පාසල් සංවර්ධන නිලධාරීන්ට ගුරු පත්වීම් අකැපද?

school-development-officers

තමන් ගුරු සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා විරෝධතාවක් පැවැත්විය. මෙම විරෝධතාව විසුරුවා හැරීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබූ අතර එහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර විරෝධතාකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වසර පහක් පුරා පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටින මෙම පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරු සේවයට බදවා ගන්නා ලෙස බලකරමින් ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුවේ සාමාජිකයන් 500කගේ පමණ සහභාගිත්වයෙන් මෙම විරෝධතාව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වුණි. මෙහිදී විරෝධතාකරුවන්ට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත වීමට අවස්ථාවක් ලැබුණද එම සාකච්ඡා අසාර්ථක වීම හේතුකොට ගෙන විරෝධතාකරුවෝ ඉසුරුපාය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ. මේ හේතුවෙන් මාර්ග අංක 174 කොට්ටාව-බොරැල්ල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණි-

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සහ කිරීමේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුව තිබේ- ඒ අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිට ඇත. මේ වන විට එම නිලධාරීන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි පොලිස් මාධ්‍ය අංශයෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ. එසේම අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි නියෝග කර ඇත.

මෙම ගැටලුවට අදාළව සංවර්ධන නිලධාරියෙකු වූ චතුර දේවපුර මහතා ඇතුළු පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ගොනුකර තිබූ පෙත්සමේ මෝසම් පත්‍රයක් පසුගිය 03වැනිදා ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මණ්ඩලය හමුවේ කැඳවා ඇත- මෙහිදී පෙත්සම්කාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ විනිසුරු මණ්ඩලයට පෙන්වා දී ඇත්තේ එම පෙත්සම පසුගිය ජූලි මස 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින්, ගුරු සේවයට මේ වන විටත් ඇතුළත් කර ඇති සංවර්ධන නිලධාරීන් 25,000ට අධික පිරිස විශේෂ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර සුදුසුකම් සපුරාලන පිරිස ගුරු සේවයට අනුයුක්ත කර ගැනීමට එකග වූ බවයි. මෙම කොන්දේසි මත පෙත්සම අවසන් කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය එකඟ වී තිබූ නමුත් එම අදාළ කොන්දේසිවලට පරිබාහිරව යමින් දැනටත් ගුරු සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්හට තරග විභාගයක් පවත්වා එම ප්‍රතිඵල මත ගුරු සේවයට එක් කර ගැනීම වැරදි සහගත බව නුවන් බෝපගේ මහතා වැඩිදුරටත් විනිසුරු මඬුල්ලට පෙන්වා දී ඇත. මින් පෙර දෙපාර්ශ්වය අතර ඇති කර ගෙන තිබූ සමථකරණය අනුව ඉදිරි පියවර ගන්නේද නැතිද යන කරුණු විමසා බැලීමට පෙත්සම නැවත පෙබරවාරි 27 වැනිදා කැඳවීමට තීරණය කර ඇත-

මේ අතර, මෙම පැන නැගී ඇති ගැටලුව විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම කමිටුවට රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ-එච්-එන්-එච්- අබේරත්න, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය  අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරුන් පත් කර ඇත-. එසේම එම කමිටුවට සහය වීමට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරී මණ්ඩලයක් ද පත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වී ඇත-

මේ සම්බන්ධයෙන් අනිද්දා පුවත්පතට අදහස් දක්වමින්  ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ, ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකතුව පසුගිය දා සිදු කළ මෙම උද්ඝෝෂණය පසුගිය ආණ්ඩු ගණනාවක් තිස්සේ එක තැන පල් වෙවී තිබුණු ගැටලුවකට නිසි පිළිතුරක් ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූවක් බවයි. එසේම මෙම විරෝධතාකරුවන්ට පහර දීම හා බන්ධනාගාරගත කිරීම සම්බන්ධව ඔවුන් දැඩිව විරුද්ධ වන බවත් එම හේතු නිසා ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානය ලෙස ඔවුන්ද මෙම ගැටලුවට මැදිහත් වීමට තීරණය කළ බවත් හෙතෙම පැවසීය. එසේම මේ සම්බන්ධයෙන් පැවති නීති කටයුතුවලට පෙර පැවති රජයේ සිටි අමාත්‍යවරුන්ගේ අතපෙවීම් තිබූ බවට ඔවුන් විශ්වාස කරන බවත් එම අතපෙවීම් මත මෙම ගැටලුව යම් ආකාරයට සමථයකට පත් වූවක් මෙන් පෙනුණද දෙපාර්ශ්වයේ එම සමථකරණයට අදාළ කොන්දේසිවලට පරිබාහිරව යමින්  දැනටත් වසර ගණනක් ඉගැන්වීම් ක්‍රියාවලියේ සිටින මෙම පාසල් සංවර්ධන නිලධාරීන් නැවත තරග විභාගයකට මුහුණ දී ඒ හරහා ගුරු සේවයට එක් කරවීමේ ක්‍රියාපටිපාටියට එම පාසල් සංවර්ධන නිලධාරීන් එකඟ නොවන බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධාන ලේකම් කීවේය.

ගුරු ව්‍යවස්ථාවට අනුව සේවයේ ස්ථාපිත කරන ලද ගුරුවරුන් මේ වන විට 240,000ට වැඩි පිරිසක් සිටින බවද, දැනටත් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන පාසල් සංවර්ධන නිලධාරීන් 15,800ක පමණ ප්‍රමාණයට අමතරව ගුරු සේවයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින රැකියා විරහිත උපාධිධාරීන් කොටසක්ද, දැනට රාජ්‍ය සේවයේ යෙදෙන නමුත් ගුරු සේවයට පැමිණීමට කැමැත්තෙන් සිටින විශාල පිරිසක්ද සිටින බවත් රජය මේ සෑම කොට්ඨාසයක් දෙසම සාධාරණව බලා මෙම ගැටලුවට විසඳුමක් ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළේය. මේ වන විටත් රට තුළ ගුරු පුරප්පාඩු 35,000ට වඩා තිබෙන බවත් එම අදාළ පුරප්පාඩුවලට ගැළපෙන පරිදි ගුරුවරුන් පත් කිරීමට රජය හා මෙම වෘත්තීය සමිති එක මේසයකට විත් සාකච්ඡා කළ යුතු යැයි තමා විශ්වාස කරන බවද පැවසීය.

මීට අමතරව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුවේද වෘත්තීය සමිති නියෝජනයක් නොමැති බවත්, මෙම කමිටුවට වෘත්තීය සමිති නියෝජනයක් සිදු කරන මෙන් ඉල්ලා අග්‍රාමාත්‍යවරියට ලබන සඳුදා දින ලිපියක් භාර දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ මහතා පැවසීය.

ගුරුවරුන්ගේ, රැකියා විරහිත උපාධිධාරීන්ගේ, පාසල් සංවර්ධන නිලධාරීන්ගේ, රාජ්‍ය සේවයේ සිටින අනෙකුත් උපාධිධාරීන් යන සෑම පාර්ශ්වයකම ගැටලු නිරාකරණය කර ගැනීමට නම් එම අදාළ කමිටුවල වෘත්තීය සමිති නියෝජනයක් පැවතිය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය. -කෙසේ වෙතත් පෙර පැවති ආණ්ඩු මෙන් කල් මරන්න කමිටු පත් කිරීම වෙනුවට සැබෑ ගැටලුව හඳුනාගෙන එයට පිළිතුරු සෙවීමට මෙම රජය විසින් මෙම කමිටුව පත් කර ඇති බව තමන් විශ්වාස කරන බවත් පැවසීය.

මේ වන විට අදාළ උද්ඝෝෂණය අවස්ථාවේ අත්අඩංගුවට ගත් පාසල් සංවර්ධන නිලධාරීන් සිව්දෙනා මුදා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට තම සංගමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

උද්ඝෝෂණයේදී පොලීසියට කැපුම් තුවාල සිදු කළා යැයි සැකපිට විරෝධතාකරුවන් විසින්ම පොලීසියට භාරදුන් සැක කටයුතු පුද්ගලයා පිළිබඳ මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැති බවත් ඒ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් අප මේ කාරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශයෙන් සිදු කරන ලද විමසීමකදී ඔවුන් සඳහන් කළේ එම භාරදුන් පුද්ගලයා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බවත් ඔහු එවැනි පහර දීමකට සම්බන්ධ නොමැති බවත් ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අප හා පවසා සිටියේ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භයේ සිටම සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ බවය. එසේම ගුරු සංගමය ලෙස ඔවුන් දරන ස්ථාවරය නම් මෙය සංවේදී ගැටලුවක් සේ සලකා සේවා ව්‍යවස්ථාවද උල්ලංඝනය නොවන පරිදි මෙයට විසඳුමක් ලබා දීම සිදු කළ යුතු බවත්ය. එසේම පාසල් සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයට පහරදීම හා සංවර්ධන නිලධාරීන් අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකින බවත් ආණ්ඩුව සිදු කළ යුත්තේ සාකච්ඡාමය විසඳුම්වලට එළඹීම බවත් ඒ මහතා අප සමග කියා සිටියේය.

පසුගිය 03 වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, 1994 සිට 2020 දක්වා විවිධ ආණ්ඩුවලින් අවස්ථා 7කදී විවිධ යෝජනා ක්‍රම හරහා සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති බවයි. මේ වන විට එලෙස බඳවා ගත් උපාධිධාරීන් 150,000ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය සේවය තුළ සිටින බවයි. මෙම  බඳවාගැනීම්වලදී එම උපාධිධාරීන්ගේ උපාධිය, නිපුණතාවයන්, වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගයීමක් සිදු කර නොමැති බවත් ඔවුන්ට නිසි පරිදි සේවාරම්භක හා සේවාස්ථ පුහුණුද ලබා දී නොමැති බව ඒ මහතා කියා සිටියේය. එසේම ඔවුන්ට නිසි පරිදි තනතුරු හා අදාළ රාජකාරීවල වගකීම් පැවරීම සිදු කර නොමැති බැවින් මෙලෙස උපාධිධාරීන් බොහෝ පිරිසක් තමාගේ උපාධියට නොගැළපෙන තැන්වල රාජ්‍ය සේවයේ නිරත වෙමින් සිටින බව ඇමතිවරයා පැවසීය.

තම ආණ්ඩුව මෙම ගැටලුව හඳුනා ගෙන ඇති බවත් මේ ආකාරයට අවිධිමත් ලෙස බඳවාගෙන රාජ්‍ය සේවයේ විවිධ ස්ථානවල සිටින උපාධිධාරීන් පිළිබඳ විශ්ලේෂණය කර ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබා දීම සිය රජයේ අරමුණ බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

(රන්දිමාල් වික්‍රමරත්න - අනිද්දා සති අග)