කොවිඩ් අපට අලුත් රෝගයකි. අප දැනටමත් අසා ඇති උණ, ශ්වසන අපහසුතා, රසය හෝ ගන්ධය නොදැනීම ආදී රෝග ලක්ෂණ හැරුණුකොට, සුලබව හමු නොවන තවත් රෝග ලක්ෂණයන් කොවිඩ් නිසා මතුවේ.
එසේම කොවිඩ් සුව වී නිවසට පැමිණි රෝගීන් ද, කොවිඩ් සඳහා නිවසේ සිටම ප්‍රතිකාර ලබන රෝගීන් ද, එවැනි රෝගීන්ගේ පවුලේ සාමාජිකයින් ද අන්තරායකර රෝග ලක්ෂණ හඳුනාගැනීම සඳහාත්, රෝගියා නිරීක්ෂණය සඳහාත් දැන සිටිය යුතු කරුණු කීපයක් තිබේ.
ඒ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ශ්වසන විශේෂඥ වෛද්‍ය ආර්. ආශා සමරනායක සමග සාකච්ඡාකොට සැකසුනු කෙටි නියමුවකි මේ.
1. තරුණම තැනැත්තා රෝගියාගේ රැකවලා වන්න
බහුපුද්ගල නිවෙසක (එනම් පුද්ගලයින් කීප දෙනෙකු වාසය කරනා නිවෙසක) නිරෝධායනයට ලක්වෙමින් සිටින කොවිඩ් රෝගියෙකු වේ නම්, එම තැනැත්තාගේ රැකවලා විය යුත්තේ එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත්, වයසින් තරුණම නිවැසියා ය. එමඟින් අනෙකුත් නිවැසියන් රෝගයට නිරාවරණය වීම අවම වේ.
"නිතරම රෝගියා ළඟට යනකොට මාස්ක් එක දාලා, ග්ලවුස් දෙකක් දාන්න බැරි නම් සැනිටයිසර් එකක් ඉක්මනට දාන්න පුළුවන්. එහෙම නැත්නම් අත හෝදගන්න සබන් දාලා. ඊළඟට, වයිසර් එක නම් අවශ්‍ය යි. වයිසර් එක යි මාස්ක් එක යි දාලා, පුළුවන් ඉක්මනින් රෝගියාව නිරීක්ෂණය කරලා, එයාට ආහාරපාන දීලා, බෙහෙත් ටික වෙලාවට දීලා විනාඩි 15ක් ඇතුළත කාමරෙන් එළියට එන්න පුළුවන් නම් හොඳ යි," විශේෂඥ වෛද්‍ය සමරනායක උපදෙස් දෙයි.
රෝගියාට රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය සම්බන්ධ ගැටලු නොමැති නම්, රැකවලා කාමරයට පැමිණෙන අවස්ථාවේ දී රෝගියාට ද මුහුණු ආවරණයක් පැළඳ සිටිය හැකිය. නමුත් රෝගියාගේ ඔක්සිජන් පවතින්නේ ආන්තික මට්ටමේ නම් මුහුණු ආවරණ පැළඳීම මඟින් ඔක්සිජන් මට්ටම පහළ යන නිසා, එම තීරණය ප්‍රවේශමෙන් ගත යුතු ය.
ඊට අමතරව පශ්චාත් කොවිඩ් ලක්ෂණ මතුවන්නේදැ යි රෝගියා ද පසුවිපරමින් සිටිය යුතුබව වෛද්‍යවරිය සඳහන් කළා ය.
2. රෝගියාගේ රුධිර ඔක්සිජන් මට්ටම මෙසේ විය යුතු යි
මේ වන විට බොහෝ නිවෙස්වල ස්පන්දන ඔක්සිමීටර ඇති නිසා, රෝගියාගේ ඔක්සිජන් මට්ටම මැනගැනීම පහසු ය. මෙහි පරාමිතීන් දැන සිටීම ඉතා වැදගත් ය.
"අතිරේක ඔක්සිජන් නොදුන් කෙනෙකුට සාමාන්‍ය වාතාශ්‍රයේ දී පෙන්වන ඔක්සිජන් ප්‍රතිශතය 96ට අඩු නම් හෝ පෙනහළුවල රෝගයක් සහිතව, කොවිඩ් නියුමෝනියාව සහිතව නිවෙසට පැමිණි කෙනෙකුට 94ට අඩු නම් හෝ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු යි," වෛද්‍ය සමරනායක ප්‍රකාශ කරයි.
3. රෝගියාගේ හුස්ම ගැනීම සාමාන්‍යදැ යි දැනගන්නේ මෙහෙම යි
| ශ්වසනය අපහසු නම් මේ ඉරියව් අනුගමනය කරන්න
රෝගියාට ශ්වසන අපහසුතාවක් ඇත්දැ යි දැනගැනීම සඳහා රැකවලුන් විසින් රෝගියා නිරීක්ෂණය කිරීම මෙන්ම රෝගියාගෙන් ඒ පිළිබඳව විමසීම ද වැදගත් ය.
"කෙනෙක් ඉන්න පුළුවන්, දැන් වේගයෙන් හුස්ම ගන්නවා. තව කෙනෙක්ට ඒක පේනවා, නමුත් ලෙඩා කියන්නේ නෑ එයාට අමාරු යි කියලා. ඒක එයාට පුරුදු වෙච්ච විදිය. එහෙම ඉන්න අය හුඟ දෙනෙක් ඔය දීර්ඝකාලීන පෙනහළු රෝග, හෘද රෝග තිබුණු අය. ඒ නිසා හොඳම දේ, හුස්ම ගැනීමේ අමාරුව ගැන ලෙඩාගෙන් දැනගන්න එක. එයාට දැනෙනවනේ වෙනසක්. අලුතෙන් ඇතිවෙන වෙනසක් තමයි මෙතන අපි හොයන්නේ," විශේෂඥ වෛද්‍යවරිය පැහැදිලි කළා ය.
ශ්වසන අපහසුතා තිබේදැ යි නීර්ණය කිරීමට රෝගියාගෙන් ප්‍රශ්න කළ යුතුබව ද ඇය පවසයි.
"එතකොට අපට අහතැහැකි එයාගෙන් 'ඔයාට පොඩ්ඩක් හරි ඇවිදලා එද්දී හති තිබුණා ද?'. එහෙම නැත්නම් අපි රෝගියා එක්ක පොඩි දෙබසක් කතා කළා කියමු? අපට රෝගියාට කියන්න පුළුවන් එක හුස්මට ගෙදර ලිපිනය කියලා පෙන්නන්න කියලා. එහෙම කරන්න අමාරු යි හති එනවා නම්. රෝගියා කතා කරන්නේ කඩ කඩ නම්, ඒක හොඳ නැහැ. ඒ වගේ පොඩි දෙබසක දී අපට නිරීක්ෂණය කළ හැකියි මේ පුද්ගලයාට හතිය එනවා ද කියලා.
අනෙක් වැදගත් කාරණාව වන්නේ ශ්වසන අපහසුතා ඇත්දැ යි නිවැරදි අවස්ථාවේ නිරීක්ෂණ කිරීම යි.
"හුස්ම ගැනීමේ අපහසුව අලුතෙන් ඇතිවෙන අයට ඒ ලක්ෂණය පෙන්නන්නේ සමහර විට විවේකීව ඉන්නකොට නෙවෙයි. සමහර විට එයා නාන කාමරයට හරි, කුස්සියට හරි කෙටි දුරක්, නිරෝධායනය වෙන කෙනෙක් නම් කාමරේ ඇතුළේ ඇවිද්දා කියමුකෝ. ශ්වසන අපහසුතාව ඇවිදීම වගේ පොඩි ව්‍යායාමයක දී තමයි පෙන්නන්න ගන්නේ."
රෝහලේ සිට නිවෙසට පැමිණි කාලයේ සුළු ව්‍යායාමයන්හි යෙදෙද්දී පහසුවෙන් ශ්වසනය කළ හැකි වූ නමුදු, මඳ කලකට පසු ශ්වසන අපහසු වන්නේ නම් එය රතු සංඥා එළියක්බව වෛද්‍ය සමරනායක අවධාරණය කරයි.
4. රතු සංඥා එළි ගැන අවධානයෙන් සිටින්න
ශ්වසනය සම්බන්ධ රතු සංඥා එළියට අමතරව රැකවලුන් විසින් අවධානය දැක්විය යුතු තවත් රෝග ලක්ෂණයන් කීපයකි.
මෙහිදී රෝගීන්ට දිගින් දිගටම තීව‍්‍ර වන පපුවේ වේදනාවක් ඇත්දැ යි සැලකිලිමත් විය යුතුබව වෛද්‍ය සමරනායක පවසයි.
"සමහර විට මේ පපුවේ ඇම්ම අතකට, කටට, ඒ කියන්නේ හක්කට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දාඩිය දාන්න පුළුවන්, වමනෙ යන්න පුළුවන් මේ පපුවේ අමාරුවට. එහෙම ඒවා හෘදයාබාධයක ලක්ෂණ විය හැකි බැවින් ඉක්මනින් රෝගියා වෛද්‍යවරුන් වෙත යොමු කරන්න ඕන."
ශරීරයේ යම්කිසි කොටසක ඇතිවන හිරි ගතිය හෝ අප්‍රාණිකබව වැනි අංශභාග රෝගයේ ලක්ෂණ මීළඟ රතු සංඥා එළිය යි. ඊට අමතරව සිහිමඳ ගතිය ද, ඉතා කලාතුරකින් මතුවිය හැකි අපස්මාර ලක්ෂණ ද පෙන්නුම් කරන්නේ නම් වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය.
5. ක්‍රමානුකූලව සුපුරුදු ජීවිතයට හුරුවෙන්න
| කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, සහ ක්ෂුද්‍ර පෝෂක අඩංගු සමබර ආහාර වේලක් ලබාගැනීම වැදගත්
කොවිඩ් වැළඳී සිට සුව අතට හැරුණු පුද්ගලයෙකු වුව ද සුපුරුදු ජිවිතයට අනුගත විය යුත්තේ ක්‍රමානුකූලවබව වෛද්‍යවරිය සඳහන් කරයි.
"කොවිඩ් හැදිලා ඉඳලා ආපු ගමන්ම එක්සර්සයිස් කරන්න පටන්ගන්න බැහැ. මොකද ඒගොල්ලන්ගේ ඔක්සිජන් ඌණතාවක් තවමත් ටිකක් තියෙන්න ඉඩ තියෙනවා, මොකද සනීප වුණු ගමන්ම නේ... වෙහෙස වෙන එක, අධික නිදි මැරීම, ඒවා එක පාරටම කරන්න බැහැ. එතකොට [සිරුර තුළ] ඔක්සිජන් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා නේ. [සිරුරේ] ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුම වැඩි නොකර, ඇඟ ප්‍රකෘති තත්ත්වයට පත්වෙන වේගය අනුව නැවත අනුගතවීම සුදුසු යි," ඇය පැහැදිලි කළා ය.
කෙසේ නමුත්, සුළු හෝ ව්‍යායාමයක් නොලබා සිටීම ද සෞඛ්‍යයට අහිතකරබව ඇය පවසයි.
"[රෝහලෙන්] ආපු අලුත ඇඳටම වෙලා ඉන්න එකත් හොඳ නැහැ. මොකද එකතැන ඉන්නකොටත් රුධිර කැටි හැදෙන්න පුළුවන්. කුස්සියට, නාන කාමරේට, ගෙයි සාලෙට අවිද්දාට කමක් නෑ. හැබැයි, අර නිරෝධායන පීරියඩ් එකේ දී නෙවෙයි."
කොවිඩ් රෝගීන්ට රුධිර කැටි ඇතිවීමේ අවදානමක් ඇති නිසා එයින් ආරක්ෂා වීම පිණිස වැඩිහිටියෙකු දිනකට ජලය ලීටර 2 - 3 අතර ප්‍රමාණයක් පානය කළ යුතු අතර, ක්ෂුද්‍ර පෝෂකවලින් ද, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, සහ මේදය අඩංගු සමබර ආහාර වේලක් ලබාගැනීම ද සිදුකළ යුතුයැ යි ද වෛද්‍ය ආශා සමරනායක වැඩි දුරටත් සඳහන් කළා ය.
අමන්දා අබේසූරිය / බීබීසී සිංහල