ස්ත්‍රී කාරකශක්තිය තියෙන්නෙ සාරියක් ඇතුළෙද?

ස්ත්‍රී කාරකශක්තිය තියෙන්නෙ සාරියක් ඇතුළෙද?

මේ දවස්වල ටික ලොකු වැඩක් නිසා  එකතු වෙන අලුත් පොත් කියවන්නත්, ඒවා ගැන ලියන්නත් මට වෙලාව නෑ.  කියවන දේවල් අපි පන්තිවල සාකච්ඡාවට ගන්නවා.

ඊයේ පෙරේදා කේබුක්ස් ගිය වෙලාවක ලක්මාලි හේවාවසම්ගෙ හැඟුම් මුහුලස ලිහුණි පොත ගත්තා. ඒකෙ කවි තුනක් මේ දවස්වල දේශන සාකච්ඡාවලට ගත්තා. මේ සටහන ලිව්වෙ අපේ ශිෂ්‍යශිෂ්‍යාවන් වෙනුවෙන්. කැමති අනික් අයත් බලන්න. දැනටමත් මේවා දන්න අය තරහ වෙන්න එපා.

අපේ සාහිත්‍ය න්‍යාය පාඨමාලාවක අපි ෆ්‍රොයිඩ්ගේ සිවිලිසේෂන් ඇන්ඩ් ඉට්ස් ඩිස්කොන්ටෙන්ට්ස් පොත සැකෙවින් සාකච්ඡා කළා. ශිෂ්ටාචාරය සහ එහි අසන්තෘප්තතා කියා එය පරිවර්තනය කරන්න පුළුවන්. ඒක කවුරුත් දන්න පොඩි පොතක්.

මනුෂ්‍ය ආශා, ආශයන් ආදිය මර්දනය කිරීම නමැති සංකල්පය පදනම් කරගෙන තමයි මුළු පොතම ගොඩ නැගෙන්නෙ. ඒ මර්දනය නිසා තමයි ශිෂ්ටාචාරය ගොඩ නැගෙන්නෙ කියන එක තමයි සරලව කිව්වොත් ඔහු කියන්නෙ. තමන්ම හදාගත්ත ශිෂ්ටාචාරයෙ තමන්ම හිරවෙන තැනට මනුෂ්‍යයා පත්වෙන බව ඔහු කියනවා. හැබැයි ඉතින් ශිෂ්ටාචාරය කියන්නෙ නරක හිර ගෙයක් කියලම ඔහු කියන්නෙ නෑ. අනික ශිෂ්ටාචාරය මනුෂ්‍ය ප්‍රීතිය වෙනුවෙන් සකස් කරන හැටි ගැනත් ඔහු කතා කරනවා. මේ වැකිය බලන්නකො:

"Civilization has traded in a portion of his chances for happiness for a certain measure of security."

දළ අදහස මේකයි: මනුෂ්‍යයාට තමන්ගෙ ප්‍රීතියෙන් කොටසක් ශිෂ්ටාචාරය නිසා ලැබෙන ආරක්ෂාව වෙනුවෙන් හුවමාරු කරගන්න වෙනවා කියන එකයි අදහස. සතුටෙන් ටිකක් අතර ඇරල ආරක්ෂාව ටිකක් ගන්නවා.

අර යථාර්ථ මූල ධර්ම සහ ප්‍රීතියේ මූලධර්මවලට මේක සම්බන්ධයි.

මේ පොත ඔහු ලිව්වෙ පළමු ලෝක යුද්දෙයි දෙවෙනි එකයි අතරෙ. බටහිර ශිෂ්ටාචාරය කියන දේ ගැන ඉතාම අශුභවාදී විදියටයි ඔහු බලන්නෙ. මනුෂ්‍යයන්ගේ නෛසර්ගික ආක්‍රමණශීලිත්වය තාක්ෂණය හා විද්‍යාව එක්ක එකතු වුණාම එකිනෙකා සමග යුද වදින්නත්, එකිනෙකා මිහිමතින් අතුගා දමන්නත් පුළුවන් කියල ඔහු කියනවා.

මේක නම් අපිට නිතර මතක් වෙන කොටසක්.

අපි ලක්මාලිගෙ කවි තුනක් සාකච්ඡාවට ගත්තා. එකක් සාකච්ඡා කරද්දි ෆ්‍රොයිඩ්ගෙන් උකහා ගත්ත වැකිය මේකයි:

"The demand for a uniform sexual life for all ... disregards all the disparities, innate and acquired, in the sexual constitution of human beings."

දළ අදහස මේකයි:  "සියලු දෙනාගෙන් ඒකආකෘතික (එකම ස්වරූපයේ) ලිංගික ජීවිතයක් ඉල්ලා සිටීම නිසා මනුෂ්‍යයන්ගේ ලිංගික සැකැස්මේ තියෙන නෛසර්ගික වූද පසුව අත්පත් කරගත්තා වූද සියලු අසමානතා නොසලකා හරිනවා."

මේක ඇත්ත. අපි සියලු දෙනාට එකම ආකාරයේ ලිංගික ජීවිත ලබා දීම තමයි ශිෂ්ටාචාරය කරල තියෙන්නෙ. ඒ ඒ සංස්කෘති ඒවට තව තව ඒකාකෘතික ස්වරූප දෙනවා. ඒ කියන්නෙ එකම නිල ඇඳුමකට හැමෝම බස්සනව වගේ වැඩක්. විෂම ලිංගික විවාහය. න්‍යෂ්ටික පවුල වගේ දේවල තමයි ඒ නිල ඇඳුම්. ඒවගේම සෑම දෙනාම ලිංගික ජීවිතය ආරම්භ කරන්න ඕනෙ මෙන්න මේ වගේ වයසෙදි කියන එකත් ඒ වගේ දෙයක්. නොයෙක් නෛසර්ගික හෝ උකහාගත් හේතු නිසා ඒක කාටවත් ටක්කෙටම කියන්න බෑ.

අපි පන්තියෙදි කළේ ෆ්‍රොයිඩ්ගෙ මේ අදහස හුදෙක් ලිංගිකත්වය විතරක් නෙමේ සම්මත ආකෘතික ජීවිතය පොදුවේ වටහාගන්න භාවිත කරපු එක. ඒකට උදව්වක් වුණා හේවාවසම් මහත්මියගෙ කවිය.

සාරි සහ ඔසරි

එක් දරු

දෙරු

තුන් දරු ද කිව හැකි

නොලද දරු බඩවත

සැණෙන් හඳුනා ගත හැකි

සිටියි ද මෙහෙකාරියක් නිවසේ

උදව්වට

ඉවුම්පිහුමට

සාරි පොට කටුව

ගසා ගත්තේ තනියෙන්ද?

සහයෙන්ද?

අඟලේ ෆ්ලීට් තබා කැන්ඩියන් හැඳගෙන

පොට පොඩි නොවෙන්නට හොඳින් මැද ඇඳගෙන

අඩි උස් සපත්තුව ලේසි බව පෙන්නගෙන

සුරුවම් කතුන් ඇත පෝළිමේ කුලගෙට

දුම නොගැසුවත් ගෑස් ලිප්වල තැම්බෙන

පොට නමාගෙන දුව දුවා බත් ඔතාගෙන

‘අනේ මේ කටුව පොඩ්ඩක් ගහන්න’ යි කියා එන විට

රැවුම් ගෙරවුම් ලබන බෝ මිලැති හෑන්ඩ්ලූම් සාරිය

ස්ට්‍රෙච් මාක් ඇති බඳ වට රැළි එතෙන

දුම්රිය බස් අනඟ නෙත් නිතර ඇලි ඇලි

පොඩ්ඩක් එහෙ මෙහෙට වෙන සාරි පොට තුළ

‘කෝ කොහිද නාභිය?’ සොයා වෙහෙසෙන පිරිමි

පොළ දාට

ටවුමට

බැංකුවට

පිට කැපූ රවුම

පිච්චිලා අවුවට

වෙහෙසලා හිස කන්තෝරුවට

ගත මගට ම

සාරි සහ ඔසරි

හතරකුත් කාලට

කොණ්ඩ පීරා

බසියි පාරට!

මේ කවිය ගැන අපි කරපු සම්පූර්ණ සාකච්ඡාව ලියන්න වෙලාව නෑ. මට අර ලොකු වැඩේට යන්න ඕනෙ.

ශිෂ්ටාචාරය විසින් එකම ස්වරූපයේ නිල ඇඳුමක් ලිංගික ජීවිතයක් දීල තියෙනවා වගේ සාරිය සහ ඔසරිය කියන නිල ඇඳුම ස්ත්‍රියගේ සමස්ත මනුෂ්‍යය පැවැත්ම ටික ටික ගිල ගන්නා ආකාරය කවියට හසු වෙනවා. මුලින්ම ස්ත්‍රිය මනුෂ්‍යභාවයෙන් ස්ත්‍රීභාවයට පත් වෙනවා. ඊට පස්සෙ කන්තෝරුකා ස්ත්‍රිය වෙනවා. ඊට පස්සෙ සාරිකාරිය වෙනවා. අන්තිමට මනුෂ්‍යත්වය, ස්ත්‍රීත්වය දෙකම වෙනුවට අපි දකින්නෙ සාරිත්වය හෝ ඔසරිත්වය විතරයි. ඔසරි කියල ජාතියකුත් තිබුණ එක හොඳයි. නැතිනම් සාරිත්වය විතරයි!

සාරිය හුදෙක් නිල ඇඳුම්මය දඬුකඳක් පමණක් නොව යම් යම් අවස්ථාවල ස්ත්‍රියට යම් කාරක ශක්තියක්ද ආරක්ෂාවක්ද ලබා දෙන දෙයක් කියල අර ෆ්‍රොයිඩියානු ප්‍රවේශයෙන් කියන්න පුළුවන්.

හැබැයි ස්ත්‍රිය කාරක ශක්තිය අත්පත් කරගත්තෙ නිල ඇඳුමක් බවට ඌනනය වුණු සාරියෙන්ද මෙන යම් මනුෂ්‍යමය ශක්තියකින්ද කියන එක ඇසිය යුතු ප්‍රශ්නයක්. ලක්මාලි හේවාවසම් ඒ කාරක ශක්තිය දිනා ගත්තෙ, නාඳුන මාව මේක ලියන තැනට අවධානය දිනාගත්තෙ, අපේ පන්තියේ සාකච්ඡාවන තැනට පත් වුණේ සාරියක් ඇඳල නෙමේ කවි ලියලා. අන්න නියම කාරකශක්තිය.

prof liyanage amarakeerthi

| මහාචාර්ය ලියනගේ අමරකීර්ති

(https://amarakeerthi.blogspot.com/)