මිලියන අටක පුද්ගලික අංශයේ සේවකයින්ගෙන් ජනාධිපති අපේක්ෂකයින්ට ලිපියක්

මිලියන අටක පුද්ගලික අංශයේ සේවකයින්ගෙන් ජනාධිපති අපේක්ෂකයින්ට ලිපියක්

පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් ලක්ෂ 25 ට වැඩි අතර අප එම සේවකයින් නියෝජනය කරන සංගම් වේ. රාජ්‍ය නොවන අවිධිමත් ආර්ථිකයේ සංවිධානාත්මක ශක්තියක් නැති වැටුප්ලාභීන්ද එකතු වුනු විට එම සංඛ්‍යාව ලක්ෂ 80 ක විතර පිරිසක්. මේ සියල්ලන්ම, ලක්ෂ 80 ම, මෙවර ජනාධිපතිවරණයේ ඡන්දදායකයින් බව අමතක නොකළ යුතු වැදගත්ම කාරණාවයි.

ඡන්දය ඉල්ලන ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයින්ට අප සංගම් එකතුව නාම යෝජනා භාර දෙන්න කලින් ඉල්ලීමක් කෙරුවා, රට දියුණු කරන ඒ අයගේ “ජාතික සංවර්ධන වැඩපිළිවෙල” අප සංගම්වලට සාකච්ඡා කරන්න කල් ඇතිව ප්‍රසිද්ධ කරන්න කියලා. ඒ වැඩපිළිවෙල සඳහා සියලු වැටුප්ලාභීන් වෙනුවෙන් අප සංගම් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කෙරුවා. කල්තියා සංවර්ධන වැඩපිළිවෙලක් ප්‍රසිද්ධ නොකෙරුවා වගේම, ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශවල මේ රටේ ආර්ථිකයට දායක වන පෞද්ගලික, අර්ධ රාජ්‍ය වැවිලි ක්ෂේත්‍රයේ සහ අවිධිමත් ක්ෂේත්‍රයේ වැටුප්ලාභීන් කියා කොටසක් ඉන්නවා කියලාවත් සඳහනක් නැහැ.

ඒ මැතිවරණ පොරොන්දු ප්‍රකාශන අපි කියෙව්වා. ඒවායේ මේ රට “සංවර්ධනය” කිරීමේ කිසිම වැදගත් යෝජනාවක් නැහැ. හැම අපේක්ෂකයෙක්ම කියන්නේ, ෂඵත්‍ ගිවිසුම පිළිගෙන, අවුරුදු 45 ක් තිස්සේ නඩත්තු කෙරෙන විවෘත වෙළඳපල ආර්ථිකය ඉදිරියට ගෙන යන කතාවයි. ඒක ජනප්‍රිය කරන්න රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කරන යෝජනා එකතු කරලා තියෙනවා. වැටුප් විෂමතා විසඳන්න පොරොන්දු වෙනවා. නමුත් යන එන ගමන් නීති ප්‍රතිසංස්කරණ ගැන කිව්වට, අපට බරපතල විධියට බලපාන ව්‍යාපාරිකයින් වෙනුවෙන් යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව ගේන්න සූදානම් වුණ “තනි කම්කරු නීතියට” මොනවද කරන්නේ කියලා කියන්නේ නැහැ. ළමුන්ගේ අධ්‍යාපනය, රෝහල් සහ ප්‍රජා සෞඛ්‍ය, මගී ප්‍රවාහනය, ග්‍රාමීය ආර්ථිකය වගේ කිසිවක් දියුණු කිරීමේ සැළසුම් ඒ මැතිවරණ ප්‍රකාශනවල නැහැ. විදේශ ණය ගෙවන්න අවශ්‍ය අමතර ඩොලර් උපයන්නේ කොහොමද කියන්නෙත් නැහැ.

එහෙනම් මොනවටද අපි ඡන්දෙ දිය යුත්තේ? 

ඒක තීන්දු කරන්න තවත් පොඩි කාලයක් තියෙනවා. ඒ නිසා ප්‍රධාන දේශපාලන ධාරාවේ අපේක්ෂකයින්ට දැන්, මේ වෙලාවේ, පෞද්ගලික, අර්ධ රාජ්‍ය අංශ සහ අවිධිමත් ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ලක්ෂ 80 වෙනුවෙන් තමන්ගේ යෝජනා වහා ඉදිරිපත් කරන්න කියලා බලකර සිටිය යුතුයි. අවම තරමින් අප සංගම් මීට කලින්ද යෝජනා කළ,

01.       මේ රටේ ආර්ථික ප්‍රතිපත්තියෙහි වැටුප්ලාභීන් සම්බන්ධ “ජාතික ශ්‍රම ප්‍රතිපත්තිය”

02.       රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන ලෙස ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය

03.       මාසික, අවම ජාතික වැටුප රුපියල් 50,000 ක් කිරීම සඳහා ජාතික අවම වැටුප් පනත වහා සංශෝධනය කිරීම

04.       අවම ජාතික වැටුපට වඩා අඩු දෛනික ආදායම්ලාභීන් සඳහා සමෘද්ධි/අස්වැසුම වෙනුවට ස්ථිරසාර ජාතික සුභසාධන වැඩපිළිවෙල

05.       සේවක අර්ථසාධක අරමුදලේ (ෑඡත්‍) සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම සඳහා අප වෘත්තීය සමිති මහ බැංකු අධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවට සහතිකවීම

06.       ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අනු ව්‍යවස්ථා අංක 14.1 (ඈ) යටතේ වන වෘත්තීය සමිති සම්බන්ධ මූලික අයිතීන් සමග, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුති අංක 87 හා 98 පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට පූර්ණ ලෙස සහතික කිරීමට ගන්නා පියවර

මැතිවරණ ප්‍රචාරණයන් හී ඇතුලු කර ඒ සම්බන්ධ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න බල කරමු. ඔබගේ ප්‍රදේශයේ ජනාධිපති අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට ඒ සඳහා බල කරමු. ප්‍රසිද්ධ ඒකාබද්ධ ඉල්ලීම් කරමු. අපේ ඡන්දයට වටිනාකමක් ලබා ගැනීමට අපි එකතු වෙමු.

■          ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFTU)

■          නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (FTZUNION)

■          එක්සත් වතු කම්කරු සමිතිය (UPWU)

■          නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාර්ස් ශ්‍රී ලංකා (NUSS)

■          ලංකා වතු සේවා සංගමය (CESU)

■          ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්තානය (JPTUC)

■          ලංකා ජාතික වතු කම්කරු සංගමය (LJEWU)

■          ලංකා කම්කරු සමමේලනය (CFL)

■          ජාතික කම්කරු සමිතිය (NUW)