“පෞද්ගලික අංශයේ තත්ත්වය ඉතාම නරකයි“ - NLAC වහාම කැඳවන්න

“පෞද්ගලික අංශයේ තත්ත්වය ඉතාම නරකයි“ - NLAC වහාම කැඳවන්න

කෝවිඩ් -19 වසංගතය සහ සේවක රැකියා පිළිබදව කටයුතු කිරිමේ ත්‍රෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව වහා කැදවිමේ අවශ්‍යතාවය පැහැදිළි කරමින් ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙලද කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශී‍්‍ර ලංකා නාවිකයන්ගේ සංගමය, ලංකා වෙලද කාර්මික සහ පොදු කම්කරු සංගමය,එක්සත් කම්කරු සම්මේලනය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සැවොම දන්නා පරිදි කෝවිඞ්-19 වසංගතයේ තුන්වන රැල්ල රටපුරා සීඝුයෙන් පැතිරෙමින් පවතින අතර මේ වනවිට දිනකට හමුවන ආසාධිත සංඛ්‍යාව 2,700 ට අධික වන අතර, මුළු මරණ සංඛ්‍යාව 1,269 දක්වා වැඩි වි ඇත.

මෙම වසංගතය මෙලෙස සීඝ‍්‍ර ලෙස පැතිරිමේ ආසන්නම ක්ෂේත‍්‍රය බවට ඇඟළුම් කර්මාන්ත ක්ෂේත‍්‍රය පත්වි ඇති අතර ඇඟළුම් සේවකයින් අතරින් දෙවන මරණයද පසුගිය සතියේදි වාර්තා විය.

මේ වනවිට නිදහස් වෙළඳ කලාපවල සහ ඉන් පිටත ඇඟළුම් කර්මාන්ත ශාලා ගණනාවක් සිය ගණනින් වාර්තාවන සේවක ආසාදන හේතුවෙන් වසන්නට හේතුවී ඇති අතර, ඉන් බහුතරයක සේවක සේවිකාවන් දහස් ගණනක් නිරෝධායනයට යොමුකර ඇත. තවත් කර්මාන්ත ශාලා කීපයක්ම ප‍්‍රදේශවාසින්ගේ මැදිහත්විමෙන් වසා දමන ලද බවටද වාර්තා ඇත.

මෙහි වඩාත් බරපතල කාරණාව වන්නේ, කම්හල් කලමනාකාරිත්වය කෝවිඩ්-19 වසංගත තත්ත්වය ගැන නොසළකා සේවක සේවිකාවන් බලහත්කාරයෙන් සේවයේ යෙදවීමට කටයුතු කිරීමය. එය මැනවින් ප‍්‍රදර්ශනය වූයේ කොග්ගල එස්කුවෙල් කර්මාන්ත ශාලාවේ කලමනාකාරිත්වය ආසාදන සම්බන්ධව තොරතුරු ලබා නොදීම හා වසංගත පැතිරීම වළකා ලීමට පියවර නොගැනීම පිළිබඳව පසුගිය සතියේ ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත්වරිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නඩු පැවරීමත් සමගය.

මෙම කාර්ය සාධන කමිටුවෙහි තීරණ විමර්ශනය කිරිම සදහා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශන කමිටුව සතිපතා රැස්විමට තිරණය කළද එය 2021 මාර්තු මස 03 වන දිනයෙන් පසුව රැස්වී නැත

මේ තත්ත්වයන් හමුවේ ඔබගේ සභාපතිත්වයෙන් වන ත්‍රෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව වහා කැඳවන මෙන් ඉල්ලීම් කළද 2021 මාර්තු මස 03 වන දිනෙන් පසුව මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් එය නොකැඳවීම පිළිබඳව, එහි කි‍්‍රයාකාරී සාමාජික වෘත්තීය සමිතිය ලෙස අපගේ කණස්සල්ල මෙහි අපි සටහන් කරමු.

එළෙසින්ම පෞද්ගලික අංශයේ සහ වතු ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්ට බලපාන විශ‍්‍රාම වයස දීර්ඝ කිරිම, පඩිපාලක සභා ආඥා පනතේ අංක 59‘‘ඒ’’ වගන්තිය සංශෝධනය කිරිම අනුව එය කි‍්‍රයාත්මක කිරිම පිළිබඳ කරුණු කිහිපයක්ම සාකච්ඡා කළ යුතුව ඇතත් ඒවා සාකච්ඡා කිරිමට ඇති එකම සාකච්ඡා මණ්ඩපය වන ජාතික කම්කරු උපදේශක සභාවද පසුගිය මාර්තු මස 18 වන දිනෙන් පසුව දෙමසකට වැඩි කාලයක් කැඳවා නැත.

රට තුල පැන නැගී ඇති කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ එවැනි රැස්වීම් පැවැත් විය නොහැකි යැයි සමහර නිලධාරි මහතුන් තීන්දු කර ඇති බව පෙනි යන නමුත් මන්තී‍්‍රවරුන් 225 ක් සිටින පාර්ලිමේන්තු රැස්විම් සහ ඇමතිවරුන් 30 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අමාත්‍ය මණ්ඩල රැස්විම් පවත්වන තත්ත්වයක් හමුවේ කාර්ය සාධන කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභා නොකැඳවීමට හේතුවක් තිබිය හැකි යැයි පහත අත්සන් කරන ජාතික කම්කරු උපදේශක සභාවෙහි වෘත්තිය සමිති නියෝජිතයින් ලෙස අපි නොපිළිගන්නා බව මෙයින් දන්වා සිටින්නෙමු

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට ඇති එකම අමාත්‍යාංශය වන කම්කරු අමාත්‍යාංශය සහ එකම දෙපාර්තමේන්තුව වන කම්කරු දෙපාර්තමේන්තුව මෙලෙස අකර්මන්‍ය තත්වයට පත් කිරිම ගැන අපගේ බලවත් අප‍්‍රසාදය මින් පල කරමු. ඒ සමග, මෙම ලිපිය ලැබි දින 07 ක් ඇතුළත ඉහත සඳහන් ත්‍රෛපාර්ශවිය කාර්ය සාධන කමිටුව සහ ජාතික කම්කරු උපදේශන සභාව කැදවිමටත් කටයුතු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින අතර, එසේ නොකැඳ වන්නේ නම් වගකිව යුතු වෘත්තිය සමිති ලෙස අපට මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ස්වාධිනව තීන්දු ගෙන කටයුතු කිරිමට සිදුවන බවද මින් දන්වා සිටින්නෙමු