මනුස්ස බුදුහාමුදුරුවෝ

මනුස්ස බුදුහාමුදුරුවෝ

H.G.Wells (1866 - 1946)යනු ඉංග්‍රීසි ජාතික නවකතාකරුවෙකි ඔහුගේ සම්පූර්ණ නම Herbert George Wells ය. පුරෝගාමී විද්‍යා ප්‍රබන්ධකරුවෙක් වූ Wells ගේ The War of the Worlds (1898 ) නමැති කෘතිය වනාහි විද්‍යාවේ බලය අරබයා පළ කළ අනාවැකි මිශ්‍ර දේශපාලන ප්‍රහසනයකි. ඔහු විසින් රචිත ලෝක ප්‍රකට විශිෂ්ට ග්‍රන්ථයක් වූ A Short History of the World වූකලී සකල ලෝක ඉතිහාස ගමන් මගේ වෙසෙස් මං සලකුණු පෙළ ගස්වා දැක්වීමට දැරූ ප්‍රශස්ත ප්‍රයත්නයකි.

මෙම කෘතියෙහි 28 වැනි පරිච්ඡේදය පළව ඇත්තේ The Life of Gautama Buddha යන මාතෘකා පාඨයෙනි. H.G.Wells ගේ A Short History of the World කෘතිය සිංහලට පරිවර්තනය වී ඇත්දැයි නොදනිමි.සිංහලට නොනැඟිණි නම් එය පමා වී හෝ ඉටු කෙරුම නැණ පහන් පින්කමක් සේ හඟිමි. එය කියවා නැති ඉංග්‍රීසි දත්තෝ එය කියවත්වා!

H.G.Wells නමැති මේ විබුධයාණන් වරක් බුදුන් වහන්සේ හැඳින්වූයේ මේ අයුරිනි.

"You see clearly a man, simple, devout, lonely, battling for light, a vivid human personality, not a myth. Beneath a mass of miraculous fable I feel that there also was a man. He too, gave a message to mankind universal in its character. Many of our best modern ideas are in closest harmony with it. All the miseries and discontents of life are due, he taught, to selfishness.Selfishness takes three forms - one, the desire to satisfy the senses; second, the craving for immortality; and the third the desire for prosperity and worldliness.Before a man can become serene he must cease to live for his senses or himself. Then he merges into a greater being."

"ඔබ උන් වහන්සේ කෙරෙන් පැහැදිලිවම දකින්නේ මනුෂ්‍යයෙකි. සරල, බැතිබර, හුදකලා, උට්ඨාන වීරියෙන් ආලෝකය සොයා යන, විචිත්‍ර මානව පෞරුෂයකි. මිථ්‍යා චරිතයක් නොවේ. ප්‍රාතිහාර්යමය උපමා කතා කන්දකට යටවී පවා සිටියේ මනුෂ්‍යයෙකුම යැයි හඟිමි.

එහි සිටිමින්ද උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා වෙත ප්‍රදානය කළේ විශ්ව සාධාරණ ගුණෝපේත ධර්මයකි. අප සතු අගනාම නවීන අදහස් බොහෝමයක් ඒ හා සමීප ලෙස ගැළපුණි. ජීවිතයේ සියලු දුක්ඛ වේදනාවන්ට හා අසන්තුෂ්ටියට හේතු වන්නේ ආත්මාර්ථය බව උන් වහන්සේගේ ඉගැන්වීම විය. ආත්මාර්ථය තෙවැදෑරුම් වෙයි. ඉඳුරන් පිනවීමේ ආශාව පළමු වැන්නයි. දෙචැන්න, අමරණීයත්වයට පත්වීමේ තෘෂ්ණාවයි.ලෞකික සශ්‍රීකත්වය ලැබීමේ ආශාව තෙවැන්නයි. චිත්ත ශාන්තිය ලැබීමට පෙරාතුව මිනිසා තම ඉන්ද්‍රිය සන්තර්පණය හා ආත්මාර්ථය උදෙසා ජීවත්වීම අත් හළ යුතුය. එවිට ඔහු උත්තම සත්වයෙකු බවට පත්වනු ඇත."

සිංහල ජාතක කතා හා වෙනත් සිංහල බණ කතා අතර සැරිසරන විට අපට නිතර හමු වන්නේ H.G.Wells විබුධයා හැඳින්වූ මනුස්ස බුදුහාමුදුරුවන් යැයි කාට නම් කිය හැකිද? සැබැවින්ම සිංහල පාලි බණ කතා සාහිත්‍යය කෙරෙන් නැඟී සිටින්නේ ආශ්චර්ය අද්භූත බුද්ධ චරිතයක් නොවේද? සැබෑ මනුස්ස බුදුන් මුණ ගැසිය හැකි තැන් සොයා යෑමට මා තුළ සිතක් උපන්නේ එහෙයිනි.

අප නිතර කියවා අසා ඇත්තේ බොහෝ ගිහි පැවිදි සිංහල ගැදි පැදි කරුවන් වැනූ ආශ්චර්ය අද්භූත බුදු සිරිතමය. බුදුන් වහන්සේ තමා ගැන සැබෑ තතු නොසඟවා තම මුවින්ම හෙළි කරන තැන් ත්‍රිපිටක සාහිත්‍යයේද ඉතා දුලබය. මේ එවැනි තැන් කීපයකි. එතැන්හි වැඩ සිටින සැබෑ මනුස්ස බුදු හාමුදුරුවන් දැක පැහැද සුදු වීමි. මුදු වීමි. බොදු වීමි.

මජ්ඣිම නිකායේ මහා සච්චක සූත්‍රයෙහිදී සච්චක හෙවත් අග්ගිවෙස්සන නිගණ්ඨ තෙම (ජෛන භක්තිකයා) හට තමා සාවුරුද්දක් තිස්සේ ලද දුෂ්කර ක්‍රියා අත්දැකීම් නොසඟවා හෙළි කරන බුදු හාමුදුරුවෝ:

"මම මුලින් ආහාර ගත්තෙම නෑ. පස්සෙ ධාන්‍ය තම්බපු වතුර ටික ටික බිව්වා. දවසින් දවස මගේ ශරීරය වැහැරී ගියා. මගේ අත පය අසූ අවුරුද්දක් පැරණි වැල් පුරුක් බවට හැරුණා.තට්ටම් දෙක ඔටු කුර දෙකක් වෙලා. කොඳු ඇට පෙළ ඇට වැලක් වගේ. ඉළ ඇට දිරාපු සාලාවක ඇද ගැහිච්ච පරාල වගේ. ඇස් ගුල්වල ගිලී ගිය ඇස් දෙක ගැඹුරු ළිං පතුලක පේන තරු දෙකක් වගේ. අව්වට වේළිලා ඇකිළුණු අමු ලබු ගෙඩියක් වගේ මගේ හිසේ හම ඇකිළිලා ගියා.මම බඩ අත ගාන කොට කොඳු ඇටය අත ගෑවෙනවා. කොඳු ඇටය අත ගාන කොට බඩේ හම අත ගෑවෙනවා. මගේ බඩ පිටේ කොඳු ඇටයටම ඇලී ගියා. මල මූත්‍ර කරන තැන මුණින් ඇද වැටෙනවා. මම ශරීරය අතින් අත ගාන කොට දුගඳ හමන රෝම ගැලවිලා වැටෙනවා. මගේ හමේ පිරිසිදු පැහැය අතුරුදහන් වුණා."

අපට මනුස්ස බුදු හාමුදුරුවන් දැකිය හැකි තව තැනක් සංයුක්ත නිකායේ 5 වන ඉන්ද්‍රිය සංයුක්තයේ එන ජරා වග්ගයට අයත් ජරා සූත්‍රයෙහි හමුවෙයි.

එක්තරා දිනක බුදුන් වහන්සේ පූර්වාරාමය පිටු පස අව්වේ පිට තවමින් සිටියදී අනඳ හිමියෝ උන් වහන්සේගේ අත් පා මඬිමින් මෙසේ පැවසූහ.

" බුදු හිමියෙනි, හරිම පුදුමයි! ඔබ වහන්සේගේ හමේ පැහැය දැන් ඉස්සර වගේ පිරිසිදු නැහැ. අවයවත් ලිහිල් වෙලා. රැළි වැටිලා. ශරීරය ඉස්සරහට නැමිලා. කන, නාසය, දිව යන ඉන්ද්‍රියවලත් වෙනස්කම් පේන්ඩ තියෙනවා."

"ආනන්ද, තරුණකමත් දිරා යනවා. නීරෝගී බවේ රෝගී බවත් තියෙනවා. ජීවිතය ඇතුළෙ මරණයත් තියෙනවා."

සංයුක්ත නිකායේ 5 වන සතිපට්ඨාන සංයුක්තයේ අම්බපාලි වග්ගයෙහි ගිලාන සූත්‍රයේදී මෙන්ම දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේදීත් අපට මනුස්ස බුදු හාමුදුරුවන් යළි වරක් හමු විය හැකිය.

තම අවසන් වස් කාලය ගත කිරීම සඳහා බුදුන් වහන්සේ බේලුව නම් ගමට වැඩි සේක. එම වස් කාලය ගෙවද්දී උන් වහන්සේ මහත් සේ ගිලන් වූහ.උන්වහන්සේට මරණ වේදනා ඇති විය. එහෙත් හොඳ සිහියෙන් ඒ සියලු වේදනා විඳ දරා ගත්හ.සුවය ලැබීමෙන් ටික දිනකට පසු උන් වහන්සේ විහාරයේ අසුනක වාඩිවී විවේකයෙන් සිටියදී එතැනට වැඩි අනඳ තෙරුන්ගේ මුවින් මෙවදන් ඇසුණි.

"බුදුහිමියෙනි,මම ඔබ වහන්සේගේ ඉවසීම, දරා සිටීම බලා සිටියා. ඔබ වහන්සේගේ ගිලන් වීම නිසා මගේ මුළු ඇඟම ගල් වී ගියා. කිසිවක් පෙනුණෙ නෑ. බණ දහමිද අමතකව ගියා. එහෙත් ඔබ වහන්සේ පිරිනිවන් පානු නැතැයි සිතුණා."

"ආනන්ද, මම දැන් මහලුයි. දිරා පත් වෙලා. මට දැන් අසූ විය පිරිලා. දිරා පත් වෙච්ච කරත්තයක් උණ පතුරු අල්ලලා පිළියම් කරනවා වගේ මගේ ශරීරයත් පිළියම් කර කර තමයි පවත්වා ගන්නේ."

ආනන්ද හිමියන් සමග පයින්ම කුසිනාරාවට වඩින බුදුන් වහන්සේ අතර මග නවාතැන් ගත්තේ පාවා නුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහිය. බුදුන් වහන්සේගෙන් බණ ඇසූ චුන්දයෝ මහත් සේ පැහැද උන්වහන්සේට තම ගෙදර දනට ඇරයුම් කළහ. චුන්ද එම දානය සඳහා සූකරමද්දව පිළියෙල කරවූ. බව උදාන පාලියේ පාටලී ග්‍රාමීය වර්ගයේ චුන්ද සූත්‍රයෙහි සඳහන් වෙයි. "බුදු හිමියෙනි, මා දානෙට සූකර මාංශ පිළියෙල කෙරෙව්වා. ඔබ වහන්සේ එය පිළිගනු මැනවි" යැයි චුන්ද කී කල බුදුන් වහන්සේ නිහඬ බව පා එය ඉවසූහයි අංගුත්තර නිකායෙන් හෙළි වෙයි.එසේම සූකරමද්දව යනු වන හූරන්ගේ මස් බව දීඝනිකාය ටීකාව කියයි.

සූකර මද්දව වැලඳූ අවස්ථාවේ පටන් බුදුන් වහන්සේගේ සවි බල පිරිහී ගිය බව සුමංගල විලාසිනියේ හා බෝධිවංශයේ සඳහන් වේ. සාවුරුදු දුෂ්කරක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් හට ගත් පිට රුජාවකින් මහලු කල බුදුන් වහන්සේ පීඩා විඳි හෙයින්, "මගේ පිට රිදෙනවා, පොඩ්ඩක් විවේක ගත්තොත් හොඳයි!" යනුවෙන් උන් වහන්සේගෙන් නිතර පැවසුණු බව අංගුත්තර නිකාය, දීඝ නිකාය හා සංයුක්ත අටුවාව ආදියෙන් හෙළි වෙයි. තම දුෂ්කර ක්‍රියා සමයේම අත් විඳි අල්ප ආහාර භාවයත් දුඃඛ ශයනයත් හේතු කොට ගෙන හටගත් උදරාබාධයක් යළි යළිත් වරින් වර නැගී අවුත් උන් වහන්සේට කටුක වේදනා දුන් බව බ්‍රාහ්මණ සංයුක්තයෙහි දේව හිත සූත්‍රය හා එම අටුවාව පවසයි.

ගුත්තිල කව් ගත ගෙතූ මා ළබඳ වෑත්තෑවේ යති කිවිඳු මගේ මතකයෙන් මතුව මෙසේ ගයනු ඇසේ.

යන ලෙස නොහැකිළී

අවාපුරයට නියැළී

කරනෙව් මග හෙළී

බුදුන් මුදුනට ගලක් පෙරළී

ගල මුනිඳු මත්තේ

හෙත කිසිවක් නොදත්තේ

ගලෙකි පිළි ගත්තේ

එසෙවු ගුණ ඔහු නොපිළිගත්තේ

ඉඳ ඉඳ එක වෙහෙර

විඳ විඳ දහම් මනහර

සිඳ බිඳ දුක් සසර

අනේ දෙව්දත් නුදුටි මොක්පුර

බුදුන් වහන්සේ නසනට දෙව්දත් තෙර පෙරළූ ගල පතිත වුණු අන් ගලකින් විසිව ගිය ගල් පතුරක් වැදීමෙන් තම පයේ හට ගත් තුවාලය නිසා උන් වහන්සේ බලවත් ලෙස ගිලන්ව වේදනා විඳි බව සංයුක්ත නිකායෙන් හා එම අටුවාවෙන් හෙළි වෙයි. තම අසූ වන වියේදී ජර පත් බව කියා පාන ලකුණු බුදුන් වහන්සේගේ පිටේ පහළව ගිය බවද එම නිකාය හා අටුවාව යන දෙකෙහිම සඳහන්ව ඇත. උන් වහන්සේ පයින්ම දනවු සැරි සැරීමේ හේතු අතරින් ශරීරාරෝග්‍යය සම්පාදනය හෙවත් සිරුරු සුවය සලසා ගැන්මද එකෙකැයි සුත්ත නිපාත අටුවාව කියයි.

ගල් පතුර වැදීමෙන් ගිලන් වූ බුදුන් වහන්සේගේ තැළුණු පාදයෙහි හට ගත් තුවාලයේ ලේ සැත් කමකින් බැහැර කළ ජීවක වෛද්‍යවරයා එය සුවපත් කළ බව පපඤ්ච සුදනී නම් මජ්ඣිම නිකාය අටුවාවෙන් හෙළි වෙයි. ධම්මපද පෙළ පොතෙන් කියැවෙන්නේ, ජීවක වෛද්‍යවරයා, තුවාලයෙහි එක් තැන් වූ ලේ එය ඇතුළේදීම සිඳී යන ලෙසින් බෙහෙතක් තබා බැඳ එය සම්පූර්ණයෙන් සුවපත් කළ බවය. සද්ධර්මරත්නාවලියෙහිද එය එසේම පැවසේ.එහෙත් දම්පියා අටුවා ගැටපදය, සැත්කමක් කළ බවම නිසැක කොට කියයි.

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්ද, සත් හට බව දුකට වෙදාණන්ද, තිත්(තීර්ථක-මිසදිටු) ගනඳුරු දුර ලන දිනිඳාණන්ද වූ කරුණා සීතල හද ඇති මුනිඳාණන් නින්දා අපහාසවලට මුහුණ දුන්නේ අන් හැම මිනිසෙකු ලෙසින්මය.

සුන්දරීකාවගේ නින්දා අපහාසය, චිංචි මානවිකාවගේ පරිභව චෝදනාව, මාගන්දියගේ දෝෂාරෝපණය ආදිය මෙහිදී සිහියට නැඟේ.

අතිශය කරුණ රස ජනනය කරන මානුෂ මහා කාව්‍යයක් වැනි මහා පරිනිබ්බාන සූත්‍රය මෙවේලේ මගේ සිතේ ඇලේ, වෙළේ, ගිලේ.

චුන්දගේ සූකර මද්දව දානය වැළඳි අසූ විය පිරි බුදුන් වහන්සේ කුසිනාරාව බලා පයින්ම වඩිද්දී උන් වහන්සේට හදිසියේ ලෝහිත පක්ඛන්දිකා රෝගය (ලේ අතීසාරය) දරුණු ලෙස හට ගනී. මාරාන්තික වේදනා උපන. බුදුන් වහන්සේ එළඹ සිටි සිහියෙන් පීඩා ඉවසූහ. රෝග පීඩා පිටම කුසිනාරාව බලා යන උන්වහන්සේ වෙහෙසට පත්ව පාරෙන් ඉවත ගසක් මුලට පැමිණ නැවතුණහ.

"ආනන්ද, මට ක්ලාන්තයි. සගළ සිවුර හතරට නමා මට අසුනක් පණවන්න."

අනඳ තෙරුන් වහන්සේ සගළ සිවුර හතරට නමා අසුන් පැනවූහ. අසුනෙහි හිඳ ගත් බුදුන් වහන්සේ:

"ආනන්ද පිපාසයි! මට බොන්න පැන් ටිකක් ගේන්න."

ගිනි ගහන ගිම්හානේ දිය සිඳී ගොස් යන්තම් දියවැලක් සේ කාන්දු වී යන කකුත්ථා නදියේ ඒ ඉතිරි දියද කරත්ත ගමන් කිරීමෙන් කැලතී බොරව ඇති බව අනඳ හිමියෝ දනිති. ගිලන් වූ බුදුන් වහන්සේට බොර වතුර ගිලන්පස කළ හැක්කේ මොන හිතකින්ද! ලේ අතීසාරයෙන් හට ගත් විජලනය කරණකොටගෙන පිපාසය උග්‍ර වූ බුදුන් වහන්සේ අනඳ හිමියන්ගේ පමාව නිසා දෙවන වරටත් තෙවන වරටත්:

"ආනන්ද, පිපාසයි! මට බොන්න පැන් ටිකක් ගේන්න!"

අනඳ හිමියෝ එහි ගොස් ඒ පැන් ගෙනැවිත් බුදුන් වහන්සේට පිදූහ. උන් වහන්සේ ඒ පැන් පානය කළහ.

බුදු වුණු මිනිසුන් ගැන මිස බුදු වුණු දෙව් බඹුන් ගැන බණ පොතේ කොහේවත් නොකියැවේ. බුදු වීමට මනුෂ්‍ය ලෝකයටම ආ යුතුය.

කොපමණ වටිනා අදහසක්ද එය! මිනිසා තරම් උතුම්, බලවත් සත්වයෙක් වෙන කොහේ ඇත්තේද? මිනිසා සමාන වන්නේ මිනිසාටම මිස වෙන කා හටද? ඔබේ චිත්ත සන්තානය මත චිත්‍රණය කිරීමට මා තැත් කළේ අප හැම ලද සේම මනු ලොව මිනිසත් බව ලැබ, උට්ඨාන වීර්යෙන් අධ්‍යාත්ම විමුක්තිය සාක්ෂාත් කළ අසමසම මනුෂ්‍ය චරිතයකි. හාස්කම් පාන, විජ්ජා පෙන්වන, අසාමාන්‍ය උස මහත ඇති, මායා කාර, අද්භූත චරිිතයක් නොවේ. අසූ මහා ශ්‍රාවක චරිත අතර වූ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ උස මහතින් මෙන්ම රූපයෙන්ද බුදුන් වහන්සේට අතිශයින් සමාන වෙති. ඒ නිසාම දෙදෙනා මාරු වීමෙන් මිනිසුන් රැවටුණු වාර අනන්තය. බුදුන් වහන්සේ තමා හැඳ පෙරවූ සිවුරු මාරු කර ගත්තේ මහා කාශ්‍යප හාමුදුරුවන් සමග පමණක් වීමෙන් එය මනාව සනාථ වෙයි. බුදු බණේ එන ශ්‍රාවක චරිත කියවීමෙන් විස්තර දත හැකිය. කියවත්වා! සිතත්වා!

ජාති, ජරා,ව්‍යාධි, මරණ නම් සතර භය උරුම කොට ගත් මානව චරිතය වසා ගෙන බුද්ධ නාමයෙන් ආශ්චර්ය අද්භූත මායාකාරී අමානව චරිතයක් පහළ වූයේ කෙසේද? එවැනි බුද්ධ චරිතයක් අතිශයෝක්තියෙන් හා භාවාතිශය ලෙසින් වර්ණනා කරන ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍යය මෙන්ම චිත්‍ර ප්‍රතිමා ආදියද පැතිර යෑම කවර දෘෂ්ටි වාදයක අනිෂ්ට විපාකයක්ද?

අමාවතුර හා බුත්සරණ පොළොන්නරු යුගයේ බිහි. වුණු කෘති දෙකකි. බුදු ගුණ වැනුම එම ග්‍රන්ථ දෙකේම ඒකායන අරමුණයි. ඒ නිසාම එම කතුවරයන් අතින් මැවී ඇත්තේ සියලු දෙවි බඹුන් ඉක්මවා සිටින අසාමාන්‍ය බුදු වරයෙකි. විශේෂයෙන් බුත්සරණ කෘතිය මගින් බුදුන් මුල් කර ගෙන මවා ඇති භක්ති වාදය අති ප්‍රබල වූවක් ලෙස හැඳින්විය හැකිය. ඊට හේතුව කිම? ලංකාවේ පැතිර පැවති හින්දු දේව භක්තිය හා බ්‍රාහ්මණ සංස්කෘතිය මගින් බෞද්ධ සංස්කෘතිය අකා මකා දමා තිබුණි. එය වූකලී චෝල ආධිපත්‍යයේ අනිෂ්ට ප්‍රතිඵලයකි. එකල විසූ සිංහල ගත් කරුවන්ගේ ඒකායන පරමාර්ථය වූයේ බෞද්ධ ජනතාව හින්දු දේව වාදයේ හා බ්‍රාහ්මණ සංස්කෘතියේ ප්‍රබල බල පෑමෙන් මුදවා ගෙන යළි ඔවුන් තුළ බුදුන් වහන්සේ කෙරෙහි බලවත් භක්තියක් කුළු ගැන්වීමයි. බුදුන් වහන්සේගේ අධ්‍යාත්ම ගුණ කාය යටව ගොස් බුද්ධ දේචයෙකුගේ ආශ්චර්ය අද්භූත රූප කායක් ප්‍රාදූර්භූත වීම එහි අනිවාර්ය අනිෂ්ට ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීම කවර වරදද?

එෆ් බී හුදී ජන පහන් සංවේගය උදෙසා ලියැවෙන මේ ලේඛනය උත්තම විශ්ව මනුෂ්‍ය බන්ධු වරයෙක් වන මහත්මා ගාන්ධි මහාශයන්ගේ මේ මාණික්‍ය වාක්‍යයෙන් හමාර කිරීම මැනවැයි හඟුම්හ.

Buddhism is pre - eminently a religion of the masses. I do not despair. I do not for one moment think that Buddhism has been banished from India. Every essential characteristic of Buddhism, I see, is being translated into action in India much more perhaps than in China, Ceylon and Japan, which nominally profess Buddhism. I make bold to say that we in India translate Buddhism into action far more and far better than others. It is impossible to banish Buddha. You cannot deprive Him of His birth in India.In His own life, He made out for himself an imperishable name. He lives today in the life of millions of human beings. Let each one.take for himself as much of the message of the mercy and piety that Buddha came to deliver. We have to translate that message in our own lives. Are we fit to pay our homage to that great Lord, Master and Teacher of mankind? The thought that Buddha gave about 2500 years ago will never vanish.

බුදු දහම වනාහි වෙසෙසින්ම පොදු ජනතා ආගමකි. මම බලාපොරොත්තු සුන් කර නොගනිමි. බුදු දහම ඉන්දියාවෙන් පිටුවහල් කර ඇතැයි මම මොහොතකටවත් නොසිතමි. බුදු දහමට අයත් සෑම අත්‍යවශ්‍ය ගුණ දහමක්ම, නාමික වශයෙන් බුදු දහම ගැන කතා කරන චීනය,ලංකාව හා ජපානය යන රටවලට වඩා, ඇතැම් විට, ඉන්දියාව තුළ පිළිපැදෙන බවක් මම දකිමි. ඉන්දියාවේ සිටින අපි අනික් අයට වඩා වැඩියෙන් මෙන්ම වඩා හොඳින් බුදු දහම පිළිපදින බව මම එඩිතරව පවසමි. බුදුන් වහන්සේ පිටුවහල් කළ නොහැකිය. උන් වහන්සේගේ ඉන්දියානු උත්පත්ති උරුමය අහිමි කළ නොහැකිය. උන් වහන්සේ තම ජීවිත කාලය තුළ තමා උදෙසා නොමියෙන නමක් දිනා ගෙන ඇත්තාහ. බුදුන්වහන්සේ අද කෝටි ගණනක් මිනිසුන්ගේ ජීවිත තුළ ජීවත් වෙති. උන් වහන්සේ ලොව පහළව දෙසූ, ශ්‍රද්ධාව හා කරුණාව මුල් කොට ගත් දහමින් හැකි තරම් පිහිට ලබා ගැනීමට අපි ඒ හැම කෙනෙකුටම මග පාදමු. අපි ඒ දහම පිළිපැදිය යුතු වෙමු. මනුෂ්‍ය වර්ගයාගේ ඒ උත්තම වූ නේතෘ වරයාට මුනිවරයාට ශාස්තෘවරයාට නිසි ගෞරව දැක්වීමට අපි සුදුස්සෝ වෙමුද? මීට දෙදහස් පන්සිය වසරකට පමණ පෙර බුදුන්වහන්සේ අපට ප්‍රදානය කළ ඒ උතුම් ධර්මය කිසි දා අතුරුදහන්ව නොයන්නේමය.

karunarathna amarasinghe

‍| කරුණාරත්න අමරසිංහ

(මුහුණ පොතින්)