රජයේ රොහල් වල CT, MRI, CATH Lab scan,  පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීමට සුව ඇමතිගෙන් උපදෙස්

රජයේ රොහල් වල CT, MRI, CATH Lab scan,  පරීක්ෂණ විධිමත් පරිදි සිදු කිරීමට සුව ඇමතිගෙන් උපදෙස්

වෛද්‍ය උපකරණ හා සේවා සැපයුම් මණ්ඩලයේ  (COMES – The Chamber Of Medical Equipment Services) නියෝජිතයන්  හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ හමුවක් පසුගිය දින සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

‍මෙරට රජයේ රෝහල් වල ස්ථාපිත කර ඇති CT scan යන්ත්‍ර  (Computer Tomography) නිසි පරිදි ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කරමින් මෙරට ජනතාවට  ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

CT scan යන්ත්‍ර වල ඉදිරි ක්‍රියාකාරීත්වය සදහා ගත යුතු තීන්දු තීරණ වලට ප්‍රමුඛත්වය දී මෙහිදී සාකච්ඡා කල අතර MRI Scan හා CATH Lab වල ඉදිරි ක්‍රියාකාරීත්වය පිලිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැණුනි.

මෙරට ජනතාවට විධිමත් සෞඛ්‍ය සේවාවක් සැපයීමේ දී අවශ්‍යතාවය මත     වෛද්‍ය පරීක්ෂණ සදහා CT scan පරීක්ෂණ කටයුතු ඉතා අත්‍යවශය  කාරණාවක් බැවින්  එම පරීක්ෂණ කටයුතු ඉදිරියේ දී විධිමත්ව අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු හෙයින් ඒ සදහා පවතින ප්‍රායෝගික ගැටලු පිලිබදව අමාත්‍යවරයා මෙහිදී විමසා සිටියේය.

මෙරට තුළ වත්මන් ආර්ථික තත්වය කුමන ආකාරයකින් පැවතියත් රජය මගින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීම සදහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන ප්‍රමුඛ කාර්යක් සේ සලකා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන බවත් එම මුදල් නිසි පරිදි කළමණාකරණය කරගනිමින් සෞඛ්‍ය සේවා කටයුතු සලසන මෙන් ද අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිළධාරීන්ට දන්වා සිටියේය.

ඩොලරය උච්ජාවචනය වීම හේතුවෙන් වෛද්‍ය උපකරණ සේවා කිරීමේ දී අධික වියදමක් දැරීමට සිදු වන බවත් විදේශයන් හි සිට අමතර කොටස් ගෙන්වීමේ දී නියමිත කාලයට වඩා සමහර අවස්ථාවන් වලදී යම් ප්‍රමාදයක් සිදු වන බවත් ඒ සදහා ඔවුන්හට බලපාන ප්‍රායෝගික ගැටලු පිලිබදවද වෛද්‍ය උපකරණ හා සේවා සැපයුම් මණ්ඩලයේ නියෝජිතයන් මෙහිදී කරුණු ඉදිරිපත් කරන  ලදී.

පවතින ගැටලු අවම කර ගනිමින් හා දෙපාර්ශවය අතර අන්යෝන්‍ය අවබෝධයකින් හා විනිවිදභාවයකින් කටයුතු කිරීමෙන් මෙරට රෝගී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකි බවත් අප සියලු දෙනාගේම මුලික අරමුණ එය විය යුතු බවද   අමාත්‍යවරයා අවසන් වශයෙන්  පෙන්වා දුන්නේය.

මේ වන විට රජයේ රෝහල් වල  MRI Scan යන්ත්‍ර 13 ක් ද, CT scan යන්ත්‍ර 44 ක් ද, CATH Lab යන්ත්‍ර 14 ක් ද මෙරට රෝගී ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය සේවාව සපයනු ලබයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්  (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) වෛද්‍ය ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරුන් සහ වෛද්‍ය උපකරණ හා සේවා සැපයුම් මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වුහ.