“වෙළඳ ගාස්තු” යුද්දෙන් ගොඩ එන්නට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පුළුල් හවුලක් හදන්න යයි

usa-tax

අප්‍රේල් 02 වන දා “විමුක්ති දින” යැයි නම් කරමින් ජනාධිපති ට්‍රම්ප් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළ වෙළඳ ගාස්තු ඉහළ දැමීම සඳහා විශේෂ විධායක නියෝගයකට අත්සන් තැබුවේ ලොව සියලු රටවලට බලපාන්නාවූ අප්‍රේල් 05 වන දින සිට ක්‍රියාත්මකවන සියයට 10 ක වෙළඳ ගාස්තු වැඩි කිරීමක් සහ ආනයන අපනයන වෙළඳාමේදී ඇමෙරිකාවට අසාධාරණයක් කරන්නේ යැයි චෝදනා කෙරෙන රටවල් 60 කට පමණ අප්‍රේල් 09 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන “ප්‍රතිචාරක” වෙළඳ ගාස්තු (Reciprocal Tariff) වැඩිවීම්ද ප්‍රකාශයට පත් කරමින් ය. ඒ අනුව පොදුවේ වැඩි කළ සියයට 10 ට අමතරව අපව සියයට 44 ක ගාස්තු වැඩි කිරීමකට යටත් කර ඇත. අප ඒ අනුව සියයට 54 ක ඇත්ත වැඩි වීමකට හසු වන්නේය.

කිසිවකු බලාපොරොත්තු නොවූ එවැනි විශාල ගාස්තු ඉහළ දැමීමක් සමග ගෝලීය වෙළඳපල දැනටමත් බරපතල අවුලකට පත්ව ඇත. ගෝලීය වෙළඳාම මෙතෙක් හැසිර වූ ලෝක වෙළඳ සංවිධානය (WTO) අකර්මණ්‍ය විය. ඇතැම් බලවත් රටවල් ජනාධිපති ට්‍රම්ප්ට ප්‍රතිචාර වශයෙන් තම වෙළඳ ගාස්තු වැඩිකර ඇත. තවත් රටවල් අලුත් කලාපීය වෙළඳපල ගිවිසුම් යෝජනා කරති. කුඩා ආර්ථික සතු රටවල් පමණක් නොව, ඉන්දියාව පවා ඇමෙරිකාවට අදාලවන අයුරු ඔවුන්ගේ වෙළඳ ගාස්තු අඩු කිරීමට යෝජනා කරති.

ඇමෙරිකාවට බොරු කිරීම

ජනාධිපති ට්‍රම්ප් කියන්නාවූ ඔවුන් විඳගත් ගෝලීය වෙළඳාමේ අසාධාරණය හේතුවෙන් ඔවුන්ගේ කර්මාන්ත වෙනත් රටවලට ගියේය. ඇමෙරිකානුවන්ට රැකියා අහිමි විය. ආදායම් බිඳ වැටින. එබැවින් ඇමෙරිකාවේ දේශීය ණය වාර්ෂිකව ඉහළ ගියේ යැයිද කියති. 2024 වන විට ඇමෙරිකානු දේශීය ණය ඩොලර ට්‍රි‍රලියන් 35.64 ක්ව තිබිණ. ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදනය වූයේ ඩොලර ටි්‍රලියන 28.83 කි.

ට්‍රම්ප් කතා කරන ආනයන අපනයන වෙළඳ අසාධාරණය අපට අදාල කෙරෙන අයුරු කෙටියෙන් විස්තර කරන්නේ නම්, පසුගිය අවුරුද්දේ අපි ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීමෙන් ඩොලර බිලියන 3.02 ක් උපයා ගත්තෙමු. එළෙස අපනයනය කිරීමට අපට හැකි වූයේ ඇමෙරිකාව අපට ලබා දුන් වෙළඳ ගාස්තු සහ බදු සහන හේතුවෙනි. නමුත් අප ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලැබුවේ ඩොලර මිලියන 368 ක භාණ්ඩ පමණි. ඒ අනුව වෙළඳ පරතරය ඩොලර මිලියන 2,632 ක් විය. ඇමෙරිකාව අපගේ භාණ්ඩ ඔවුන්ගේ රටට ගෙන්වා ගැනීමේදී අය නොකරන සාමාන්‍ය බදු, දේශසීමා අය කිරීම්, වැට් බදු, ගාස්තු නොමැති සීමා කිරීම්, රේගු බදු නොවන ගාස්තු, ප්‍රමාද ගාස්තු වැනි විවිධ ගාස්තු සහ බදු ඇමෙරිකානු භාණ්ඩ අපේ රටට ගෙන්වා ගැනීමේදී අපි අයකර ගනිමු. ඒ අනුව ඇමෙරිකානු භාණ්ඩ ආනයනකරුවන් අධෛර්යමත් කිරීමක් කෙරෙන්නේ ය. ට්‍රම්ප් කතා කරන, ඔවුන්ට කෙරෙන අසාධාරණය එයයි.

එවැනි පියවර ගනු ලබන්නේ අප පමණක්ම නොවේ, එවැනි අය කිරීම් කරන තව බොහෝ රටවල් ඇත. ට්‍රම්ප් පොදුවේ වැඩි කළ සියයට 10 ට අමතරව අප්‍රේල් 09 වන දින සිට බලාත්මක කෙරෙන “ප්‍රතිචාරක” වෙළඳ ගාස්තු බලපාන්නේ ට්‍රම්ප්ගේ ඒ දෙවන ලැයිස්තුවට ය. අප ඉන්නේ එහි 06 වන ස්ථානයෙහි ය.

අප වැටෙන්නේ කොතැනටද?

අපේ සමාජයේ දැනුවත් උගත් යැයි සැළකෙන සියල්ලන් දේශපාලන වර්ණ භේදයකින් තොරව ට්‍රම්ප්ගේ තීන්දුවෙන් පසු අඳින චිත්‍රය අඳුරු ය. කියන කතා සියල්ල බලාපොරොත්තුවක් ඉතිරි කරන්නේ නැති තරම ය. ඔවුන්ගේ අනාගත තක්සේරු, අනුමාන, බලපෑම් රටක් සමාජයක් හැටියට අපට අවාසිදායක ය. ඔවුන් සියල්ලන්ගේ කතා සම්පිණ්ඩනය කළ විට පොදු කතාව මෙවැනි ය.

■          අපනයන නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා අපගේ ඇමෙරිකානු වෙළඳපල ඇහිරෙනු ඇත

■          අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා නිෂ්පාදන වියදමද ඉහළ යෑමෙන් යුරෝපා වෙළඳපලද අපට සීමා වනු ඇත

■          අපට මෙතෙක් ලැබුණු ඇණවුම් ද සාපේක්ෂව අඩු වියදම් සොයා වෙනත් රටවලට මාරු විය හැක (වෙළඳ ගාස්තු සියයට 10 ක් පමණක් වැඩි කළ රටවල් 40 ට වැඩි සංඛ්‍යාවක් ඇත)

■          නිෂ්පාදන වියදම් පාලනය කර ගැනීමට ආයෝජකයින් රැකියා කප්පාදු කරනු ඇත

■          ඇතැම් ආයෝජකයින් ඔවුන්ගේ කර්මාන්ත වෙනත් රටවලට රැගෙන යාමට ඉඩ ඇත

■          පෞද්ගලික අංශයේ රැකියා සීමා වීමෙන් විරැකියාව ඉහළ යාම, සමාජයට වැඩි බරක් වනු ඇත

■          අපනයන වියදම ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාම (උද්ධමනය) සමග සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම ඉහළ යනු ඇත

මේ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැක. ඒවා කොයි ප්‍රමාණයකින් සිදු වන්නේද යන්න තවත් කතාවකි. දැනට ආණ්ඩුවේ සූදානම වන්නේත්, විපක්ෂය සහාය දීමට ඉදිරිපත් වන්නේත්, ආර්ථික විශේෂඥයින් අනුමත කරන්නේත් ට්‍රම්ප් ඉහළ දැමූ වෙළඳ ගාස්තු සංශෝධනය කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු බලධාරීන් සමග වහා සාකච්ඡා කිරීම ය. නමුත් වැදගත් වන්නේ

01.       වෙළඳ ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව මේ මොහොතේ අප ඉදිරිපත් කරන යෝජනා සතු ප්‍රායෝගික ශක්‍යතාවය

සහ

02.       ජාතික සංවර්ධනය සඳහා අප සතු දීර්ඝ කාලීන සමාජ-ආර්ථික විසඳුම් කවරේද යන්න වන්නේ ය.

සාකච්ඡාවල පදනම එසේ නම්?

වොෂිංටන් බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කිරීම ආණ්ඩුවට කිසිසේත් ප්‍රමාද කළ නොහැකි බැව් අපි දනිමු. ජනාධිපති අනුර කුමාර ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කළේය. එම කමිටුව ඔවුන්ගේ විසඳුම් යෝජනා සහ ඉදිරි ක්‍රියා මාර්ග අප්‍රේල් 05 වන දින ජනාධිපති සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බැව් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. එනමුත් එම විසඳුම් යෝජනා පිළිබඳ විස්තර කිසිත් ප්‍රසිද්ධ කර නැත.

ජනාධිපතිගේ එම කමිටුව අපට මුහුණ දීමට සිදුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධ විසඳුම් සාකච්ඡා කිරීමට අවශ්‍ය වන “සර්ව පාක්ෂික” කමිටුවක් නොවේ යැයි අපි කියමු. එය පැහැදිළිවම ව්‍යාපාරික අවශ්‍යතා නියෝජනය කරන හාම්පුතුන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ කමිටුවකි. එබැවින් එය වැටුප්ලාභී සේවක පිරිස් හා අවිධිමත් ආර්ථිකයෙහි දෛනික ආදායම්ලාභීන් ලක්ෂ ගණනකගේ “හෙට දිනය” ගැන අවධානය යොමු කරන කමිටුවක් නොවේ යැයි අපි අවධාරණය කරමු.

ඒ සන්දර්භයෙහි වහා විසඳාගත යුතු අර්බුද වන ඇමෙරිකානු වෙළඳපලට අපගේ නිෂ්පාදන අපනයනය කිරීමේ අවාසි අවම කර ගැනීමත්, සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාවත්, ඇමෙරිකානු නිෂ්පාදන අපේ රටට ආනයන කිරීම සඳහා ඇති ගැටළු නිරාකරණය කර ගැනීමත් වෙනුවෙන් අපි පහතින් සඳහන් යෝජනා ඉදිරිපත් කරන්නෙමු.

01.       වොෂිංටන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ පදනම වන්නේ, ඔවුන්ගේ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී සිදු කෙරෙන අය කිරීම්, අපගේ නිෂ්පාදන ඇමෙරිකානු වෙළඳපලට අපනයනය කිරීමේදී අපට ලබාදී ඇති සහන හා සැසඳිය හැකි ආකාරයකට සංශෝධනය කිරීමට පියවර ගැනීමෙනි. එය ආදායම් හා වියදම් සම්බන්ධ තීන්දුවක් නොව, ප්‍රතිපත්තිමය තීන්දුවකි.

ඒ අනුව අප යෝජනා කරන්නේ, ඉකුත් වසර 05 ක කාලය ගත් විට, 2023 දී ඇමෙරිකාවෙන් අප වැඩියෙන්ම ආනයනය කර ඇති සෝයා ආහාර (ඩොලර මි. 98.1) සහ ඖෂධ (ඩොලර මි.84.3), සියලු තීරු බදු හා ගාස්තුවලින් නිදහස් කිරීමත්, සෙසු ආනයන සඳහා සියයට 25 ට නොවැඩි තීරු බදු හා ගාස්තු අය කිරීමත් ය.

02.       එවැනි ආනයන ගාස්තු සංශෝධනයක් සමග ඇමෙරිකානු නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයන කිරීම ඉහළ යාමට හේතු විය හැකි බැව් සැළකීමට ගැනීමෙන් ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 44 ක “ප්‍රතිචාරක” වෙළඳ ගාස්තු (Reciprocal Tariff) වැඩි කිරීම ඉවත් කරන මෙන් ඉල්ලා සිටීම ය.     

අපේ ආර්ථිකයේ ආවේනික අවුල

එතෙකින් අපගේ අපනයන හසු වන ගෝලීය වෙළඳපල අර්බුදය අවසන් වන්නේ නැත. අනෙක් රටවල වර්ධනය විය හැකි වෙළඳපල මිල වෙනස්කම් සමග අපට හරඹ කරන්නට සිදුව ඇත්තේ අවුරුදු 45 ක් පැරණි, ජයවර්ධන ජනාධිපති හඳුන්වා දුන් උපතින්ම දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ය. එය ගෝලීය වෙළඳාම හා ගැට ගැසූ මහනගර කේන්ද්‍රීය වෙළඳපලක් මිස සංවර්ධන ආකෘතියක් නොවේ යැයි අප මීට ඉහතින්ද කියා ඇත. එබැවින් ජනගහනයෙන් සියයට 70ක් පමණ වන ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය ජනතාව මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙන් අත හැරුණු ජනතාවකි.

අවුරුදු 45 ට පෙර ජයවර්ධන ජනාධිපති හඳුන්වා දුන්, එතැන් සිට හැම ආණ්ඩුවක්ම භාර ගත් මේ ආර්ථිකයෙහි පදනම වන්නේ දිරි ගැන්වීම් ලෙස විවිධ ආර්ථික සහන හා වරප්‍රසාද වරදාන ලබා දී ගෙන්වා ගනු ලබන විදේශ ආයෝජකයින් විසින් දේශීය හවුල්කරුවකු සමග නිෂ්පාදනය කර අපනයනය කරන භාණ්ඩ අලෙවියෙන් විදේශ විනිමය උපයා ගැනීම ය.

මේ දූෂිත වෙළඳපල ආර්ථිකයට අපට වාර්ෂිකව අවශ්‍ය වූ විදේශ විනිමය උපයාදීමට නොහැකි විය. හැම වසරකම වර්ධනය වූ වෙළඳ ශේෂ හිඟය පියවා ගැනීමට ඩොලර් ණයට ගැනීමට අපට සිදු විය. පසුගිය දශකයක හමාරක කාලයේ යටිතල පහසුකම් දියුණු කිරීමටද ණයට ගැනීමට සිදු විය. ඒ සමග අවශ්‍ය, අනවශ්‍ය යෝධ ඉදිකිරීමේ ව්‍යාපෘති ද එකතුවීමෙන් දේශීය හා විදේශීය ණය ගොඩ ගැසුණි. දේශපාලන පක්ෂ හා රාජ්‍ය නිලධරයද දූෂිත ආර්ථිකයෙහි පංගුකාරයින් විය. එබැවින් ආණ්ඩු පාලනද අන්ත දූෂිත පාලන විය.

එහි ප්‍රතිපලය වූයේ සමාජයද සදාචාරයක් විනයක් නොමැති, නීතියක් නොමැති දූෂණ අපරාධ පිරි සමාජයක් බවට පත් වීමය. ආර්ථික අර්බුද වලට අමතරව අවුරුදු 45 ක විවෘත වෙළඳපල ආර්ථිකය අවසන් වශයෙන් ඉතිරිකර ඇත්තේ සේවක අයිතිවාසිකම් බලහත්කාරයෙන් යටපත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ විරහිත නාමමාත්‍රිකයක් බවට පත් කිරීම, ළමා ලිංගික හිංසන හා අපචාර, ස්ත්‍රී හා බාල වයස්කාර දැරිවියන් දූෂණය, මංකොල්ලකෑම්, කොන්ත්‍රාත් මිනී මැරීම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය වෙළඳාම්, පාතාල අපරාධ වැනි ශිෂ්ඨ සමාජයක අහළකවත් නොතිබිය යුතු සියල්ල දෛනිකව වර්ධනය වන පැවැත්මකි.

මේ විවෘත වෙළඳපල ආර්ථිකය හැම අතින්ම අසාර්ථක ය. විනාශකාරී ය. ඒ ගැන විවාදයක් තිබිය නොහැක. ව්‍යාපාරිකයින්, නාගරික මැදපංතිකයින් හා දේශපාලන නායකයින් එනමුත් තවමත් කතා කරන්නේ අවුරුදු 45 ක් අසාර්ථක වූ මේ අන්ත දූෂිත වෙළඳපල ආර්ථිකය ඉදිරියටත් ගැට ගසා තබා ගැනීමට ය.  

අළුත් මගක් අවශ්‍ය නොවන්නේද?

ට්‍රම්ප් පැනවූ “ප්‍රතිචාරක” වෙළඳ ගාස්තු (Reciprocal Tariff) වැඩි කිරීම පිළිබඳව වොෂිංටන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් තවත් වටයකින් අලුත් වූ අපගේ ආර්ථික අර්බුදය අවසන් වන්නේ නැත. සෘජු විදේශ ආයෝජන සඳහා තව තවත් ආර්ථික සහන හා නෛතික අවකාශ හැදීමෙන් අවුරුදු 45 ක් අසාර්ථකවූ, සමාජ ආර්ථික අර්බුද නොකඩවා ගොඩ ගැසූ, තව දුරටත් ණයට දුවන්නට සිදුවන ආර්ථිකයකට පැලැස්තර දමන්නේ කෙසේදැයි වන සාකච්ඡා වෙනුවට අප වෙනත් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ආර්ථික ගමනක් ගැන සාකච්ඡා ආරම්භ කළ යුතු යැයි අපි මෙයින් යෝජනා කරමු.

ආසන්න පියවර

අපනයන ගැටළු හා සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් වහා ගත යුතු පියවර තීන්දු කිරීම වෙනුවෙන්

■          සර්ව පාක්ෂික ජාතික කමිටුවක් පාර්ලිමේන්තුව මගින් පත් කිරීම

පාර්ලිමේන්තුව මගින් එම කමිටුවට පැවරිය යුතු මූලික වගකීම් විය යුත්තේ

සග     ඉදිරි දෙවසර ඇතුළත අපනයන ගැටළු මත රැකියා අහෝසි කිරීමට ඉඩ නොතැබීම

සසග  එළෙස රැකියා අහෝසි කරන ව්‍යාපාරිකයින්ගෙන් ඔවුන්ට ලබා දී ඇති බදු සහන සියල්ල නැවත අය කර ගැනීමේ පියවර පාර්ලිමේන්තුවට වහා යෝජනා කිරීම

සසසග           ඉදිරි දෙවසරෙහි ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය නඩත්තු කිරීම වෙනුවෙන් ආණ්ඩුව වහා ගත යුතු පියවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

මධ්‍ය කාල සැළසුම

1.         ජාතික නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ආයෝජන, තාක්ෂණය හා කලමණාකරණය අවශ්‍ය නිෂ්පාදන අංශ ප්‍රමුඛථාගත කිරීම සහ ඒ වෙනුවෙන් ඉදිරිපත්වන ආයෝජකයින්ට බදු සහන හා වෙනත් දිරි ගැන්වීම් ලබා දීම

2.         කලාපීය ආර්ථික හවුලක් ලෙස ක්‍රියා කිරීම සඳහා සාක් සංවිධානය කැඳවීමට මුල පිරීම

3.         අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තීරු බදු සියල්ලෙන් නිදහස් කිරීම

4.         වත්කම් බද්ද ක්‍රියාත්මක කිරීම හා ආදායම් බද්ද රුපියල් ලක්ෂ 02 දක්වා නිදහස් කිරීම

ආණ්ඩු පාලන ප්‍රතිසංස්කරණ

■          නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයක් වෙනුවෙන් සමාජ කතිකාවක් ආරම්භ කිරීම

■          ජාතික ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර කටයුතු වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට යෝධ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන හෙයින්, පාර්ලිමේන්තුව ඡන්දයෙන් පත් කරන්නාවූ මන්ත්‍රීවරුන් 100 ට සීමා කිරීම සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජන සියයට 50 කින් අඩු කිරීම

■          ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14 (1) ඈ වගන්තිය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම පෞද්ගලික අංශයටද පැවරීම

■          පළාත් පාලන නියෝජන ආයතන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස සංයුක්ත කිරීමත් ඒ අනුව ඔවුන්ගේ බල ප්‍රදේශය වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සංවර්ධන සැළසුම හා ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පළාත් පාලන මැතිවරණයෙන් සති 06 ක් ඇතුළත ජනමත විචාරණයකට බඳුන් කිරීමත්

ඉදිරි ගමන හුදෙක් පාර්ලිමේන්තුවට පමණක් තීන්දු කළ හැකි යැයි අප නොසිතන හෙයින් අනාගත සැළසුම් සඳහා වගකීම පුළුල් සමාජ වගකීමක් යැයි අපි විශ්වාස කරමු. එවැනි පුළුල් සමාජ හවුලක් වෙනුවෙන් ඉහත යෝජනා අපි සංවාදයකට ඉදිරිපත් කරන්නෙමු.

‍| ඇන්ටන් මාකස්

සම ලේකම්

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (FTZ Union)

විධායක කාරක සභාවේ අනුමැතිය පරිදි

2025 අප්‍රේල් මස 07 වන දින.