TISL ආයතනය විසින් පෞද්ගලික අංශයේ ඇති දූෂණ අවදානම පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළි දක්වයි

tisl-sri-lanka-curruption-report

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සිදුවිය හැකි දූෂණය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සහ එම තත්ත්වයන් අවම කිරීමට ගත හැකි පියවර යෝජනා කරමින් ‘Corruption Risk Mapping Research: A Study on Sri Lanka’s Private Sector’ යන වාර්තාව  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ඊයේ (දෙසැම්බර් 12) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදක්වන ලදී. ස්වාධීන පර්යේෂකයෙකු හරහා සම්පාදනය කර ඇති මෙම වාර්තාව පුද්ගලික අංශයේ දූෂණ චෝදනා සහ අත්දැකීම් උදාහරණ සහිතව විස්තර කරන අතර මෙවැනි වාර්තාවක් ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කෙරෙන ප්‍රථම වතාවද මෙය විය හැක.

ජනතාව දූෂණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ පමණක් ඇති ගැටලුවක් ලෙස දකිනු ලබයි. නමුත්, මෙම පර්යේෂණයෙන් පෙන්නුම් කරන්නේ පුද්ගලික අංශය බොහෝ විට දූෂණයේ “සැපයුම්කාර පාර්ශවය” ලෙස ක්‍රියා කරන බවයි. රජයේ දෙපාර්තමේන්තු වලින් අදාළ අනුමැතියන් සහ බලපත්‍ර ලබා ගැනීම සඳහා කටයුතු කිරීමේදී දූෂණ ක්‍රියා වලට යොමු වීමේ ඉහළ අවදානමක් ඇති බව මෙම වාර්තාව මගින් විස්තර කෙරෙන දූෂණ චෝදනාවලින් පෙන්නුම් කෙරේ. ඖෂධ සැපයීම සහ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වැනි රජයේ කොන්ත්‍රාත්තු සඳහා ලංසු තැබීමේදී සිදුවූ බවට චෝදනා නැගෙන දූෂණ ක්‍රියාවන් පිළිබඳව ද එම වාර්තාවේ සඳහන් වේ.

පුද්ගලික අංශයේ ආයතන අතර පවතින දූෂණය සම්බන්ධයෙන් වාර්තාවේ දැක්වෙන චෝදනා අතර විවිධ වාසි ලබා ගැනීම වෙනුවෙන් අයථා ගෙවීම් සිදු කිරීම, අල්ලස් සහ අනුග්‍රහයන් ලබා දීම, වංචාවන්, ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනිසි ලෙස හැසිරවීම, බැඳියාවන් අතර ගැටුම්, ඥාති සංග්‍රහය සහ විශේෂිත කොට සැලකීම ආදිය ඇතුළත් වේ. පෞද්ගලික අංශයේ ආයතන මගින් දේශපාලන බලපෑම් සිදු කිරීම සහ ඒකාධිකාරයන් නිර්මාණය කර වෙළඳපොළ අනිසි ලෙස හැසිරවීම ආදිය සම්බන්ධයෙන් වූ චෝදනා ද මෙම වාර්තාවේ හෙළි කර ඇත. දූෂණයේ ස්වභාවය කෙරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය ද බලපාන බව මෙම පර්යේෂණයෙන් තවදුරටත් අනාවරණය විය. රැකියාවක් හෝ උසස්වීමක් ලබා ගැනීමේදී මෙන්ම සේවාවක් සැපයීමේදී ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ වැඩි අවදානමකට කාන්තාවන් ලක් වන බව පර්යේෂණය සඳහා අදහස් ලබා දුන් අයගේ චෝදනාව විය.

ලැයිස්තුගත සමාගම් දැඩි ලෙස නියාමනය වන නමුත්, ඒවායේ ලැයිස්තුගත නොකළ අනුබද්ධිත සමාගම් ඒ ආකාරයේ නියාමනයකට ලක් නොවේ. මේ නිසා මව් සමාගමට තමන්ගේ දූෂණ ක්‍රියාවන් අනුබද්ධිත හෝ උප අනුබද්ධ සමාගම් හරහා සැඟවීමට හැකියාව ලැබේ. ප්‍රබල නියාමකයෙකු නොමැතිකම, දුර්වල අභ්‍යන්තර පාලනයන් සහ නිතර සිදු කරන මූල්‍ය හා සමාජ විගණන නොමැතිකම ආදිය පුද්ගලික අංශයේ දූෂණයට තුඩු දෙන අවදානම් සාධක ලෙස වාර්තාව හඳුනා ගනී. ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නොමැති වීම හේතුවෙන් වෙළෙඳ පොළට අවතීර්ණ වන නවකයින් සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා බොහෝ විට දූෂණයට යොමු වන බව ද එමගින් පෙන්වා දෙයි.

අකටයුතු නාදකයින්ට (whistle-blowers) ආරක්ෂාව සපයන ශක්තිමත් අල්ලස් සහ දූෂණ විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙසත්, දූෂණය අවම කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙම වාර්තාව මගින් පුද්ගලික අංශයට යෝජනා කරයි. ශක්තිමත් නියාමන ආයතන පිහිටුවීම, ඩිජිටල්කරණය සහ ප්‍රසම්පාදන පිළිවෙත් වැඩි දියුණු කිරීම හරහා පුද්ගලික අංශයේ දූෂණය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස එමගින් රජයට යෝජනා කර ඇත.

වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට “Beyond Compliance: True Business Integrity in a Box-Ticking World” යන තේමාවෙන් පැවැත්වූ විද්වත් සාකච්ඡාවක් ඇතුළත් විය. ප්‍රමුඛ පෙළේ පුද්ගලික ආයතන කීපයක ස්වාධීන සහ විධායක නොවන අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරන ඇව්‍රෙල් ලුඩ්වික් සහ කාගීල්ස් සිලෝන් සමාගමේ ආයතනික නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී රුක්ෂානි වනිගසේකර මෙම සාකච්ඡා මණ්ඩපය සඳහා සහභාගී විය. USAID ආයතනය අනුග්‍රහය දක්වන විනිවිද පෙනෙන සහ වගවීමක් සහිත පාලනය පිළිබඳ ව්‍යාපෘතියේ ප්‍රධානී ගෞතමන් බාලචන්ද්‍රන් විසින් එම සාකච්ඡාව මෙහෙයවන ලදී.