පුද්ගලික දත්ත ආරක්ෂාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය : යෝජිත පුද්ගලික දත්ත ආරක්ෂා පනත පිළිබඳ TISL ආයතනයේ නිර්දේශ
පුද්ගලික දත්ත සුරක්‍ෂිත කිරීම, තොරතුරු වල රහස්‍ය භාවය පවත්වා ගැනීම සහ පුද්ගලික තොරතුරු සඳහා වගවීම තහවුරු කිරීම වෙනුවෙන් සම්පාදිත පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පතෙහි සාර්ථක ක්‍රියාකාරීත්වයක් සඳහා වන ප්‍රධාන නිර්දේශයන් 5 ක් වෙත නීති සම්පාදක කමිටුවේ අවධානය යොමු කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද, තොරතුරු, පුරවැසියන්ට සවියක් මෙන්ම අවියක් ද වෙමින් පවතින පසුබිමක, පෞද්ගලික තොරතුරු වල සුරක්ෂිතභාවය සඳහා නීතිමය රාමුවක් නිර්මාණය වීම මානව අයිතිවාසිකම් ජයග්‍රහණයේ වැදගත් සංධිස්ථානයක් වනු නොඅනුමානයි.
පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට සහ ඒවා වගවීමෙන් යුතුව පවත්වාගෙන යෑමේ න්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගැනීම පිළිබඳව අදාළ පාර්ශවයන්ට සිය කෘතඥතාවය පල කරන අතරම, මෙම පනත සඳහා වඩාත් ඵලදායී වූ නීතිමය බලාත්මක වීමක් උදෙසා සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු 5 ක් TISL ආයතනය නිර්දේශ කර සිටී.
- පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේ නීතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය අභිබවා යෑම සහ එම නීතීන් දෙක අතර ගැටීමක් ඇතිවීම වැළක්වීම උදෙසා ව්‍යතිරේඛයක් ඇතුළත් කිරීම.
- පනතේ මූලික පරමාර්ථය තහවුරු වීම උදෙසා, ස්වාධීන දත්ත සුරක්ෂිත කිරීමේ අධිකාරියක් පිහිටුවීම
- පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේ පනතේ එන "පුද්ගලික දත්ත" යන්නෙහි නිර්වචනය කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුකූල කිරීම. මේ මඟින් කිසියම් පෞද්ගලික තොරතුරක් තොරතුරු දැනගැනීමේ පනත හරහා ලබා ගැනීමේදී එය පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේ නීතිය සමඟ ගැටීමට ඇති ඉඩ කඩ අවම කරනු ඇත.
- මූල්‍යමය තොරතුරු සහ අපරාධ වැරදි, අපරාධ නඩු සහ අධිකරණයෙන් වැරදිකරුවන් වීම යන තොරතුරු, “පුද්ගලික දත්ත සුවිශේෂී වර්ගීකරණයෙන්” ඉවත් කිරීම. මේ හරහා දුෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් අපරාධ සම්බන්ධ තොරතුරු වලට ප්‍රවේශ වීමට පුරවැසියාට ඇති හැකියාව සුරැකෙනු ඇත.
- පුද්ගලික දත්ත ආරක්ෂණ වැඩපිළිවෙල තුළ "ජනමාධ්‍යවේදී අරමුණු" වෙනුවෙන් වෙන් වූ කොන්දේසියක් ඇතුලත් කිරීම. ජනමාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගැනීමේ මාර්ගයන් අනවශ්‍ය ආකාරයෙන් අවහිර නොවන බවට මෙම නිර්දේශය මඟින් සහතික කරනු ඇත.
TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ නදීෂානි පෙරේරා මහත්මිය, පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනතට ඉහත නිර්දේශයන් ඇතුළත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙසේ පවසා සිටී: “පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත හරහා තොරතුරු දැනගැනීමේ අයිතියෙහි යම් වාරණයක් සිදු වුවහොත්, මෙම නීතී දෙක පිළිබඳවම ජනතාව තුළ ඇති විශ්වාසය පලුදු වීමේ ඉඩකඩක් ඇති අතර එම නීති ක්‍රියාත්මක කරන ආයතන අතරද ව්‍යාකූලත්වයක් ඇති වීමේ අවධානමක් පවතී. එහෙයින් මෙම පනත් දෙකෙහිම අරමුණු සාක්ෂාත් කරගත හැකි පරිදි යෝජිත නීතිය සංශෝධනය වීම අතිශයින් වැදගත් වේ."
ඉහත සඳහන් නිර්දේශයන් මඟින් TISL ආයතනය විසින් අවධාරණය කරනු ලබන්නේ පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේ නීතිමය රාමුවට මුවා වී පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමා වීමට ඇති අවකාශයන් අවහිර කර දැමීමේ වැදගත්කමයි.
එමෙන්ම, මෙම පනත හරහා අදාළ නීතිය සාර්ථකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය වන අනෙක්තීරණාත්මක සාධකය නම්, දේශපාලනික බලපෑම් වලින් තොරව පුරවැසියාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි පුද්ගලික දත්ත සුරක්ෂිත කිරීමේ ස්වාධීන ආයතනයක් මේ හරහා පිහිටුවා ගැනීමයි.
TISL ආයතනය විසින් සම්පාදනය කරන ලද මෙම නීති සමාලෝචන වාර්තාව නීති සම්පාදක කමිටුවේ අවධානය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තුමේන්තුවේ දිල්රුක්‍ෂි සමරවීර මහත්මියට සහ පුද්ගලික දත්ත සුරක්‍ෂිත කිරීම පනත් කෙටුම්පත් සම්පාදක කමිටුවේ ප්‍රධානී ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත යවන ලදී.
පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත සම්පාදනය කිරීමට මුලාරම්භයසිදු කරනු ලැබුවේ 2018 වර්ෂයේ වන අතර නීති සම්පාදක කමිටුවක් විසින් සම්පාදනය කරනු ලැබූ කෙටුම්පත, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තුමේන්තුව විසින් 2019 දෙසැම්බර් මස දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.2020 ජනවාරි මසදී එයට කැබිනට් අනුමැතිය ලැබිණි.අවසාන වශයෙන් පුද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්‍ෂණයට යොමු කරනු ලදුව, පනත් සම්පාදක කමිටුව විසින් නීතිපතිවරයාගේ ප්‍රතිචාරයන්ද ඇතුළත් කරමින් කෙටුම්පත් ක්‍රියාවලිය 2020 ඔක්තෝම්බර් මසදී අවසන්කරන ලදී.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් තුළ තොරතුරු වලට ප්‍රවේශ වීමේ අයිතිය මෙන්ම සිය පෞද්ගලික තොරතුරු වලට ආරක්‍ෂාවක් ලැබීමද පුරවැසියාගේ අයිතිවාසිකමකි. එබැවින් අදාළ නීති කෙටුම්පත් සැකසීමේදී සියලු පුරවැසි අයිතීන් අතර නීතිමය ගැටුම් ඇති නොවන බවට සහතික වන මෙන් TISL ආයතනය නීති සම්පාදක අධිකාරීන්ගෙන් ඉල්ලා සිටී.