සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවය කොවිඩ් මර්ධනයට බාධාවක් (VIDEO)

https://youtu.be/pDxXqsHcugU

අද වෙනකොට මිනිස්සුන්ට පරීක්ෂණ පිපාසාවක් ඇති කරලා. සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබෙන ධාරිතාවෙන් පරීක්ෂණ කිරීමට පවා අවශ්‍යතාවයක් නොමැති අකාර්යක්ෂම බවක් පවත්වා ගන්නා අතරම, ජනතාවට තමන්ගේ පරීක්ෂණය තමන්ගේ වියදමින් සිදු කර ගැනීමටද නොහැකිවන අයුරින් ඊනියා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් පවතී.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුල මෙවන් මාර්ගෝපදේශ නිර්මාණය කරන්නේ ඒවාට සහභාගි කර ගන්නා ඊනියා විශේෂඥයින්ගේ පෞද්ගලික අවශ්‍යතාවය ඉටු කිරීමට මිස වසංගතය පාලනය කිරීමට නොවේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය තීරණ ගැනීමේදී එක් වෘත්තීය සමිතියකට හා තෝරාදුන් වෛද්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුගේ අතකොලුවක් වීම හේතුවෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට බහුතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සහයෝගය නොලැබී ඇති අතර, ඊට ජනාධිපති කාර්ය සාධක බලකායද වගකිව යුතුයි.

මෙම තත්වය වහා වෙනස් කර සෞඛ්‍ය සේවාවේ සහයෝගය ලැබෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කිරීම නව සෞඛ්‍ය ඇමතිවරයාගේ වගකීමකි.

සෞඛ්‍ය සේවාව කාර්‍යසාධන බලකායට යට නොකොට, සෞඛ්‍ය තීරණ ගැනීම, සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ගැනීමේ පෞරුෂයක් සෞඛ්‍ය ඇමති වරයාට තිබිය යුතුය.

ඇතැම් දේශපාලකයින් පඩි කැපීමේ යෝජනාව ලොක් ඩවුන් කිරීමට එරෙහිව සිදුකරන තර්ජනයක් ලෙස සිදු කරමින් පැවතීම, ලොක් ඩවුන් කිරීමේ සැබෑ අවශ්‍යතාවය පිළිබද ජනතා විශ්වාසය පළුදු කිරීමට හේතුවී ඇත. එමගින් ලොක් ඩවුන් කිරීමට අදාල ආණ්ඩුවේ අකමැත්ත ප්‍රසිද්දියට පත්ව ඇති අතර සමහර දේශපාලකයින් ගේ වාචාල බව, රට තුල විද්‍යාත්මක වසංගත පාලනයකට මහ ජනතාව ඒකරාශී කර ගැනීමට බාධාවකි.

එමෙන්ම ඇති හැකි ජනතාවගේ පාර්ශවයෙන් රජයට යම් සහහනයක් අවශ්‍ය වන්නේනම්, එය ලබා ගන්නා ක්‍රමය වන්නේද, රූපවාහීනී කැමරා ඉදිරියේ තර්ජනය කිරීම නොවන බවද ඔවුන් වටහා ගත යුතුය. ඒ සදහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සමග විධිමත් සාකච්ඡාවක් ඇරඹීම මෙන්ම වසංගත පාලනය සදහා මීට වඩා වැඩි විශ්වාසයකින් ජනතා සංවිධාන සහභාගී කරවා ගැනීම සදහා පියවර ගත යුතුය. කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකාය පත්කිරීමේ සිට දේශපාලන පක්ෂග්‍රාහීත්වය පමණක් සලකා බැලීම හේතුවෙන් සෞඛ්‍ය සේවයේ බහුතර වෘත්තිකයින්ගේ, වෘත්තීයවේදී සංගම් සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඊට නොලැබී යෑම, වසංගතය පිළිබද වැරදි තොරතුරු ලැබීමට සහ වැරදි තීරණ ගැනීමට හේතු වී ඇති බව රජයේ අවධානයට ලක් විය යුතුය.

සෞඛ්‍ය ආමාත්‍යාශයේ ප්‍රතිපත්ති තීරණ ගැනීම පවා තෝරාගත් එක්තරා කණඩායමකට පමණක් සීමා වී ඇති අතර, සෞඛ්‍ය ලේකම් වරයාගේ "MBBS" මේනියාව මීට බරපතල ලෙස බලපා ඇත.

ඒනිසාම සෞඛ්‍ය ඇමතිවරයාට ඉහලින් ලේකම්වරයා හෝ වෙනත් වෘත්තීය සමිති, කල්ලිවාදී විශේෂඥයින් විසින් වැඩ කිරීමේ ක්‍රමය අහෝසි කර, සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයා කේන්ද්‍ර කර ගනිමින් සිදු විය යුතුයි. කාර්‍යසාධන බලකාය කල්ලියක් සමග එක්වී සෞඛ්‍ය සේවාව පිළිබද තීරණ ගැනීම වෙනුවට, සෞඛ්‍ය සේවාවේ විද්‍යාත්මක තීරණ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා ප්‍රමුඛව ජනධිපතිවරයාට හෝ රජය වෙත ඉදිරිපත් කෙරන ක්‍රමවේදයක් වහා ස්ථාපිත විය යුතුය.

කෙසේ නමුත් එවන් සාමූහික ක්‍රියාවලියක් ඇති නොකොට, පඩි කැපීම තර්ජනයක් හෝ විහිළුවක් බවට පත් කිරීම මගින් "ඇත්ත කොටියා කන විට" කිසිදු සහයෝගයක් වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම් හා සිවිල් සංවිධාන ආදියෙන් නොලැබී යන තත්වයකට පත්වීම නොවැලැක්විය හැකි බවද අපි යලි යලිත් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරමු.

රවී කුමුදේශ්, කැදවුම්කරු, ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය