ස්ත්‍රීන්ට හා ගැහැණු දරුවන්ට ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර ගෞරවාන්විත සමාජයක්

ස්ත්‍රීන්ට හා ගැහැණු දරුවන්ට ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර ගෞරවාන්විත සමාජයක්

ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේ සෑම වසරකම නොවැම්බර් 25 දාටය. ජාත්‍යන්තර සමරු දින තිබුණද ඒවා ජාතික මට්ටමෙන් පවා සමරමින් ජනතාව දැනුවත් කළද ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් වැඩිවීමක් මිස අඩුවීමක් සිදු වී නොමැත. පොදු සමාජයේදී මෙන්ම පවුල තුළ එසේම තම නිවස තුළද ලිංගික අතවරයන්ට ගොදුරු වන දැරියන් සහ ස්ත්‍රීන්ද එමටය.

 2023 පොලිස් මූලස්ථාන සංඛ්‍යා ලේඛණ අනුව
 ළමයින්ට එරෙහිව සිදුවූ අපරාධ 2331
 ස්ත්‍රී අපයෝජන   1150
 ස්ත්‍රීන්ට එරෙහි අපරාධ  750 (මිනීමැරුම්, පහර දීම හා බරපතල අපරාධ)

 

 සුළු අපරාධ
 ළමුන්ට එරෙහි  2092
 ළමුන්ට එරෙහිව ලිංගික අතවර  1086
 ස්ත්‍රීන්ට එරෙහි සුළු අපරාධ  6234
 ස්ත්‍රීන්ට එරෙහි ලිංගික අතවර   1765
 ස්ත්‍රීට එරෙහි වෙනත් අපරාධ  2978 (පහරදීම්)

 

ඉහත දැක්වෙන්නේ පොලිසියට වාර්තා වූ සිද්ධි පමණකි. වාර්තා නොවුණු සිද්ධීන් තව කොතෙක් විය හැකිද? තවද, පොලිස් වාර්තාවලට අනුව ස්ත්‍රී ජනගහනයෙන්  හතරකින් එක් අයෙකු කිනම් හෝ ලිංගික අතවරයකට ලක් වූ අය වෙයි. එලෙසින්ම දිනකට ස්ත්‍රී දූෂණ තුනක් ශ්‍රී ලංකාව තුළ සිදු වෙයි.

මේ සියලු හිංසනකාරී තත්ත්වයන් සමනය කිරීමට පියවර ගත යුත්තේ කාන්තා සංවිධාන පමණක් බවට සමහරු තුළ පවතින්නේ දුර්මතයකි. එය සෑම පුරවැසියෙකුගේම වගකීමක් මිස කාන්තා ක්‍රියකාරිණියන්ට හෝ කාන්තා සංවිධානවලට පමණක් පැවරෙන වගකීමක් නොවේ.

ප්‍රචණ්ඩත්වයට, හිංසනයට හෝ අතවරයට ලක්වන කාන්තාව ඔබගේ මව, දියණිය, බිරිඳ, නැගණිය හෝ මිත්තණිය විය හැක. ඔවුන් සියලු දෙනාටම ආරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කර දීම සෑම පුරවැසියෙකුගේම සමාජ වගකීමකි. යුතුකමකි.

දකුණු ආසියාවේ මෙන්ම ශ්‍රී ලාංකීය සමාජයේද පවතින පුරුෂාධිපත්‍යයික ආකල්ප හා සංකල්ප හිස මුදුනින් පිළිගන්නන්ද අද සමාජයේ බොහෝ වෙති. ගැහැණුන් පිරිමින්ට යටත් වී සිටිය යුතු බව ඔවුන්ගේ මතයයි. පිරිමින් විසින් පමුණුවන ඕනෑම වදයක් ගැහැණුන් ඉවසා සිටිය යුතු බව ඔවුහු අදහති. මේ මතවාදයන්ද ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙන කරුණුය. එම මතවාද වලින් මිදී ස්ත්‍රීන්ට ගරුත්වයෙන් යුතුව මානුෂිකව සැලකීමට, ඔවුන්ට ආරක්ෂාව සැලසීමටත් කටයුතු කිරීම සමාජ වගකීමක් බව දෙපාර්ශවයම තේරුම් ගත යුතු බව අපි අවධාරණය කරමු. 

ඇඟළුම් ක්ෂේත්‍රයේද කර්මාන්තශාලා තුළ සේවිකාවන්ට එරෙහිව විවිධාකාරයෙන්  ප්‍රචණ්ඩත්වයන් සිදු වෙයි. ඔවුන්ට අයහපත් ලෙස බලපාන කම්කරු නීති සංශෝධනයන්ද එක්තරා ආකාරයක ප්‍රචණ්ඩත්වයකි. එම නීති සංශෝධනය විය යුත්තේ හාම්පුතුන්ට හිතකර වන සේ නොව කම්කරු පංතියට හිතකර වන ආකාරයෙනි. එමනිසා අදාළ බලවතුන්ගේ අවධානය මේ පිළිබඳව යොමු විය යුතුයි.

තවද, ස්ත්‍රීන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වය, මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්ද වෙයි. මානව හිමිකම් වලට අදාළව අත්සන් කෙරුණු හා සම්මත කෙරුණු සම්මුති මෙන්ම ප්‍රඥප්ති, පොත් පත්වලට, ලිපි ලේඛණ වලට පමණක් සීමා කොට තැබීම වගකිවයුත්තන් විසින් නොකළ යුත්තකි. මේ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පමා කිරීම හා අපරාධ කරුවන් බලපෑම් මත නිදොස් කොට නිදහස් කිරීම මෙබඳු අපරාධ වලට අනුබල දීමකි.

වර්තමානයේ ස්ත්‍රීන්ට එරෙහිව පවතින ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යය එම මොහොතේ ක්ෂණික ප්‍රතිචාර දැක්වූවද සමාජ වගකීමක් බව තේරුම් ගෙන ඒ සම්බන්ධව පුලුල් සංවාදයක් දියත් කිරීමට අපොහොසත් වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකා රජය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රතිපත්තියක්ද, කාන්තාව සාමය ආරක්ෂාව සඳහා වන ජාතික වැඩ සැලසුමක්ද අනුමත කර ඇත. මේ සම්බන්ධයෙන් කාන්තාවන් සවිබල ගන්වමින් එම ප්‍රතිපත්ති හා වැඩ සැලසුම් හරහා ස්ත්‍රීන්ගේ සම අයිතිය ආරක්ෂා කර ගැනීමට හැකි වන අන්දමට පරිසරයක් හා නීති මාලාවක් කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

අපි  කම්කරු කාන්තා සංවිධානයක් ලෙස හා, ජාලගත සංවිධානයක් ලෙස ස්ත්‍රීන්ට හා දැරියන්ට එරෙහිව සිදුකෙරෙන සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට විරෝධය පළ කර සිටිමු. ස්ත්‍රීන්ට හා දැරියන්ට ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් තොර ගෞරවාන්විත සමාජයක් හිමි කර දීමට සියලු භේද දුරලා සාමූහිකව එක්සත්ව කටයුතු කරමු. 

(2023 නොවැම්බර් 25 ස්ත්‍රීන්ට එරෙහි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ස්ත්‍රී මධ්‍යස්ථානය විසින් සකස් කළ පත්‍රිකාවකි)