කොවිඩ් ආසාදිත ඔබට වෛද්‍ය උපකාර ගැනීමට 247 ක්ෂණීක දුරකතන අංකයක්  

කොවිඩ් ආසාදිත ඔබට වෛද්‍ය උපකාර ගැනීමට 247 ක්ෂණීක දුරකතන අංකයක්  

කොවිඩ් වැළදී වෛද්‍ය උපකාර ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ ලංකාවේ කොතැනක සිටියත් ඕනෑම ප්‍රධාන ජංගම දුරකතන ජාලයක් හරහා 247 ක්ෂණික අංකය ඇමතීමෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති,කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (23) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති  මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශයෙහි මූලිකත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා ජංගම දුරකතන පහසුකම් සපයන ආයතන සියල්ල එකට එක්වී දැනට සියලුම රෝගීන්ට තොරතුරු ලබාදෙන ක්ෂණිත දුරකතන අංක,ක්ෂණික ඇමතුම් ක්‍රම එකට එකතු කර එක ක්‍රමවේදයක් එනම්, ක්‍රම 03ක් එකිනෙකට සම්බන්ධ වූ පද්ධතියක් සකසා ඇතැයි ද, 247 ක්ෂණික ඇමතුම් අංකය ඒ ඔස්සේ හදුන්වාදුන් ක්‍රම 03න් එකක් බවද මහාචාර්යවරයා පැහැදිළි කළේය.

මහාචාර්යවරයා පවසන පරිදි ඉතිරි ක්‍රම 02 මෙලෙස වෙයි..

  • කොවිඩ් ආසාදිත ඔබට රෝහල්ගතවීමට නොහැකිව නිවසේ සිටිනා අවස්ථාවක හදිසි ප්‍රතිකාර අවශ්‍ය නම් 1990 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ සුවසැරිය ගිලන්රථ සේවය ඇමතිය හැක.
  • ඔබ බස්නාහිර පළාතේ වාසය කරයි නම්, ඔබ කොවිඩ් ආසාදිතව හෝ ආසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු වීම වැනි කාරණා හේතුකොට ඒ සම්බන්ධව සැකකරනවා නම්, 1904ට කෙටි පණිවිඩයක් යොමු කළ හැක.

කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය විසින් සංවිධානය කර ඇති 1904 අංකයට කෙටි පණිවිඩයක් එවීමේදී ඔබට සිතෙන පරිදි ඔබ කවර කාණ්ඩයකට අයිති වන්නේදැයි සදහන් කර කාණ්ඩයේ අකුර සදහන් කර එවිය යුතුයි.

එනම්, ශ්වසන අපහසුතා ඇතිනම්, ''ඒ '' කාණ්ඩය, සුළු රෝග ලක්ෂණ ඇතිනම් ''බී'' කාණ්ඩය, රෝග ලක්ෂණ නොමැති නම් ''සී'' කාණ්ඩය ආදී වශයෙන් ඔබ අයත්යැයි සිතන කාණ්ඩය, ඔබගේ වයස, ජාතික හැදුනුම්පත් අංකය සදහන් කර 1904 ක්ෂණික ඇමතුම් අංකයට කෙටි පණිවිඩය එවීමෙන් ඔබව ඉබේම කාණ්ඩ වර්ගීකරණයට යොමුවන අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටද කඩිනමින් කටයුතු කෙරෙනු ඇත.

247 සේවාව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මොබිටෙල් සමග එක්ව ප්‍රධාන වශයෙන් ඇරඹූ බවත්, මේ වන විට අනෙකුත් සියලුම ජංගම දුරකතන ජාලයන් එයට ඒකතු වී කටයුතු කරන බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ස්වෙච්ඡාවෙන් කටයුතු කරන වෛද්‍යවරයෙකු වෙත විනාඩි 02ත් 04ත් අතර කාලයක් තුළ සම්බන්ධ විය හැකි බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.

මෙහිදී අදාළ වෛද්‍යවරයා රෝගියා හා සම්බන්ධ වෙමින් ඔහුගේ රෝගී තතත්වයන් විමසා, ඔහුව ඉක්මණින් රෝහල්ගත කිරීමට අවශ්‍ය නම් 1990 සුවසැරිය ගිලන්රථ සේවයට යොමුකර ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කරන බව පැවසුවේය.

රෝහල්ගත කිරීම හදිසි නොවන නමුත් ඉදිරියේ දී රෝහල්ගත විය යුතු යැයි හදුනාගන්නා රෝගීන් (වැඩි වයස් වල සහ සංකූලතා ඇති අය) හට අවශ්‍ය උපදෙස් දෙමින් නිරන්තරයෙන් කටයුතු කරන බවද, නිවසේ ප්‍රතිකාර ලැබීමට සුදුසුකම් සපුරන්නන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදෙමින් නිවෙස් තුළ රදවා කටයුතු කරන බවද අවධාරණය කළේය.

මෙලෙස වෛද්‍ය උපදෙස් ලබාදීමේදී රෝගීන් සිටිය යුතු ආකාරය පිළිබදව, කළ යුතු සහ නොකළ යුතු දෑ පිළිබදව ඒනම් විවේකීව සිටීම, හොදින් ජලය පානය කිරීම, වාතාශ්‍රය හොදින් ලබාගැනීම, මහන්සි නොවීම, භාවිතා නොකළ යුතු ඖෂධ මොනවාද, හදිසියේ හතියක් ඇතිවුවහොත් කළ යුත්තේ කුමක්ද, ඇමතිය යුතු අංකය කුමක්ද ආදී වශයෙන් අදාළ වෛද්‍යවරුන් විසින් රෝගීන් හට උපදෙස් ලබාදෙන බවද ඔහු කියා සිටියේය.

247 සේවය තුළින් මේ වන විට දින 04ක් තුළ දුරකතන ඇමතුම් මගින් රෝගීන් 4000කටද, 1904 සේවය තුළින් කෙටි ඇමතුම් 11,000ක් වර්ගීකරණය කරමින් රෝගීන් 2000 – 3000 අතර ප්‍රමාණයකටද අමතමින් සේවය සළසා ඇති බව මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සිහිපත් කළේය.