ශ්‍රී ලංකාවේ ප්‍රථම  කන්නඩ  සිනමා දැක්මක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම  කන්නඩ  සිනමා දැක්මක්

ඉන්දියානු (ප්‍රාන්ත)  සිනමාව, ශ්‍රී ලාංකේය සිනමාලෝලීන්ට හඳුන්වාදීම අරමුණු කරගනිමින් මෙම කන්නඩ සිනමා උළෙල - 2023 පවත්වන බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය පවසයි.

ඉන්දියානු මහා සිනමාවෙන් ඔබ්බෙහි ඇති චූල සිනමාව හෙවත් ඉන්දියානු ප්‍රාන්ත සිනමා නිර්මාණ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉතාම අල්ප වශයෙනි. එම නිසා ඉන්දියාවේ කන්නඩ,බෙංගාලි,ඇසෑම්,නාගලන්ඩ් වැනි ප්‍රාන්ත සිනමා නිර්මාණ මෙරට සිනමා ලෝලීන්ට සමීප කරවීමේ අරමුණින්  සංවිධානය කිරීමට නියමිත චිත්‍රපට  උළෙල මාලාවක පළමුවැන්න ලෙස කන්නඩ චිත්‍රපට දෙකක් මැයි මස දෙවැනි දා (02 ) කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාවේ "තරංගනී" සිනමා ශාලාවේ දී තිරගත කෙරේ.

මෙම සිනමා උළෙල ජාතික චිත්‍රපට  සංස්ථාව ,කොළඹ  ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධ ස්වාමි විවේකානන්ද  ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය,බැංගලෝර් හි Nagathilli School of Cinema ආයතනය,PEN Sri Lanka   සංවිධානය සමඟ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA) ඒකාබද්ධව සංවිධානය කරයි.

මෙහි දී AMERICA! AMERICA!!”, “MAATHAD MAATHAADU යන චිත්‍රපට පෙබරවාරි දෙවැනි දින තිරගත කෙරේ.

‍| Dr Nagathihalli Chandra Shekhar

I Kavya Shatty

| Nirup Bhandari

මීට සමගාමීව කන්නඩ සිනමාවේ සිටින ප්‍රවීණතම සිනමා අධ්‍යක්ෂවරයෙකු වන නාගතිහාල්ලි චන්ද්‍රශේකර්  (Nagathihalli Chandra Shekhar) කන්නඩ සිනමා නිෂ්පාදක (Y.N.Shankare Gowda) ශන්කරේ ගවුඩා ජනප්‍රිය තරුණ රංග ශිල්පි නිරූප් භන්ධාරි (Nirup Bhandari) ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී එස්.කේ.රාඕ (S K.Rao) ජනප්‍රිය තරුණ රංග ශිල්පීනි කාව්‍යා ශෙට්ටි (Kavya Shatty) සිනමා මාධ්‍යවේදී ජී.එන්.මෙහාන් (G.N.Mohan) හා කර්ණාටක ප්‍රාන්තයේ හසාන් දිස්ත්‍රික්කයේ වැඩිම අලෙවියක් ඇති "ජනමිත්‍රා" පුවත්පතේ ප්‍රධාන කර්තෘ මදන් ගවුඩා  (H.B.Madan Gowda)යන අය මෙම චිත්‍රපට උළෙලට ද එක් වෙති. මෙම සිනමා උලෙළට අතිරේකව මෙරට සිනමා පසුතල හඳුනාගැනීම පිළිබඳ දින තුනක චාරිකාවක් ඔවුන්ට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සංවිධානය කර ඇත. ඒ අනුව මහනුවර, රන්මිනිතැන්න, මීගමුව, ගාල්ල හික්කඩුව ආදී ප්‍රදේශවල මෙම ඉන්දීය සිනමාකරුවන් සංචාරයේ නිරත වේ.

මැයි මස 02 වෙනි දින පෙරවරු 9.30  චිත්‍රපට උළෙල ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ හා ඉන්දීය මහකොමසාරිස්  ගෝපාල් බග්ලේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තරංගනී සිනමා ශාලාවේ දී ආරම්භ වේ.එම අවස්ථාවට ඉන්දීය සිනමා ශිල්පීන් සහ  සංස්කෘතික කටයුතු පිළිබඳ  අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ සහ  උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා යන අය ද. සහභාගි වෙති. මෙම චිත්‍රපට නැරඹීමට සිනමාලෝලීන්ට විවෘතව ආරාධනා කරන බව ආසියානු  මාධ්‍ය හා සංස්කෘතික සංගමය පවසයි.