ජනාධිපති අපේක්ෂකයින්ට වෙළද කලාප සේවකයින්ගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමග අභියෝගයක්

ජනාධිපති අපේක්ෂකයින්ට වෙළද කලාප සේවකයින්ගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමග අභියෝගයක්

 

මෙවර පැවැත්වෙන් ජනාධිපතිවරණ සඳහාජනාධිපති අපේක්ෂකයින්ගේ අවධානය සඳහා  අයිතීන් හා ඉල්ලීම් මුල්කර ගනිමින් නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත.

ඒ පසුගිය කාලය තුළ ආර්ථික අර්බූදය ඇතුළු රට මුහුණ පෑ දුක්ඛිත තත්ත්වය හමුවේ දැඩි ආන්තිකරණයට ලක්වූ නිදහස් වෙළඳ කළාප කම්කරුවන්ගේ අයීතින් ඇතුළත්ව මෙම ප්‍රතිපත්ති මාළාව සකස් කර ඇත.

ඇඟලුම් සහ වෙළඳ කලාප වෘත්තීය සමිති සහ සංවිධානවලින් සැදුම්ලත් නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගිතාවය විසින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සැප්තැම්බර් 01 දින සියලු ජනාධිපතිවරණය ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඉදිරිපත් කරන ලදි.

එය සම්පූර්ණයෙන්ම පහතින් දැක්වේ.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය.

සංක්‍රමණය මත සිය ජීවිත ගොඩනගා ගෙන ඇති නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන් බහුතරය මිනිස් බල ශ්රමය, කම්කරු නීති ප්රතිසංස්කරණ, ඡන්ද අයිතිය නොමැතිකම, රාජ්ය කප්පාදු වැඩසටහන් සහ ණය බරින් අහිතකර පීඩාවට පත්ව ඇත. නිදහස් වෙළඳ කලාප සහ ඇඟලුම් කර්මාන්ත යනු රටට අත්‍යාවශ්‍ය මොහොතේ ඩොලර් ගෙනෙන කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කරන තෝතැන්නක් බව පත්ව ඇත.

නිදහස් වෙළඳ කලාපවල කම්කරුවන් වන අපි සියලු පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ ජනතා පරමාධිපත්යය ආරක්ෂා කරන සහ ඉදිරියට ගෙන යන දේශපාලන ආර්ථිකයකට කැප වන්නෙමු. රජය විසින් සපයනු ලබන සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ පරිපූර්ණ නිවාස වෙත ප්‍රවේශය වීමට අයිතිය  ඇති, තම රැකියාව ස්වකැමැත්ත මත තෝරාගත හැකි, හිංසනයෙන් තොර අභිමානයෙන් ජීවත් විය හැකි, වගවීම අගය කරනු ලබන සමාජයක් සහ රාජ්යයක් තුළ ජීවත් වීමට අපි උත්සාහ ගන්නෙමු.

සමාජභාවය පිළිබඳ සමාජමය වශයෙන් ගතානුගතික අර්ථ නිරූපණය මගින් කාන්තාවන්ගේ සහ LGBTQ+ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ඓතිහාසිකව සීමා කර ඇත. එමගින් සීමා වලට යටත් ස්ත්‍රී පුරුෂ භූමිකාවන් සහ හානිකර ඒකාකෘති (ප්රතිරූප) නියම කර ඇත. කාන්තාවන්ට සහ LGBTQ+ ප්රජාවන්ට මෙරට පුරවැසියන් ලෙස යුක්තිය සහ රාජ්‍ය වෙත ප්‍රවේශ වීමටත්, අධිකරණ පද්ධතිය තුළ සාධාරණව සලකනු ලැබීමට අයිතිය තිබිය යුතු බවත් අපි තහවුරු කරන්නෙමු. සියලු සේවා ස්ථාන ආරක්ෂිත සහ සියලු ප්‍රජාවන්ට ප්‍රවේශ විය හැකි පරිසරයන් සැකසිය යුතුය. එනිසා අපට සමාජභාවය කේන්ද්‍ර කරගත් නීති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියන් අත්‍යාව්‍ය වේ.

සිවිල් සහ ප්‍රජා අයිතීන් සීමාවට ලක් කරමින් පවතින කාලයක, අපගේ ප්‍රකාශනයේ, භාෂණයේ, සංවිධානගත වීමේ, සහ රැස්වීමේ මූලික නිදහස ආරක්ෂා කිරීමට අපි කැපවී සිටින්නෙමු. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අපි කැපවී සිටින අතර, සියලු පුරවැසියන්ගේ ඡන්ද අයිතිය, විශේෂයෙන් කම්කරුවන්ගේ පරමාධිපත්යය දැඩිව අවධාරණය කරන්නෙමු.

රජය මෙම මූලධර්මය පිළිගත යුතු මෙන්ම එය පිළිගැනීමට පුද්ගලික අංශයට අනිවාර්ය කළ යුතුය. මෙම මූලධර්ම පදනම් කරගත් කම්කරු ඉල්ලීම් මාලාව පහත පරිදි වේ.

කම්කරු නීති සම්බන්ධයෙන් අපගේ ඉල්ලීම්:

  1. කම්කරු අරගලවල ප්‍රයත්නයෙන් අත්කරගත් මූලික ශ්‍රම ප්‍රමිතීන්, පැය 8 වැඩ දිනය, අතිකාල, අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීම්වලින් ආරක්ෂා වීම, වාර්ෂික නිවාඩු හිමිකම්, වෘත්තීය සමිතිගතවීමේ අයිතිය සහ සාමූහික කේවල් කිරීම කිසිසේත්ම සීමා නොකළ යුතුය.
  2. කම්කරු අයිතීන් සුරකින දැනට පවතින නීති අහෝසි නොකළ යුතුය. දැනට යෝජිත කම්කරු නීති සංශෝධන කෙටුම්පත වහාම ඉවත් කර ගත යුතුය. පුළුල් උපදේශන ක්රියාවලියක් හරහා වෙනස් කළ යුතු කම්කරු නීති විධිවිධාන හඳුනාගත යුතුය.
  3. කම්කරු අමාත්‍යවරයාගේ බලපෑම අවම කිරීම සහ වෘත්තීය සමිති නියෝජනය පුළුල් කිරීම මගින් ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC) ප්‍රජාතන්ත්රවාදී කිරීම සඳහා එහි සංයුතිය පුළුල් කර සහ ව්‍යූහය වෙනස් කළ යුතුය.
  4. නව නීති සංශෝධන කෙටුම්පත් NLAC අනුමැතිය මත ඉදිරියට යාම අනිවාර්ය කළ යුතුය.
  5. කම්කරුවන්ගේ විශ්රාම ප්රතිලාභ සුරක්ෂිත කිරීම සඳහා රජය විසින් EPF සහ ETF ආයෝජනය කරන්නේ කෙසේද යන්න සහ ඒවායේ විනිවිදභාවය කම්කරුවන් ඉදිරියේ තහවුරු කිරීමේ ක්රමවේද කම්කරු නීතියට ඇතුළත් විය යුතුය
  6. ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන, ළමුන් සහ වැඩිහිටියන් සඳහා දිවා සුරැකුම් පහසුකම්, ආරක්ෂිත නිවාස සහ කාන්තාවන් සඳහා ආරක්ෂිත ප්රවාහන පහසුකම් ස්ථාපිත කිරීම තුළින් වැටුප් රහිත සුරැකුම් වැඩ සඳහා සහාය ලබා දෙන ක්‍රමවේදයන් සැකසිය යුතුය.
  7. සියලුම කම්කරුවන් සඳහා අසනීප නිවාඩු සහ අනියම් නිවාඩු නීතිගත කිරීම.
  8. වෘත්තීමය සෞඛ්‍ය සහ ආරක්ෂණ නීති, හිංසන විරෝධී නීති සහ වෘත්තීය සමිති මර්දනයට එරෙහි නීති ස්ථාපිත කිරීමට ප්රමුඛත්වය ලබා දිය යුතුය.
  9. ස්ථිර සේවකයන්ගේ නිවාඩු, වන්දි ලබා ගැනීම, මාතෘ සහ විශ්රාමික ප්‍රතිලාභ සහ කම්කරුවන්ගේ අනෙකුත් සුභසාධන ප්රතිලාභ සහ පහසුකම් පිළිබඳ කම්කරු නීතියේ විධිවිධාන නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය (BOI) දැඩි ලෙස අධීක්ෂණය කළ යුතුය.

මෑන්පවර් ශ්‍රමය සම්බන්ධව අපගේ ඉල්ලීම්:

  1.  කර්මාන්තශාලාවල ප්‍රධාන නිෂ්පාදන කටයුතු සඳහා මෑන්පවර් සේවකයන් යොදා ගැනීම තහනම් කළ යුතුය; ඔවුන් ප්‍රධාන වැඩවල යෙදී සිටින කම්කරුවන් නම් ඔවුන් ස්ථිර කළ යුතුය. කෙටි කාලීන, කාර්තුමය හා හදිසි අවශ්‍යතා වෙනුවට හැර දිගු කාලීනව මෑන්පවර් සේවකයින් බඳවා ගැනීම තහනම් කළ යුතුය.
  2. මෑන්පවර් නියෝජිතායතන විසින් ඔවුන් කර්මාන්තශාලාවල යොදවන සේවකයින් සඳහා EPF සහ ETF ගෙවීම අනිවාර්ය කළ යුතුයි.
  3. පඩිපාලක ආඥාපනතේ 59(අ) වගන්තිය නිසි ලෙස ක්‍රියාත්මක කර කම්කරු කොමසාරිස්වරයාට මැදිහත් වීමේ බලය ක්රියාත්මක යුතුය.
  4. මෑන්පවර් සේවකයන්ට වැඩපළ තුළ සිදුවන හදිසි අනතුරක වගකීම සමාගම භාරගත යුතු ආකාරයෙන්  නීතියක් ස්ථාපිත කළ යුතුයි.
  5. තම සුරැකුම් වගකීම් සඳහා අවශ්‍ය නම්යශීලීභාවය හේතුවෙන්, මෑන්පවර් වැඩ තෝරා ගන්නා කාන්තාවන් සඳහා ස්ථිර කාලීන රැකියාවකට කාන්තාවන් ආකර්ෂණය කර ගැනීම සඳහා කාන්තා සුරැකුම් වැඩවලට සහාය ලබා දෙන ක්රමවේදයන් ලෙස  කලාප තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ වෛද්ය මධ්යස්ථාන වැනි තවත් පහසුකම් හඳුන්වා දිය යුතුය.
  6. මෑන්පවර් සේවකයින්ට වෘත්තීය සමිතිවලට සම්බන්ධ වීමට සහ සංවිධානගත වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුය.

වැටුප් සහ සමාජ ආරක්ෂණය පිළිබඳ අපගේ ඉල්ලීම්:

  1. අවම වැටුප ජීවන වැටුපක් බවට සහතික කිරීම සඳහා වාර්ෂිකව අවම වැටුප් තක්සේරු කිරීමට නව සූත්රයක් ස්ථාපිත කළ යුතුය.
  2. අවම වැටුපට වඩා වැඩි ආදායමක් ලබන කම්කරුවන්ට වාර්ෂික වැටුප් වර්ධක හිමිවිය යුතු අතර මෙය නිරීක්ෂණය කිරීමට ක්රමවේදයක් ස්ථාපිත කළ යුතුය.
  3. පවතින ආර්ථික වාතාවරණය තුළ පෞද්ගලික අංශයේ ක්ෂේත්රීය වැටුපක් වශයෙන් රුපියල් 57,500 ක අවම වැටුපක් ස්ථාපිත කළ යුතුය.
  4. අනපේක්ෂිත අර්බුදවලදී කම්කරුවන්ට සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා විශේෂ සමාජ ආරක්ෂක අරමුදලක් ස්ථාපිත කළ යුතුය.
  5. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට EPF/ETF අරමුදල් යටත් කරන නීතිය අහෝසි කළ යුතුය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එම අරමුදල් ආරක්ෂා කිරීම සහතික කරන නීතියක් ස්ථාපිත කළ යුතුය.
  6. සුබසාධන ප්‍රතිලාභ, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ලැබීමට පහසුකම් සැලසෙන ලෙස  වෙළඳ කලාපවල සංක්‍රමණික සේවකයන්ගේ පදිංචිය ලියාපදිංචි කළ යුතුය.
  7. දින 7 පුරා පැය 24ම ක්‍රියාත්මක වන රෝහල් සෑම වෙළඳ කලාපයක් සඳහාම ස්ථාපිත කිරීම සහ සියලුම කර්මාන්තශාලාවල කම්කරුවන් සඳහා වෛද්‍ය සේවා මධ්‍යස්ථානවල (MediCare) සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්ය කළ යුතුය.
  8. සංක්‍රමණික සේවකයින් වෙනම කාණ්ඩයක් ලෙස හඳුනා ගැනීම සඳහා ජාතික නිවාස ප්රතිපත්තිය සංශෝධනය කිරීම, වෙළඳ කලාපවල සංක්රමණික සේවකයින් අත්විඳින විශේෂිත ගැටළු ප්‍රතිපත්ති මට්ටමින් හඳුනා ගැනීම, සහ ඔවුන්ගේ ගැටළු විසඳීමට පහසුකම් සැලසිය යුතුය.

භාෂා සාධාරණත්වය සම්බන්ධයෙන් අපගේ ඉල්ලීම්:

  1. කර්මාන්තශාලා කළමනාකරණ සහ මානව සම්පත් දෙපාර්තමේන්තු වෙතින් සියලුම රැකියා ගිවිසුම්, පොදු නාම පුවරු, උපදෙස් සහ දැන්වීම් සිංහල සහ දෙමළ භාෂාවෙන් දැක්විය යුතුය.
  2. භාෂා ප්‍රතිපත්තියට අනුකූල නොවීම පිළිබඳ කම්කරුවන්ගේ පැමිණිලි පිළිගැනීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය (BOI) සහ කර්මාන්තශාලා කළමණාකාරීත්වය අනිවාර්යෙන්ම මැදිහත් විය යුතුය. BOI තුළ මෙම නිශ්චිත කාර්යය සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කළ යුතුය.
  3. කම්කරුවන් අත්විඳින භාෂා ගැටලු විසඳීම සඳහා මූලික ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සැපයීම සඳහා ජාතික මානව සම්පත් සහ රැකියා ප්රතිපත්තිය (NHREP) වෙත භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ උප වගන්තියක් ඇතුළත් කළ යුතුය.
  4. පොලිසිය ඇතුළු සියලුම රාජ්ය අංශයේ නිළධාරීන් අතරින් 50% දෙමළ භාෂාව කතා කරන  නිළධාරීන් පත් කළ යුතුය.

සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ හිංසනවලින් ආරක්ෂා වීම සඳහා අපගේ ඉල්ලීම්:

  1. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැරයන් වැළැක්වීම සම්බන්ධව පවතින C190 සම්මුතිය අනුමත කළ යුතුය.
  2. පවතින කම්කරු නීති හරහා හිංසනය වක්‍රව ආමන්ත්‍රණය කිරීම වෙනුවට, ලිංගික හිංසන පිළිබඳ විශේෂ නීති ශ්‍රී ලංකාවේ කම්කරු නීතියට ඇතුළත් කළ යුතුය.
  3. සමලිංගිකත්වය සාපරාධී ක්‍රියාවක් බවට ඇති නීතිය ඉවත් කළ යුතුයි.
  4. අධිකරණ අමාත්‍යංශය සිවිල් සමාජයේ සහයෝගය ඇතිව කම්කරුවන්ගේ වාසස්ථාන ප්‍රදේශවල පොලිස් නිලධාරීන් සඳහා ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දිය යුතුය.
  5. වෙළඳ කලාපවල පොලිස් ස්ථානයක සිටින පොලිස් නිළධාරීන්ගෙන් අවම වශයෙන් 50% ක් කාන්තාවන් විය යුතු අතර, සියලුම නිළයන් සඳහා කාන්තා නිළධාරීන් සිටිය යුතුය.
  6. හිංසනවලට ගොදුරු වූවන්ට, දිවි ගලවා ගත් අයට පහසුවෙන් ප්‍රවේශ යොමු විය හැකි හොඳින් පුහුණු වූ වෘත්තීය උපදේශකවරුන් සමඟ සමාජ සේවකයන් වෙළඳ කලාපවල ස්ථාපිත කළ යුතුය.
  7. පොලිස් ස්ථාන, රෝහල්, කර්මාන්තශාලා කළමනාකරණය, වෘත්තීය සමිති සහ සුභසාධක සංවිධානවලට වින්දිතයන්, දිවි ගලවා ගත් අය උපදේශන සේවා සඳහා යොමු කිරීමට හැකියාව ඇති බව සහතික කර ගැනීම සහ එවැනි පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය සහ සංවේදීතාව ආරක්ෂා කළ යුතුය.
  8. සේවකයින්ට ලිංගික අතවර සහ ලිංගික අල්ලස් සම්බන්ධයෙන් සෘජුවම පැමිණිලි කළ හැකි විශේෂ ඒකකයක් සෑම කලාපයකම/කර්මාන්තශාලාවකම පිහිටු විය යුතුය.
  9. ගුරු පුහුණුව ඇතුළුව සියලුම අධ්‍යාපන විෂයමාලාවලට අනිවාර්ය අංගයක් ලෙස වයසට ගැළපෙන සවිස්තරාත්මක ලිංගික, ලිංගිකත්වය සහ ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළත් කිරීමට කැපවිය යුතුය.

ජනතා පරමාධිපත්ය මත පුරවැසියන් වශයෙන් කරන ඉල්ලීම්:

  1. වෙළඳ කලාප සහ කම්හල් සේවකයන් සඳහා පූර්ව ඡන්ද අයිතිය ලබා දීමට අවශ්ය විධිවිධාන ස්ථාපිත කළ යුතුය. වෙළඳ කලාප ආශ්‍රීතව තාවකාලික පදිංචිකරුවන් වන කම්කරුවන්ගේ මැතිවරණ අයිතිය සුරක්ෂිත කිරීම.
  2. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට අවශ්‍ය සංවරණ සහ තුලන ක්‍රමය සහතික කරමින් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට අනුබද්ධිත විධායකයක් සහිත ව්‍යවස්ථාමය ව්‍යූහයක් හඳුන්වා දීමට කැපවිය  යුතුය.
  3. අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීමට කැපවිය යුතුය.

කම්කරු සටනට ජය වේවා!