අපේ අර්ථසාධකයේ සහ භාරකාර අරමුදලේ අපේම සාමාජික මුදල් වලින් අපිටත් නොකියා රුපියල් කෝටි 400 ක විතර මුදලක් ණයට කියලා අරගෙන, ඒ ණය ගෙවන්න බැරි තරම් ආර්ථිකය බංකොලොත් ගැහුවම, ණය ආපසු ගෙවන්න නම්, ණය ප්‍රතිව්‍යුහගත කරන්න මහ බැංකුවේ මුදල් මණ්ඩලයට වගකීම භාර දීලා. ඒ අනුව දින 21 ක් ඇතුළත ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වෙනවද නැද්ද කියලා තීන්දු කරන්න කියලා පහුගිය ජූලි 04 වෙනිදා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කෙරුවා.
කාටද ඒ තීන්දු ගන්න කියන්නේ? මහ බැංකුවේ මුදල් මණ්ඩලයට. කවුද මුදල් මණ්ඩලය කියන්නේ? මුදල් මණ්ඩලය කියන්නේ මහ බැංකු අධිපති සභාපති හැටියට ඉන්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමග, ජනාධිපති විසින් නම් කරන තවත් පුද්ගලයින් තුන් දෙනෙක් වාඩිවෙන පස් දෙනෙක්ගේ මණ්ඩලය. ඒ මුදල් මණ්ඩලයම තමයි අපේ අර්ථසාධකයේ මුදල් ණයට දෙන්නත් තීන්දු ගන්නේ. එහෙම ණයකාරයාම ණය ආපසු ගෙවන්නේ කොහොමද කියලා තනියම තීන්දු කරනවාට මොකද්ද කියන්නේ ? ඒක සුද්ද සිංහලෙන් කියන්න බැරි නිසා අපි මෙහෙම කියන්නං.
අපේ අර්ථසාධක අරමුදල් අවංකව හරියට ආයෝජනය කරනවා නම්, අපට දළ වශයෙන් සියයට 13.5 ක විතර පොලියක් අවුරුද්දකට ගන්න පුළුවන්. එහෙම ගත්ත අවුරුදු තියෙනවා. ඒ ඊයේ පෙරේදා නෙවෙයි. අතීතයේ එකෝමත් එක දවසක එහෙම රටක් තිබිලා තියෙනවා.
දැන් ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළසුමට අනුව අපට කෙළවෙන්නයි යන්නේ. අපි ඒක මෙහෙම ගණන් බලමු. අර්ථසාධකය ගණන් හදන වැටුප රුපියල් 30,000 ක් වන සේවකයෙකුගේ ගිණුමක 2022 ජනවාරියේ රුපියල් ලක්ෂ 05 ක් තිබුණා කියලා නිකමට හිතමුකෝ. 2022 දෙසැම්බරයේදී ඒ අවුරුද්දේ වැටුප් එකතුව වන 3,60,000 න් අරමුදලේ සාමාජික ගිණුමට බැර වෙන මුදල රුපියල් 48,600 යි. එතකොට 2023 අවුරුද්ද ආරම්භ කරන්නේ 5,48,600 ක් අර්ථසාධකයේ තියා ගෙනයි. ඒ වෙනුවෙන් සියයට 13.5 ක පොලියක් ලැබුණොත් ඒ සේවකයට තව රුපියල් 74,061 ක් ලැබෙනවා. එතකොට 2022 දෙසැම්බරය අවසන් වෙන්නේ අර්ථසාධකයේ රුපියල් 6,22,661 ක් තියා ගෙනයි. මහ බැංකු අධිපති කියන විදියට ඒ අයට ඉදිරි අවුරුදු වල සහතික කරන්න පුළුවන් පොලිය අවම සියයට 09.1 ක පොලියක් නම්, 2022 අවසන් වනවිට ඒ සේවකයට ලැබෙන පොලී ආදායම වෙන්නේ රුපියල් 49,922 යි. ඒ කියන්නේ පළමු අවුරුද්දේ සේවකයට ලැබිය යුතු පොලියෙන් රුපියල් 24,139 ක් ආණ්ඩුව හොරා කනවා. ඔය අපි කථා කළේ 30,000 ක වැටුපක් ලබන සාමාන්‍ය සේවකයින් ගැන. ඊට වඩා වැටුප් ලබන කාර්යාල සහ ඉහළ ශ්‍රේණිවල සේවකයින්ගෙන් හොරා කන මුදල කීයක් වෙන්න ඇතිද කියලා හිතාගන්නකෝ.
මේ සේවකයට 2023 අවසානයේදී අර්ථසාධක ගිණුමට ඒ අවුරුද්දේ සියයට 20 සාමාජික ගාස්තුව බැර උනාම එකතුව රුපියල් 6,71,261 ක් වෙනවා. නැවත සියයට 13.5 ක පොලියක් ලැබුනොත් එයාට 2023 අවසානයේ පොලිය රුපියල් 90,620 ක් වෙනවා. නමුත් මහ බැංකු අධිපති පොරොන්දුවන සියයට 09.1 ක පොලිය අනුව ලැබෙන්නේ රුපියල් 61,084 යි. ඒ කියන්නේ දෙවන අවුරුද්දෙ ආණ්ඩුව හොරා කන මුදල රුපියල් 29,536 යි. එතකොට පළමු අවුරුදු දෙකේදී ආණ්ඩුව රුපියල් 53,675 ක් ඒ සේවකයගෙ අර්ථසාධකයෙන් සොරා කනවා. කතාව දැන් පැහැදිලිනේ. ආණ්ඩුව ඒ වගේ එක සේවකයෙකුගේ සේවක අර්ථසාධකයෙන් හොරා කන මුදල හැම අවුරුද්දෙම කලින් අවුරුද්දට වඩා දස දහස් ගණින් වැඩි වෙනවා.
ඒ අතර ආණ්ඩුව අපේ සේවක අර්ථසාධකයෙන් අවුරුදු පතා ආදායම් බදුත් අය කර ගන්නවා. 2019 එහෙම අයකර ගත්ත ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 34.9 යි. ඊට අමතරව රුපියල තව බාල්දු වෙනවා. බඩු මිල වැඩි වෙනවා. ඒ ඔක්කොම ගත්තම සියයට 09 පොලියේ වටිනාකමක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මෙහෙම කෙළවෙනකම් බලා ඉන්න බැහැ කියලා.
ජනාධිපති පත් කරන තුන් දෙනයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමයි එක්ක මහ බැංකු අධිපති මුදල් මණ්ඩලය හැටියට ලක්ෂ 25 ක් සේවකයින් වෙනුවෙන් තීන්දු ගන්නේ මොන සදාචාරයකට අනුවද? මොන නීතියකට අනුවද? අර්ධසාධක පනතට අනුව භාරකාරත්වය කියන්නේ ඒ පස් දෙනා අයිතිකාරයින් කියන එක නෙවෙයි. අයිතිකාරයින් වෙන්නේ වැටුපෙන් සාමාජික මුදල් මාස් පතා ගෙවන ලක්ෂ 25 ක් වන සේවක අපි.
ඒ නිසා මහ බැංකු අධිපතිටත් මුදල් මණ්ඩලයේ අනෙක් අයටත් අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලෙන් අපටත් හොරා දීපු ණය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් දින 21 ක් නෙවෙයි, මාස 21 ක් ගියත් අප සමග සාකච්ඡා නොකර, නොගත යුතුයි කියලා. ප්‍රතිව්‍යුහගත කරන්න අකමැති වුනොත් සියයට 30 ක් බදු ගහනවා කිව්වට අපි මේ වෙලාවේ “හා එහෙනම් කමක් නැහැ” කියන්න සූදානම් නැහැ. අවුරුදු 12 ට කලින් ඒ කියන්නේ 2011 දී සේවක අර්ථසාධකය අපි බේර ගත්තේ මීට වැඩිය බලසම්පන්න ජනප්‍රිය ආණ්ඩුවක් ජනප්‍රිය ජනාධිපතිවරයෙක් දණ ගස්සලා. පාර්ලිමේන්තුවේ පළමු කියවීමත් අවසන් වුනු ඒ පනත එදා ඒ ආණ්ඩුව ඉල්ලා අස්කර ගත්තා.
අපි දන්නවා මිලියන 25 ක් එක්ක එකවර සාකච්ඡා කරන්න බැහැ කියලා. නමුත් අපේ වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා, ඒ එකඟතාවන් අපට ඉදිරිපත් කරන්න කියලා අපි මුදල් මණ්ඩලයට කියන්න ඕනේ. එතකොට අපි අපේ මහ සභාවල සාකච්ඡා කරලා ණය ප්‍රතිව්‍යුහගත කරනවාද නැද්ද, කරනවා නම් කොහොමද කළ යුත්තේ කියලා අවසන් තීන්දුව දෙන්න සූදානම් කියන්න ඕනේ. එහෙම තීන්දුවක් ගන්න ලැහැත්තිවුණේ නැත්නම් නගේ, මලේ, සේවක අර්ථ සාධක අරමුදල අයිති අපි හැමෝම එකතුවෙලා අපේ මුදල් රැකගන්න 2011 දි වගේ මෙදත් පවුරු බඳින්න සූදානම් වෙමු. ඒ සඳහා අත්වැල් බැඳගමු.
(නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පෞද්ගලික අංශයේ සේවකයින් දැනුවත් කිරීම සඳහා බෙදාහරින ලද පත්‍රිකාවකි.)