‍ෂාව වී ඇත .

පීඩාවට පත් ජනතාව වෙත මූල්‍යාධාර ලබාදීම , අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ ලබාදීම, මෙන්ම, වෛද්‍යාධාර හා ප්‍රථමාධාර ලබාදීම, පානීය ජල සැපයුම් හා සනීපාරක්‍ෂක තත්වයන් ඉහල නැංවීමට පියවර ගැනීම, පිරිසිදු කිරීමේ ව්‍යාපෘති, වියලි ආහාර බෙදාදීම, පාසල් පොත් පත් හා උපකරණ බෙදාදීම ඇතුළු කටයුතු රැසක් මෙම වැඩසටහනට ඇතුලත්ව ඇති බව ශ්‍රී ලංකා රතු කුරුසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය .

හදිසි ආපදා ප්‍රතිචාර අරමුදල (Disaster Response Emergency Fund ) ,යටතේ ක්‍රියාත්මක මෙම විශේෂ වැඩසටහන, ජාත්‍යන්තර රතුකුරුසයේ හා ජාත්‍යන්තර අඩසඳ සමාජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කර ඇති බවත්, මාස හතරක කාලාසීමාවක් පුරා මෙම ආධාර වැඩසටහන දියත් කරන බවත්, අබේසිංහ මහතා පැවසීය .

මෙම වැඩසටහන දැනටමත් අදාළ දිස්ත්‍රික්ක තුනෙහිම සාර්ථකව ක්‍රියාත්මකවෙමින් ඇති අතර එළඹෙන පෙබරවාරිය වන විට වැඩසටහනේ සියලු ඉලක්ක සපුරාලීමටද නියමිතව ඇත .

මෙම ආපදා සහන වැඩසටහනේ විවිධ කොටස් ගැන වැඩිදුරටත් පැහැදලි කරමින් ජගත් අබේසිංහ මහතා මාධ්‍ය වෙත මෙසේද පැවසීය.

මූල්‍යාධාර බෙදාහැරීමේ වැඩසටහන හරහා පවුල් 1900 ක, පුද්ගලයින් 9500කට සහන සැලසීමට නියමිතයි . එසේම මෙහිදී පුද්ගලයින් 50000කට පමණ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීමට කටයුතු කරනවා. එසේම වෛද්‍ය කඳවුරු හරහා 40000කට අධික පිරිසකට වෛද්‍යාධාර ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන් වැඩිමහල් පුද්ගලයින්ට හා නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට විශේෂ අවධානයක් යොමුකෙරෙනවා .

පානීය ජල සැපයුම් හා සනීපාරක්‍ෂක වැඩසටහන් හරහා 14000 කට අධික පිරිසකට සෙත සැලසීමට සැලසුම් කර තිබෙනවා. එසේම පාසල් ළමුන් 4000කට අධික සංඛ්‍යාවකට පාසල් පොත් පත් හා උපකරණ ලබාදෙමටද මෙම වැඩසටහන යටතේ සැලසුම් කර තිබෙනවා. වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරෙනවා.