2026 අයවැයට වෘත්තීය සමිති යෝජනාවලියක් ජනපතිට බාරදෙයි

nlac

2026 අයවැය යෝජනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති විසින් යෝජනාවලියක් බාරදීමට කටයුතු යොදා ඇත.

එම යෝජනාවළිය පහත පරිදි වේ.

2025 ඔක්තෝබර් මස 13 වන දින

ගරු මුදල් අමාත්‍ය සහ ජනාධිපති

අනුර කුමාර දිසානායක මහතා

මුදල් අමාත්‍යංශය,

කොළඹ 01.

01. රාජ්‍ය බැංකු, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම පාහේ යම් ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කිරීම අවශ්‍ය විය හැකි නමුදු මෙය නවීන තත්වයන්ට අනුකූලව ව්‍යුහාත්මක වෙනසක් යනු පෞද්ගලීකරණය කිරීම හෝ ආයතන වසා දැමීම නොවිය යුතු බව අවධාරණය කර සිටිමු.

ඉතිහාසයේ දී රටේත්, ජනතාවගේත් යහපත වෙනුවෙන් ස්ථාපිත කරන ලද ඉහත සඳහන් රාජ්‍ය ව්‍යවසායන් ඇතුළු සියලු රාජ්‍ය ව්‍යවසායන් පසුගිය කාලය තුළ කටයුතු කර ඇති ආකාරය පිළිබඳව වෝහාරික විගණනයන් (Forensic Audits) සිදු කොට අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු අතර එම ව්‍යවසායන් මනා කළමනාකරණයක් යටතේ තවදුරටත් රාජ්‍ය ව්‍යවසායන් ලෙසට පවත්වාගෙන යා යුතු බවට යෝජනා කර ඉල්ලා සිටිමු.

02. ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව වෙනුවෙන් කම්කරු ප්‍රඥප්තියක් හඳුන්වාදීම පිළිබඳ පොරොන්දු මෙන්ම කතිකාවතක් ඇතිවූයේ 1990 දශකයේ මැද භාගයේ සිට පමණ වේ. වර්තමාන රජය බලයට පැමිණීමට ගෙන ගිය මැතිවරණ ප්‍රචාරණය හා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා කම්කරු ප්‍රඥප්තියක් හඳුන්වාදීම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය. එසේම රටේ පවතින නීති පද්ධතිය සහ කම්කරු ප්‍රජාවගේ ආර්ථික හා සේවා කොන්දේසිවල අනාරක්‍ෂිත භාවය හේතුවෙන් ශ්‍රම ඵලදායිතාව අවම වී ඇති අතර ශක්තිමත් නෛතික ආරක්‍ෂාවක් ලබාදෙන කම්කරු ප්‍රඥප්තියක අවශ්‍යතාව මතුව පවතී.

මේ හේතුවෙන් වැඩ කරන ජනතාවගේ ආරක්‍ෂාව සහතික කරන කම්කරු ප්‍රඥප්තියක් එළිදක්වන මෙන්ද, එම ප්‍රඥප්තිය සකස් කිරීම, සම්මත කිරිම හා ක්‍රියාවේ යෙදවීම යන කටයුතු වෘත්තීය සමිති ඇතුළු සංවිධිත ස්වාධීන කම්කරු ප්‍රජාවගේ මෙන්ම සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් සහ සහභාගීත්වය ලබාගනිමින් සිදුකරන ලෙස ද ඉල්ලා සිටිමු.

පසුගිය රජය විසින් ඉදිරිපත් කළ කම්කරු නීති කෙටුම්පත වෘත්තීය සමිති විසින් ප්‍රතික්‍ෂෙප කරන ලදී. එම ලියවිල්ල පදනම් කරගෙන වර්තමාන රජය විසින් ද කම්කරු නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටී. කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරන්නේ නම් එහි මුලික පදනම වන සේව්‍යයා ඉදිරියේ සේවකයාගේ අයිතීන් ආරක්‍ෂා කිරීමේ පදනමින් ඒවා සිදුකළ යුතුය. මෙම තත්වයන් පදනම් කරගෙන රටේ කම්කරු නීති යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටිමු. එමෙන්ම එකම රටක කලාප දෙකක් තුළ කම්කරු නීති දෙයාකාරයකින් ක්‍රියාත්මක වීම හෝ නීති දෙකක් පවත්වා ගැනීම නොකළ යුතුය.

03. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආරම්භයේ සිට 1989 ආයෝජන ප්‍රතිලාභ මත 10% බද්දක් හඳුන්වා දෙන තෙක් සේවකයින්ට බදු රහිත ඉතිරියක් විය. 2018 දී එය 14% දක්වා වැඩි කර ඇත. මෙය ප්‍රධාන වශයෙන් ශුද්ධ ආදායම සහ අඩු ඵලදායි අනුපාත මත බදු අය කෙරෙන මූල්‍ය ආයතනවලට වඩා EPF හී ආයෝජනය කිරීම අඩුහිතකර කරයි. 2018 සහ 2022 අතර, EPF මත දළ ආදායමෙන් 13.7% ක සාමාන්‍යයක් බදු ලෙස ගෙවූ අතර එම වසරවල බැංකු ගෙවා ඇත්තේ 8.1% ක් පමණි. ෑඡත්‍ මත මෙම බදු ඉවත්කිරීමේ අවශ්‍යතාව සඳහා යෝජනා කිරීම.

තවද වත්මන් සේවක අර්ථසාධක අරමුදල් පනතේ 5:I)(H) වගන්තිය මගින් අමාත්‍යවරයාට වාර්ෂික වාර්තාවේ ආයෝජන තොරතුරු හෙළිදරව් කිරීම මුදල් මණ්ඩලයට නියම කරයි. කෙසේ වෙතත්, මහ බැංකුව යටතේ ඇති සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරිත්වය මෙම අවශ්‍යතාව සපුරාලීමට නිරන්තරයෙන් අපොහොසත් වී ඇත. යෝජිත සංශෝධන මගින් සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු සඳහා සංක්‍ෂිප්ත සහ නිතිපතා හෙළිදරව් කිරීමේ අවශ්‍යතා ස්ථාපිත කිරීම, සාමාජිකයින්ට අරමුදල වගවීම තහවුරු කිරීම සහ සේවක ඉතුරුම් ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රමාණවත් විනිවිදභාවයක් සඳහා යෝජනා කිරීම.

04. ඉතිහාසය පෙන්නුම් කරන්නේ EPF අරමුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමට මහ බංකුව ගත් තීරණය අරමුදලට අහිතකර වී ඇති අතර කොටස් වෙළඳපොළේ දිගටම ආයෝජනය කිරීමට සපයා ඇති මූලික හේතු විශ්ලේෂණාත්මව දෝෂ සහිත බව ඔප්පු වී ඇති බවයි. වසර 25 ක කාලයක් තුළ (1994-2019) කොටස් වෙළඳපොළේ සමුච්චිත ප්‍රතිලාභය වසරක රාජ්‍ය සුරැකුම්පත්වලින් ලැබෙන ප්‍රතිලාභයෙන් අඩකටත් වඩා අඩු බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. 1988 සිට 2017 දක්වා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ රුපියල් මිලියන 9,859 ක අලාභයක් ලබා ඇති බව වෝහාරික විගණනයේ දී අනාවරණය වී ඇත.

එලෙසම බැඳුම්කර ද්විතීයික වෙළඳපොළේ ගනදෙනු සිදු කිරීම සඳහා EPF අරමුදල් භාවිත කිරීමේ දී ශ්‍රී ලංකාවේ අත්දැකීම් සැලකිය යුතු පාඩුවලට හේතු වී ඇත. 2002 ජනවාරි මස 1 වන දින සිට 2015 පෙබරවාරි මස 28 දින දක්වා බැඳුම්කර වෙළඳපොළේ සේවක අර්ථසාධක අරමුදලේ මුළු පාඩුව රුපියල් බිලියන 10 (මිලියන 9,826) පමණ වන බව වෝහාරික විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත. සේවක අර්ථසාධක අරමුදලේ සංශෝධන මගින් බැඳුම්කර ගනුදෙනු ප්‍රකාශයට පත් කිරීම මගින් විනිවිදභාවයක් සඳහා යෝජනා කිරීම.

එහෙත් කණගාටුවට කරුණ නම්, ඒ සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිමය පියවරයන් මෙතෙක් නොතිබීමයි. සේවක අර්ථසාධක අරමුදල (EPF) තවදුරටත් අපයෝජනය කිරීමේ අවදානමක් පවතී. වගවීම සහතික කිරීම සහ අනාගත වැරදි කළමනාකරණය වැළැක්වීම සඳහා සෑම වසර තුනකට වරක් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ගනුදෙනු පිළිබඳ විධිමත් වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා අයවැයට යෝජනා කිරීම.                

05.  ශ්‍රී ලංකාවේ සියලුම යෙදුම් පාදක (app-based) ප්‍රවාහන සහ බෙදාහැරීමේ සේවකයින් (වේදිකා සේවකයින් – : platform workers) සඳහා ස්වයං මූල්‍යනය වන සමාජ ආරක්‍ෂණ සහ සුබසාධන යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම.

අය කිරීම: සෑම ගනුදෙනුවක් (කුලී ගමනක් හෝ ආහාර/භාණ්ඩ බෙදාහැරීමක්) සඳහාම පාරිභෝගිකයාගේ අවසන් බිල්පතට රුපියලක (1.00) අනිවාර්ය ගාස්තුවක් අයකෙරේ.

කළමනාකරණය: එකතු කරන ලද මුදල්  ”වේදිකා සේවක, සමාජ ආරක්ෂණ හා සුභසාධන අරමුදල” නමින් ශ්‍රී ලංකා රජය යටතේ ඇති විශේෂ ගිණුමකට බැර කෙරේ. වෘත්තීය සමිති, වේදිකා සමාගම් සහ රජය ඇතුළත් ත්‍රෛපාක්ෂික මණ්ඩලයක අධීක්ෂණයට යටත්ව මෙම අරමුදල පූර්ණ විනිවිදභාවයකින් රාජ්‍ය වගකීමක් යටතේ පාලනය කරනු ලැබේ. පළමු වසර දෙක තුළ මෙම අරමුදලට රුපියල් මිලියන 360 ක් පමණ මුදලක් එක්රැස් කර ගත හැකි බවට අපේක්ෂා කෙරේ. මෙම ප්‍රාග්ධනය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ආයෝජනය කරනු ලැබෙයි.

සේවකයින් සඳහා යෝජිත ප්‍රතිලාභ: මෙම අරමුදල මගින් සේවකයින්ට පහත සඳහන් ප්‍රතිලාභ ලබාදීමට අපේක්‍ෂා කෙරේ.

  • ජීවිත සහ හදිසි අනතුරු රක්‍ෂණය (රු. 1,000,000 දක්වා)
  • රෝහල්ගතවීම සඳහා සෞඛ්‍ය රක්‍ෂණය

හදිසි ණය පහසුකම්

  • විශ්‍රාම වැටුප් (Pension) යෝජනා ක්‍රම සඳහා දායකත්වය.
  • බරපතල රෝගාබාධ සඳහා ආවරණය

යෝජනාවේ අරමුණු:

  • මෙම අරමුදල ක්‍රියාත්මක වන්නේ රජයට හෝ සේවකයාට අමතර බරක් නොවන සරල හා තිරසාර යාන්ත්‍රණයක් ඔස්සේය. සෑම සේවාවක් සඳහාම
  • පාරිභෝගිකයාගෙන් අය කෙරෙන රුපියලක නාමික ගාස්තුවක් වේදිකා සමාගම් විසින් එකතු කර මාසිකව රජයට බැර කෙරේ.
  • වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 360 ඉක්මවා රැස් කරගත හැකි මෙම අරමුදල මගින් සේවකයින්ට ජීවිත රක්‍ෂණ, සෞඛ්‍ය රක්‍ෂණ, හදිසි ණය පහසුකම් සහ විශ්‍රාම වැටුප් වැනි අත්‍යවශ්‍ය ප්‍රතිලාභ රැසක් ලබාදිය හැකිය.
  • මෙය හුදෙක් සුබසාධන වැඩසටහනක් පමණක් නොව, මෙරට ආර්ථිකයේ අදෘශ්‍යමාන බලවේගයක් වන දහස් ගණනක් සේවකයින්ගේ ශ්‍රමය අගය කරමින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වය නගා සිටුවීමට ගන්නා ලද වැදගත් ආයෝජනයකි.

06. ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ පිහිටුවා ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ප්‍රතිපාදන වැඩි කිරීම සහ ප්‍රමිතියෙන් යුත් රැකවරණ මධ්‍යස්ථාන, සුරැකුම් නිවාස සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ ව්‍යාප්ත කිරීම තුළින් කාන්තාවන්ට ආරක්‍ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම.     

07.  අත්‍යවශ්‍ය මහජනන සේවාවන් තිරසාර ලෙස සැපයීමට ප්‍රමාණවත් ආදායමක් රාජ්‍යයට සහතික කිරීම සඳහා රජය අගතිගාමී බදු එනම් ඉඩම් හිමියන් නේවාසික සේවකයින්ගෙන් ව්‍යාපාරික විදුලි ගාස්තු අයකිරීම සහ සනීපාරක්‍ෂක තුවා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවන බදු වැනි බදු පැනවීම අවම මට්ටමකට සංශෝධනය කර ඒ වෙනුවට ධනවත් පුද්ගලයින් උපයන ධනය මත ප්‍රගතිගාමී බදු පැනවීම සහ නීති විරෝධී මුල්‍ය පිටතට ගලායෑම් (Illicit Financial Flow) වැලැක්වීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණ ස්ථාපිත කිරීම.

08. ILO සම්මුති අනුමත කිරීමේ සහ අධීක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවීම

  • C189 සහ C190 වලින් ආරම්භ වන අපේක්‍ෂිත ජාත්‍යන්තර කම්කරු සංවිධාන (ILO) සම්මුතීන් අනුමත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණය කිරීම.
  • අනුමත කරන ලද සම්මුතීන්ට දේශීයව ක්‍රිාත්මක කිරීම සහ අනුකූල වීම නිරීක්‍ෂණය කිරීම.
  • වාර්ෂිකව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) වෙත සම්බන්ධීකරණයය සහ වාර්තා කිරීම සඳහා ජාතික කේන්ද්‍රස්ථානය ලෙස සේවය කිරීම.
  • ජාත්‍යන්තර කම්කරු සන්විධානය (ILO) ප්‍රමිතීන් පිළිබඳව රජයේ ආයතන, වෘත්තීය සමිති සහ සේවායෝජකයින්ට තාක්‍ෂණික සහාය සහ ධාරිතා වර්ධනය ලබාදීම.

ක්‍රියාකාරකම්:

1. කම්කරු නීතිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ප්‍රමිතීන් සහ සමාජ සංවාදය පිළිබඳ විශේෂඥයින්ගෙන් මධ්‍යස්ථානය විධිමත් ලෙස ස්ථාපිත කර කාර්යය මණ්ඩලයක් පත් කිරීම.

2. දත්ත රැස් කිරීම සහ පාර්ශවකරුවන්ගේ උපදේශන ඇතුළුව සම්මුතීන් නිරීක්‍ෂණය කිරීම සහ වාර්තා කිරීම සඳහා ජාතික යාන්ත්‍රණයක් සංවර්ධනය කිරීම.

3. වෘත්තීය සමිති, සේවා යෝජකයින් සහ රජයේ නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම.

4. ත්‍රෛපාර්ශවික සංවාදයට පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) වෙත ඉදිරිපත් කිරීම සඳහා වාර්තා සකස් කිරීම.

09. රැකවරණ අංශය, අවිධිමත් ආර්ථිකය සහ සංක්‍රමණික සේවකයින් සඳහා සමාජ ආරක්‍ෂණ ක්‍රමයක් යෝජනා කිරීම.

 අරමුණු :

1              අවිධිමත් ආර්ථික සේවකයින්, ගෘහ සේවිකාවන් ඇතුළු රැකවරණ අංශයේ සේවකයින් සහ සංක්‍රමණික සේවකයින් සඳහා සෞඛ්‍ය, මාතෘ, රැකියා අනතුරු සහ විශ්‍රාම ප්‍රතිලාභ ආවරණය වන සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රමයක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.

2              දායකත්වය ප්‍රතිලාභ දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම, අවිධිමත් වැඩ සහ රැකවරණ භූමිකාවන්ගේ ස්වභාවය පිළිබිඹු කිරීම.

3              රාජ්‍ය සමාජ රක්‍ෂණයට සමගාමීව ප්‍රජා පාදක යාන්ත්‍රණ, සමූපකාර සහ වෘත්තීය සමිති හරහා බඳවා ගැනීම සහ ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම.

ක්‍රියාකාරකම්:

  1. ඉලක්ක කණ්ඩායම් සඳහා සමාජ ආරක්‍ෂණ අවශ්‍යතා සහ හිඩැස් පිළිබඳ පුළුල් තක්සේරුවක් සිදු කිරීම.
  2. කැපවූ සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රමයක් සඳහා නෛතික සහ මෙහෙයුම් රාමුවක් සංවර්ධනය කිරීම හො අවිධිමත් සහ රැකවරණ අංශයේ සේවකයින් ඇතුළත් කිරීම සඳහා පවතින යෝජනා ක්‍රම පුළුල් කිරීම.
  3. අවිධිමත් රැකවරණ සේවකයින්ගේ ඉහළ සාන්ද්‍රනයක් ඇති ප්‍රධාන දිස්ත්‍රික්කවල නියමු ව්‍යාපෘති දියත් කිරීම.
  4. සංක්‍රමණික සේවකයන් සඳහා DIGITAL සේවා ප්‍රවර්ධනය සහ ප්‍රවේශය සහතික කිරීම සඳහා සංක්‍රමණික සේවක සංවිධාන සමග සම්බන්ධීකරණය කිරීම.
  5. වෘත්තීය සමිති සහාය ඇතිව දැනුවත්භාවය සහ බඳවා ගැනීමේ මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම.

අපේක්‍ෂිත ප්‍රතිඵල:

  1. ඵලදායී අනුමත කිරීම සහ අධීක්‍ෂණ යාන්ත්‍රණ හරහා ජාත්‍යන්කර කම්කරු ප්‍රමිතීන්ට අනුකූලවීම වැඩි දියුණු කිරීම
  2. ගෘහස්ථ රැකවරණ, අවිධිමත් ආර්ථිකය සහ සංක්‍රමණික සේවකයින් සඳහා සේවා කොන්දේසි සහ ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම.
  3. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සම්මුතීන් පිළිබඳ ත්‍රෛපාර්ශ්වික සංවාදය සහ ජාතික වාර්තාකරණ ධාරිතාව ශක්තිමත් කිරීම.
  4. සමාජ ආරක්‍ෂණ ආවරණය පුළුල් කිරීම, අවදානම අඩු කිරීම සහ ආන්තික සේවක කණ්ඩායම් සඳහා සුනිසි වැඩ ප්‍රවර්ධනය කිරීම.

10. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සියලු සේවක ප්‍රජාව උදෙසා ප්‍රමාණවත් සමාජ ආරක්‍ෂණණ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුන්ගේ සැඳෑ සමය කිසිවෙකුට අත නොපා දිවි ගෙවීමට අවකාශ සලසා දීම අත්හල නොහැකි වගකීමකි.

ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු සියලුම සේවකයින්ට විශ්‍රාම ප්‍රතිලාභ ලැබීම තහවුරු කළ යුතු අතර, ස්ථාපිත කර ඇති ප්‍රතිලාභයන්හී අඩුපාඩු හඳුනාගෙන ඒවා සම්පූර්ණ කළ යුතුය. මෙම කටයුතුවල දී රාජ්‍ය මුදල්වලට අවම පීඩනයක් ඇතිවන අයුරු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.

පෞද්ගලික අංශයේ සේවකයින් ඉලක්ක කරමින් ආයතන මට්ටමින් විශ්‍රාම ප්‍රතිලාභ ලබාදීමට දිරිමත් කළ යුතුය. රජය කම්කරු දෙපාර්තමේන්තුව හරහා එය අධීක්‍ෂණය කළ යුතු වේ. රාජ්‍ය මැදිහත්වීම හරහා විශ්‍රාම වැටුප් අරමුදල් ගොඩනැගිය යුතු අතර නිසි පරිදි අධීක්‍ෂණය කළ යුතු වේ.

11. ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය අයිතිය යටතේ පවතින වතුවල සේවකයින්ට, ඔවුන් විශ්‍රාම යෑමේ දී හෝ සේවයෙන් ඉවත් වීමේ දී ගෙවිය යුතු, එහෙත් එම ආයතනවල මූල්‍ය හිඟය හේතුවෙන් 2019 වසරේ සිට නොගෙවා හිඟ හිටුවා ඇති රු. 3,380,568,367.88 ක් පමණ වන සේවක අර්ථසාධක, සේවක භාරකාර සහ වතු කාර්යය මණ්ඩල අර්ථසාධක අරමුදල් ප්‍රමාණය පියවීම සඳහා 2026 අය වැයෙන් මුදල් වෙන් කරන ලෙසත්, (අදාළ ලේඛනය අමුණා ඇත.)

ඉහත සඳහන් රාජ්‍ය අයිතිය යටතේ පවතින වතුවල ඓතිහාසික, භූගෝලීය සහ පාරිසරික වටිනාකම ඉස්මතු වන සේ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති ආරම්භ කොට, පැරණි යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්ප අනුව එම වතුවල ඉදිකොට ඇති ගොඩනැගිලි එම පැරණි යුරෝපීයයන්ගේ වත්මන් පරපුරට දැකබලා ගත හැකිවන පරිදි නවීකරණය කොට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යොදවා එමගින් උපයන ආදායම් පිරිහී ඇති රාජ්‍ය වැවිලි සමාගම්වල දියුණුව සඳහා යොදවන ලෙසත් යෝජනා කර සිටිමු.

12. නාස්තිය හා දූෂණය පිටුදැකීමේ රජයේ දැක්මට අනුකූල වන පරිදි සහ ශක්තිමත්ව පවත්වාගෙන යෑමට පහසුවන පරිදි රාජ්‍ය අයිතිය යටතේ පවත්නා ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ඇල්කඩුව වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යන ආයතන 05 ඒකාබද්ධ කර එක් වැවිලි සමාගමක් ආරම්භ කරන ලෙසත්, එම නව සමාගම යටතේ දීර්ඝ

කාලයක් තිස්සේ පවතින සාම්ප්‍රදායික වැවිලි කර්මාන්තයට අමතරව වෙනත් මුල්‍යමය වටිනාකමින් යුත් බෝග වගා කොට බෝග විවිධාංගීකරණය කරන ලෙසත්,

වැවිලි කර්මාන්ත ක්‍ෂෙත්‍රයට අවශ්‍ය නව දැනුම සම්පාදනය කිරීම සහ ක්‍ෂෙත්‍රයේ උන්නතිය වෙනුවෙන් පිහිටුවා ඇති ජාතික වතු කළමනාකරණ ආයතනය (NIPM), ක්‍ෂෙත්‍රයට අදාළ උපාධි පිරිනමන විශ්වවිද්‍යාලයක් ලෙස පරිවර්තනය කරන ලෙසත් යෝජනා කරමු.

13. පුද්ගලික අංශයේ සේවකයින්ගේ රැකියා අහිමිවීම නිසා දරිද්‍රතාවයට පත්වන්නන්ට සහන සැලසීම සඳහා ත්‍රෛපාක්‍ෂික පාලනය තුළ ජාතික දායකත්ව විරැකියා ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් මෙවර අයවැය තුළින් ස්ථාපිත කරන ලෙසත්,

මිලියන 8 කට වැඩි පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුරක්‍ෂාව සහ සුභසාධනය වෙනුවෙන් ඇති එකම රාජ්‍ය ආයතනය වන කම්කරු දෙපාර්තමේන්තුවේ නොවෙනස් සහ පරම වගකීම නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇති පරිදි කම්කරුවන්ගේ සුරක්‍ෂාව සඳහා කම්කරු අණපනත් ක්‍රියාත්මක කරවීම වුවත්, එය නොසළකා සිදුකරන සේව්‍යයන්ගේ අවශ්‍යතා සපුරාලන ක්‍රමය නවතා, සේවක සුරක්‍ෂාව සහ සුබසාධනය වෙනුවෙන් පසුගිය කාලයේ අය වැය යෝජනා මගින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම නිසා එම වගකීම් ඉටු කිරීමට නොහැකිව ඇති බැවින් 2026 අයවැය මගින් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙසත් යෝජනා කරමු.

15. වතු අංශයේ Out grower ක්‍රමය නතර කිරීමටත්, සේවය කරන සේවකයන් සඳහා නීති පද්ධතියක් සකස් කිරීමටත්, මැතිවරණවලදී පොරොන්දු වූ පරිදි වතු කම්කරු වැටුප             රු. 2,000/= ක් කිරීමටත් යෝජනා කරමු.

16. වතු කම්කරුවන්ගේ සහ වතු  කාර්ය මණ්ඩල සාමාජිකයන්  වෙනුවෙන් පර්චස් 10 ක භූමි ප්‍රමාණයක් ලබා දෙන ලෙසත්, පවතින ලයින් කාමරවල යටිතල පහසුකම් ඉහළ නංවා දෙන ලෙසත්, වතු පාසල්වලට ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ගුරුවරුන් ලබාදෙන ලෙසත්, ජාතික මට්ටමේ ක්‍රීඩා සඳහා වතුකරයේ දරුවන්ට ප්‍රමුඛතා අවස්ථාවන් ලබාදෙන ලෙසත් යෝජනා කරමු.

17. නිදහස් වෙළඳ කලාපවල සහ කර්මාන්තපුරවල සේවය කරන සංක්‍රමණික කම්කරු දෙමව්පියන්ගේ දරුවන් පාසැලට ඇතුලත් කිරීමේ දී පදිංචිය සහතික කිරීමට නොහැකිවීම නිසා මුහුණ දෙන ගැට`ඵ විසඳීමට අයවැයෙන් යෝජනා කරන්න

එළෙසම දෙමළ සංක්‍රමණික කම්කරු දෙමව්පියන්ගේ දරුවන් පාසැලට ඇතුලත් කිරීමේ දී පදිංචිය සහතික කිරීමට නොහැකිවීම සහ විශේෂයෙන් දෙමල වීම නිසා මුහුණ දෙන ගැට`ඵ විසඳීමට අයවැයෙන් යෝජනා කරන්න

 18. නිදහස් වෙළඳ කලාපවල සහ කර්මාන්තපුරවල සේවය කරන සංක්‍රමණික කම්කරුවන් නේවාසික ගෙවල් සහ කාමරවල විදුලි ගාස්තු අය කිරීම සහ සනීපාරක්‍ෂ තුවා ඇතු`ඵ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත පනවා ඇති බදු බර අහෝසි කර ඒ වෙනුවට ධනවත් පුද්ගලයින් උපයන ආදායම මත බදු පැනවීම සහ නීති විරෝධි මුල්‍ය පිටතට ගලා යෑම් (Illicit Financial Flows) වැළැක්වීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණ ස්ථාපිත කිරීම

අන්තර් සමාගම් සේවක සංගමය (ICEU)

ලංකා බැංකු සේවක සංගමය (CBEU)

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (FTZ&GESU)

ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFTU)

ලංකා වතු සේවා සංගමය (CESU)

වැඩ කරන කාන්තා මධ්‍යස්ථානය (CWW)

නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාර්ස් ශ්‍රී ලංකා (NUSS)

ඩාබිඳු සාමුහිකය (DC)

නිමි භාණ්ඩ ඇඟළුම් සහ රෙදිපිළි සේවක සංගමය (TGCWU)

ලංකා ජාතික වතු කම්කරු සංගමය (LJEWU)

පොදු ජන ප්‍රගතිශීලි සේවක සංගමය (PJSS)

ලංකා කම්කරු සමමේලනය (CFL)

ජාතික සේවක සංගමය (JSSU)