ඖෂධ ආනයනය කිරිම, නිදහස් කරගැනීම සහ බෙදාහැරීම පිළිබදව සෞඛ්‍ය ලේකම් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපති  කරුණු පහදයි

ඖෂධ ආනයනය කිරිම, නිදහස් කරගැනීම සහ බෙදාහැරීම පිළිබදව සෞඛ්‍ය ලේකම් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපති  කරුණු පහදයි

මෙරටට ඖෂධ ආනයනය කිරීම, ඖෂධ වරායෙන් නිදහස්  කර ගැනීම සහ ක්‍රමවත්ව සහ කඩිනමින් රෝහල් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපති  විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මධ්‍ය වෙත අදහස් දක්වන ලදි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපති  විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා...

“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන වගකීම සුරක්ෂිත සහ ක්‍රියාකාරීව ඖෂධ ජනතාවට ලබාදීමට කටයුතු කිරීමයි. මේ පිළිබද පසුගිය කාලය තුල විවිධ අර්බුධකාරි තත්ත්වයන් තිබුනා. මේ වන විට පැවැති අර්බුධකාරි තත්ත්වන් සමථයකට පත් කිරීමට සහ ඇති වී තිබෙන ප්‍රමාදයන් වළක්වා ගනිමින් ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යාම සදහා විවිධ වූ පියවර ගෙන තිබෙනවා.”

“ඖෂධ ලබාදීමේ දී ඖෂධයේ ප්‍රමිතිය වැනි විවිධ කාරණා සළකා බලා මෙරට ඖෂධ ලියාපදිංචි කිරීම් සිදු කරනවා. එයින් සිදු කරන්නේ ප්‍රමිතිය තහවුරු කිරීමයි. මෙලෙස ප්‍රමිතිය තහවුරු කරන ලද ඖෂධවල ලියාපදිංචි වීම් කල් ඉකුත් වූ විට එම ලියාපදිංචි කිරීම් නැවත කළ යුතුයි. නැවත කළ යුතු ඉල්ලුම්පත් සහිත ලිපගොනු රාශියක් පසුගිය අවූරුදු දෙක තුල එකතු වීම නිසා යම් කිසි ප්‍රමාදයක් පසුගිය කාලය තුල ඇති වෙමින් තිබුනා. නමුත් එම ප්‍රමාදය මඟහැරවීම සදහා සියළු කලින් ලියාපදිංචි වූ ඖෂධ සදහා ලබන ජුනි මස අවසානය වන තෙක් ලියාපදිංචිය නැවත ලබාදීමට දැනට තීරණය කර තිබෙනවා. එමගින් සිදුවීමට ඉඩ ඇති ප්‍රමාදයන් මඟවරවා ගනිමින් මෙරටට ඖෂධ ලබාගැනීම සහ ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම ඉතා පහසුවෙන් සහ කඩිනමින් සිදු කර ගැනීමට හැකි වෙනවා.”

“සමහර මාධ්‍ය වල පසුගිය දින දෙක තුන තුල විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුනා. “ඖෂධ නියාමන අධිකාරිය අකුරට වැඩ. බෙහෙත් තොඟ වරායේ හිරවෙයි, ඖෂධ තොඟ පිටින් වරායේ හිරකරනා ඖෂධ නියාමන අධිකාරියේ කුමන්ත්‍රණයක්” වැනි ආකාරයේ පුවත්. එවැනි ප්‍රවෘත්ති වාර්තා කිරීම ගැන අපි ඉතාමත්ම කණගාටු වෙනවා.  ඖෂධ නියාමන අධිකාරි‌යේ අරමුණ ඖෂධ හිර කරලා ඖෂධ හිඟයක් ඇති කිරීම නොවෙයි. නිසි ආකාරයෙන් ජනතාවට ලබාදීමයි. දැනට අපි කටයුතු කරන්නේ ඖෂධ තොඟ වරායේ හිරවීම නවත්වලා ඉක්මනින් නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. කිසිම ප්‍රමාදවීමක් සිදු නොවන බවට අපි වගබලා ගන්නවා.” යැයි ද වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා...

 “සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුඛ්‍ය පරමාර්ථය ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමයි. එහිදී ඖෂධ ලබාදීම ඉතාම වැදගත් වෙනවා. ඖෂධ අවශ්‍ය ප්‍රමාණය රෝහල්වෙත ලබාදීම සදහා ඖෂධ අනයනය, වරායෙන් නිදහස් කර ගැනීම, ඖෂධ බෙදාහැරීම ප්‍රාදේශීය වශයෙන් සහ රෝහලවල ගබඩා වෙත යොමු කිරීම යන සියල්ල සම්බන්ධීකරණය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබනවා. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව අංශ කිහිපයක් තිබෙනවා. ඉන් එකක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දිය හැකියි.”