ලිපියේ පසුබිම:
මේ දිනවල මහ බැංකුවේ අධික වැටුප් ඉහළ දැමීමක් පිළිබඳ ව සමාජ පවතී. විරුද්ධ පක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී දැක්වූයේ 70% ක පමණ ඉහළ වැටුප් වර්ධනයක් දී ඇති බව යි. ඊට ප්‍රතිචාර ලෙස රජය දැක්වූයේ මහ බැංකුව විසින් ආර්ථිකයට විශේෂඥ කාර්යයක් සිදු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය ආර්ථික විශේෂඥයන් රඳවා ගැනීම සඳහා ලෝකයේ අනෙක් රටවල මෙන් එවැනි ඉහළ වැටුප් තලයක් අවශ්‍ය බවත්, මෙම අවස්ථාවේ වැටුප් එසේ ඉහළ නොදමා එසේ සේවය කළ හැකි නම් හොඳ බවත් ය.
ඊට විරුද්ධ පක්ෂයේ ප්‍රතිචාරය වූයේ, දැනට ආර්ථිකය බංකොලොත් කරපු මහ බැංකු නිලධාරීන්ගේ විශේෂඥතාවය කුමක් ද? සහ අනෙක් සියළු දෙනාට පටි තද කර ගන්නා ලෙස උපදෙස් දෙන මහ බැංකුව විසින් තම වැටුප් මෙතරම් ඉහළ දැමීමේ පදනම කුමක් ද? යන්න ය.
මෙහි දී, මගේ මතකයට නැගෙන්නේ, මෑත දී ඇමෙරිකාවේ ප්‍රධාන පරීක්ෂක වරයාගේ (Inspector General) කාර්යසාධනය පරික්ෂා කිරීම සඳහා සෙනට් සභාවට කැඳවා ප්‍රශ්න කිරීම යි. එහි දී, සෙනට් සභිකයකු විසින් ඇසූ ප්‍රශ්නයක් වූයේ, මහ බැංකු ඉලක්කයට වඩා උද්ධමනය ඉහළ යන විට, එය තාවකාලික එකක් බවට ප්‍රකාශ කිරීම සඳහා මහ බැංකු නිලධාරීන්ට ප්‍රසාද දීමනා/බෝනස් ගෙවීමේ පදනමක් පවතී ද? යන්න යි. ඊට ප්‍රධාන පරීක්ෂක වරයාගේ පැහැදිලි කිරීම වූයේ, මේ දක්වා මහ බැංකුවේ කාර්යසාධනය පිළිබඳ ව ඇගයීමක් සිදු නොකළ අතර එය සිදු කිරීමට තමන්ට අධිකාරියක් ඇති බැවින්, ඉදිරි පරීක්ෂණවල දී මහ බැංකුව ද ආවරණය කරන බව යි. මෙම ප්‍රධාන පරීක්ෂක වරයාට ඇමෙරිකාවේ ජනාධිපතු ඇතුළු සියළුම රාජ්‍ය ආයතනවල වාර්තා වන අක්‍රමිකතාවන්, අකාර්යක්ෂමතාවන් සහ මහජන මැසිවිලි පරික්ෂා කිරීමේ ස්වාධීන නෛතික අධිකාරියක් පවතී. ඒ අනුව, සෑම ෆෙඩරල් සහ ප්‍රාන්ත රාජ්‍ය ආයතනවල ප්‍රධාන පරීක්ෂකවරයෙක් සිටී.
එහෙත්, ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය සිතන්නේ, මහ බැංකුව විසින් නිරන්තරයෙන් කිසිවෙකුට නොතේරෙන ප්‍රකාශනයන්, පුවත් නිවේදනයන් සහ මාධ්‍ය සාකච්ඡාවන් නිකුත් කරන බැවින්, මහ බැංකුව විසින් ප්‍රශ්න කළ නොහැකි විශේෂඥ කාර්යයක් ආර්ථිකයට ඉටු කරන බව යි. මහ බැංකුවල සියළු වියදම් පරිඝණක සටහන් හරහා නව මුදල් මුද්‍රණය තුළින් සිදු කෙරෙන බව ද මොවුන් නොදනී.
මෙම ලිපියේ අරමුණ...
එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ, දැනට විවිධාකාර මතුපිට දේශපාලනික විග්‍රහයන් කෙරෙන ආර්ථිකයේ බංකොලොත් භාවයට මහ බැංකුවේ ඇති වගකීම කෙටියෙන් ඉදිරිපත් කිරීම යි. රටේ සාර්ව ආර්ථික කළමනාකරණය තුළ මහ බැංකුවේ වගකීම සහ කාර්යභාරය දෙස බලන විට, මෙම ආර්ථික බංකොලොත් භාවයේ චෝදනාව දේශපාලනික රජයන්ට සහ අයවැයට පවරා ඉන් මිදීමට හෝ අත සෝදා ගැනීමට මහ බැංකු නිලධාරීන්ට හැකියාවක් නොමැත.
මෙම බංකොලොත් භාවය යනු හුදෙක් 2020 වර්ෂයේ සිට ආර්ථිකය මුහුණ දෙන රාජ්‍ය විදේශ ණය සහ විදේශ මුදල් අර්බුදය යි. රාජ්‍ය විදේශ ණය (සමස්ත රාජ්‍ය ණය ද ඇතුළුව) කළමනාකරණය සහ විදේශ මුදල් කළමනාකරණය යන දෙකම මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම් දෙකක් වන බැවින් මෙම බංකොලොත් භාවයට මහ බැංකුව සහ අදාළ නිලධාරීන් වගකිව යුතුය. එය සනාථ කිරීමට මහ බැංකු ආර්ථික පර්යේෂණයන් අවශ්‍ය නොවේ. ඒ සඳහා හුදෙක් මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් කියවා, පොදුජනයා මුහුණ දෙන උග්‍ර ජීවන ගැටළු පමණක් දෙස බැලීම පමණක් ප්‍රමාණවත් ය.
මෙම ලිපිය මගින් මෙම ආර්ථික බංකොලොත් භාවයේ සැබෑ මහ බැංකු මූලය බිම් වගුවක් සහ සංඛ්‍ය රුපසටහන් 06 ක් තුළින් ඉතා කෙටියෙන් ඉදිරිපත් කොට, එය නිරාකරණය කිරීමට IMF ණය වැඩසටහනට නොහැකි බවට ස්වාධීන මතයක් ඉදිරිපත් කෙරේ. (මීට පෙර ලිපිය මෙතනින් කියවන්න)
බංකොලොත් මූලයේ බිම් වගුව
පහත දැක්වෙන බිම් වගුවෙන් පෙන්වන පරිදි මෙම බංකොලොත් භාවයට හේතුව මහ බැංකුවේ විදේශ මුදල් බංකොලොත් භාවය සහ දුර්වල රාජ්‍ය ණය කළමනාකරණය යි.
මෙම කථාන්දරයේ හරය වන්නේ, මෙම බංකොලොත් වීමට හේතුව ආර්ථිකය රාජ්‍ය විදේශ ණය හරහා දැඩි අවදානම්කාරී ලෙස ඩොලර්කරණය වීම යි.
ස්වෛරිත්ව රාජ්‍ය මුදල් ක්‍රියාත්මක වන රටවල රජයන්ට දේශීය මුදල් ණය මැවීම හරහා අයවැය හිඟය පියවීම කළ හැකිය. එබැවින්, මහ බැංකුවේ වගකීමක් වන විනිමය අනුපාතය සහ විදේශ ගෙවුම් ශේෂය කළමනාකරණය සඳහා රාජ්‍ය විදේශ ණය ලබා ගැනීමේ ආර්ථික විද්‍යා පදනමක් නැත.

| chartබංකොලොත් මූලයේ රුපසටහන් දැක්ම
ඉහත බිම් වගුවෙන් ඉදිරිපත් කළ බංකොලොත් වීමේ කථාන්දරය සංඛ්‍යාවන්ගෙන් තහවුරු කෙරෙන ආකාරය පහත දැක්වෙන රූප සටහන් 06 න් දැක්වෙයි.

jspoeteමෙම බංකොලොත් වීමට ප්‍රධාන මූලය ලෙස සමහරු නිර්දය ලෙස විවේචනය කරන්නේ 1977 සිට අනුගමනය කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යි. එය පදනම් විරහිතය ය. ඊට ප්‍රධාන හේතු දෙකකි.
එබැවින්, 1980 ට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පහළ මට්ටමක පැවතීම යහපත් ලක්ෂණයක් නොව ආර්ථිකයේ ප්‍රාථමික හෝ නොදියුණු ලක්ෂණයකි.
එබැවින්, මෙම විග්‍රහය පදනම් වන්නේ 1980 ගණන්වල සිට ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව විසින් අනුගමනය කළ සාර්ව ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවය හෙවත් රාජ්‍ය විදේශ ණය මගින් ආර්ථිකය අනවශ්‍ය ලෙස ඩොලර්කරණය කිරීම හේතු කොට මෙම බංකොලොත් භාවය හට ගැනීමේ මූලය ඉදිරිපත් කිරීම යි.
උදාහරණ ලෙස රුපසටහන 06 න් පෙන්වන පරිදි 1950 සිට මූර්ත ණය ප්‍රසාරණය (පාරිභෝගික මිල මට්ටමේ ප්‍රසාරණය ඉවත් කිරීමෙන් පසු ණය ප්‍රසාරණය) නාමික/මූල්‍ය ණය ප්‍රසාරණයට සාපේක්ෂව මඳ වේගයකින් සිදු ව ඇත. එනම්, 1950 සිට 2022 දක්වා කාලය තුළ, නාමික ණය තොගය 42,036 ගුණයකින් ඉහළ ගිය ද, මූර්ත ණය තොගය ඉහළ ගොස් ඇත්තේ 285 ගුණයකින් පමණි.
ඒ අනුව, බංකොලොත් භාවයට මූල හේතුව, 2020-22 කාලය තුළ නව ණය ගැනීමට නොහැකි වීමෙන් මහ බැංකු සංචිතය කඩා වැටීම යි. එබැවින්, මීට මහ බැංකුව වගකිව යුත්තේ, 1950 සිට රාජ්‍ය ණය කළමනාකරණයත්, විදේශ සංචිත කළමනාකරණයත්, මූල්‍ය ප්‍රතිපත්තියත් යන තුනම මහ බැංකුව විසින් සිදු කිරීම යි. එබැවින්, රාජ්‍ය සහ ආර්ථික බංකොලොත් භාවයට හේතුව රාජ්‍ය අයවැය නොව, මහ බැංකුවේ විදේශ මුදල් බංකොලොත් භාවය යි.
ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට රජයට හැකි ද?
(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනය හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)

| පි. සමරසිරි
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]
හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 12 ක කතෘ)
(economydiscovery – the leader)
