
සිංහල භාෂාව හා ව්‍යාකරණය මෙන්ම පාලි හා සංස්කෘත මිශ්‍ර පැරණි ගද්‍ය පද්‍ය සිංහලයද එසේම ඉංග්‍රීසියද ව්‍යක්ත ලෙස හදාරා නොමැතිකම නිසා උපන් හීනමානය සඟවා ගැනීම සඳහා අනවශ්‍ය ඉංග්‍රීසි පද සහ අපභ්‍රංශ සංස්කෘත පද බහුල ලෙස වහල් කර ගැනීම අද මෙරට විචාරක වේශයෙන් වැජඹෙන එක්තරා අල්පශ්‍රැත. පිරිසකගේ නව පන්නයක් බවට පත්ව ඇත. විශේෂයෙන් සාහිත්‍ය හා දේශපාලන විෂය පථයට අදාළව සුලබ
ලෙස දැකිය හැකි මේ නව පන්නය වූකලී රටක අධ්‍යාපන පරිහානියක අනිවාර්ය දුර්විපාකයකි.
'මහේශාඛ්‍ය' සහ 'අල්පේශාඛ්‍ය' යන වචන දෙක ඔබ අසා ඇතත් එම පද යුගලයේ නිරුක්ත්‍යර්ථය නැතහොත් පද සිද්ධිය අනුව ඉන් ගම්‍යමාන අර්ථය ඔබ දනිතියිද යන්න ඉඳුරා සැක සහිතය. එය පළමුව වටහා ගනිමු.
'මහේශාඛ්‍ය' යන්න නිපදිනුයේ
'මහා + ඊශ + ආඛ්‍ය' යන තෙපදයෙනි. එහි සරල පදරුත වන්නේ
'මහා ඊශ ( ලොක්කා) ආඛ්‍ය ( කියන්නාවූ) යනුයි. 'ඊශ' යනු ප්‍රධානියා , අධිපතියා , ශ්‍රේෂ්ඨයා , ලොක්කා යන අර්ථයන්හි වැටේ. මහා ශ්‍රේෂ්ඨයා , මහානුභාව සම්පන්නයා යනු අර්ථයි.
'අල්පේශාඛ්‍ය' යනු 'අල්ප + ඊශ + ආඛ්‍ය' , එනම් , 'සොක්කා කියන්නාවූ' සරල පදරුත දෙන්නකි. අප්‍රධානියා , බලවත් නොවන , උසස් නොවන තැනැත්තා , සොක්කා යනු එහි අර්ථයි.
මේ පද යුගලයේ නිරුක්ත්‍යර්ථය අද අපේ රටේ සකල විධ ක්ෂේත්‍රයන්ටම අතිශය අන්වර්ථ වේ යැයි මම උදක්ම විශ්වාස කරමි. බැලු බැලූ අතෙහි අල්පේශාඛ්‍යයන්ම මහේශාඛ්‍ය ලීලාවෙන් විරාජමාන වන හෙයිනි.
වැලිවිට සරණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේ විසින් දුකසේ දල්වන ලද ශාස්ත්‍රාලෝකයේ මහිමයෙන් මෙරට පහළ වුණු ගිහි පැවිදි පඬිවර පරපුරට දෙවර්ගයක ප්‍රාචීන උගත්තු අයත් වූහ එයින් එක් කොටසක් පිරිවෙන්වලින් පාලි , සංස්කෘත භාෂා ගැඹුරට හදාරා නිපුණත්වයට පත් අය ලෙස හැඳින්විය යුතුය අනික් කොටස වූකලී ඒ භාෂා දෙක නොහදාළද පුරාතන සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය පොතපත නිරන්තර පරිශීලනයෙන් තම පාලි සංස්කෘත වචන කෝෂය හෙවත් මිශ්‍ර සිංහල වචන කෝෂය සුපෝෂිත කරගත් පිරිසකි. මේ උභය ප්‍රාචීන භාෂා ප්‍රගුණ කළාවූද , එසේම එකී ද්විභාෂික වචන කෝෂයෙන් සජ්ජිත මිශ්‍ර සිංහලය අතැඹුල සේ දත්තාවූද ලේඛකයන් විසින් එක සේ පාලි සංස්කෘත වචන ප්‍රස්තෝචිත පරිදි තම ලේඛනයේදී භාවිතයට ගැනීම සාම්ප්‍රදායික සිරිතක් බවට මෙරට මුල් බැස ගති.මෙහිදී එක් වැදගත් කරුණක් ඉඳුරා ප්‍රකටව පෙනුණි. එනම් පාලි සංස්කෘත භාෂා ප්‍රගුණ නොකළ , එහෙත් පුරාතන මිශ්‍ර සිංහල වාග් ව්‍යවහාරය ළැදි සිතින් ආශ්‍රය කළ , ලේඛක පිරිසද ස්වකීය ලේඛන කාර්යේදී නියම වචනාර්ථ මෙන්ම අක්ෂර වින්‍යාසයද දැනගෙනම පාලි සංස්කෘත වචන භාවිතයට ගත් බවයි.
බටහිර ආකෘතියේ පළමු විශ්ව විද්‍යාලය ඇරඹීමෙන් අනතුරුව මහා ප්‍රාචීන ප්‍රඥා ප්‍රදීපස්තම්භ දෙකක් වන් විද්‍යාලංකාර විද්‍යෝදය දෙපිරිවෙන විශ්වවිද්‍යාල බවට පෙරළී කලක් යන තුරුම යට කී පාලි සංස්කෘත මිශ්‍ර භාෂා භාවිතය ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුක්තචම පැවතුණි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් පාලි සංස්කෘත භාෂා ප්‍රගුණ කිරීමට අභිරුචියක් දැක්වූ පිරිස ගිහි විද්‍යාර්ථීන් අතර පමණක් නොව පැවිදි විද්‍යාර්ථීන් අතරද එන්න එන්නම විරලව යෑම ඇරඹුණි. එසේ සිදුවෙද්දී පාලි සංස්කෘත මිශ්‍ර සිංහලෙන් රචිත පුරාතන ගද්‍ය පද්‍ය ග්‍රන්ථ පරිශීලනය කෙරෙහි උනන්දු වන විද්‍යාර්ථීන්ද හීනව යෑම කවර අරුමයක්ද? මාතර යුගයේ ප්‍රකට කවියෙක් වූ බැදිගම රතනපාල හාමුදුරුවන් කීවාක් මෙන්,
"සිඳු සිඳෙනා කල ඇළ කියනුම කිමෙක?"
මුහුද හිඳෙනා කල ඇළ ගැන කවර කතාද?
අන්තර් ජාතික වශයෙන් අපේ රට පරම සම්භාවනාවට පාත්‍රවීමට හේතු භූත වූ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ඥාන ධාරාව කෙරෙහි මෙරට විද්‍යාර්ථීන් අතර පැවති ගෞරවය හා තත් ශාස්ත්‍රෝද්ග්‍රහණය උදෙසා ඔවුන් තුළ පැවති උද්‍යෝගය මරු කතරක සිඳී යෑම ඇරඹුණේ සාහිත්‍යය සහ ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් පිට මං කිරීමත් සමග යැයි කීම කවර වරදද? පාසල් විෂය මාලාවට සාහිත්‍යය විෂය ඇතුළුව තිබුණු කාලයේ පැරණි සිංහල සම්භාව්‍ය සාහිත්‍යයට අයත් ගද්‍ය පද්‍ය කෘති හැදෑරීමේ භාග්‍යය පාසල් ශිෂ්‍ය ජනයාට උදාව පැවතුණි. අධ්‍යාපනඥයන් විසින් එම කෘති අතරින් තෝරා ගත් විශිෂ්ට ග්‍රන්ථ, පාඨ ග්‍රන්ථ ලෙස නිර්දිෂ්ට කරන ලද හෙයිනි. එකල සාහිත්‍යය විෂය හැදෑරූ ශිෂ්‍යයන්ට එය මහත් පල මහානිසංස ගෙන දෙන භාග්‍යෝදයක් වුණි. ඒ කෙසේද? පාලි සංස්කෘත භාෂාවන්ට අයත් විවිධ විචිත්‍ර වචන සහිත ඕජෝ ගුණ සම්පන්න ප්‍රාණවත් මිශ්‍ර සිංහල භාෂා සාහිත්‍ය ව්‍යවහාරය ගුරුන් ඇසුරෙන් හැදෑරීමට ඉන් මග පෑදුණු හෙයිනි. ශිෂ්‍යයන්ගේ වචනාර්ථ අවබෝධය, වාක්කෝෂ පෝෂණය හා ලේඛන චාතුර්ය කෙරෙහි එකී සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනය මහත් සේ බල පෑ බව ඉඳුරා පැවසිය හැකිය. සිංහල භාෂාවේ රම්‍යත්වය, ප්‍රබලත්වය හා නිර්මාණාත්මක භාවිතය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් පාසල් අවධියේම අත්පත්කරගැන්මට ශිෂ්‍යයන්ට උදාව තිබුණු එම පරම භාග්‍යය සාහිත්‍ය විෂය අහෝසි කිරීමත් සමගම ඔවුන්ට අහිමිව ගියේය. අනතුරුව පාසල් පද්ධතියෙන් බිහිවුණු ශිෂ්‍ය පරපුර බහුල වශයෙන් සාහිත්‍ය රස විහීන භාෂාන්ධයන් බවට පත්වීම කවර අරුමයක්ද?
වත්මන් පරපුරට අයත් ලේඛක , විචාරක හා සන්නිවේදක ගණයාගෙන් වැඩි දෙනෙකු තම නවකතා, කෙටිකතා, කවි, විචාර, නිවේදන ආදියෙහිදී භාවිතයට ගන්නා රස හීන, ව්‍යඤ්ජනාර්ථ නොනඟන සිංහලයෙන් ඉඳුරා පසක් වනුයේ ඉහත කී භාෂා පරිහානියේ අනිෂ්ට විපාකයයි. තමන් දන්නා සිංහලයෙන් අතිශයින් තෘප්තව ලේඛන කාර්යේ , විචාර කාර්යේ හා හාෂණ කාර්යේ යෙදෙනු විනා , අත්‍යන්ත අතෘප්ත ලෙස සිංහලය නැවත නැවත හදාරමින් , තමාම නිපදවා ගත් අනන්‍ය ශෛලියකින් යුතුව විසිතුරු ලෙසත් නිර්මාණාත්මක ලෙසත් එය භාවිතයට ගැනීමට ඔවුහු තුන් සිතකින් වත් නොසිතති. සිංහල බසෙහි රම්‍යත්වය හා ප්‍රබලත්වය පමණක් නොව ඊටම ආවේණිකව සුඛනම්‍ය ලෙස එහි ගැබ්ව පවත්නා නිර්මාණාත්මක ලක්ෂණයද ඔවුන්ට විෂක් මෙන් අවිෂයව ඇත. එය අල්පශ්‍රැත භාවයේ පරම ප්‍රකාශනයකි.
ප්‍රබන්ධ සාහිත්‍ය කෘතියක අධ්‍යාත්ම ප්‍රකාශන යානය වන භාෂාව නොතකා හැර එහි අන්තර්ගතය හා ආකෘතිය පමණක් වැදගත් කොට සැලකීමේ විචාර නිර්ණායකයක් මෙකල මෙරට සම්මාන ප්‍රදානය කරන විනිශ්චය මණ්ඩලවල ඍෂිභාෂිතයක් බවට පත්ව ඇද්ද යන්න සැකයට භාජනය වෙයි. මක්නිසාද යත් , නිර්මාණාත්මක ගුණ ශූන්‍ය , ධ්වනි ශක්ති හීන භාෂා භාවිතයට පරම නිදර්ශන කොට දැක්විය හැකි බොහෝ ප්‍රබන්ධ කෘති පසුගිය කාලයේ 'විශිෂ්ටනිර්මාණ' නම් සුලබ අඩයාලමෙන් සම්මානයට පාත්‍රව ඇති හෙයිනි.
මේ අතර , ඉංග්‍රීසි පාරිභාෂික ශබ්ද (Technical Terms) වෙනුවට හිතුමතේ නිපදවාගත් ශාබ්දික සිද්ධාන්ත විරෝධී අපභ්‍රංශ සංස්කෘත පද භාවිත කරමින් විචාරයෙහි නිරත මහේශාඛ්‍ය විචාරක ගණයක්ද මෙකල ප්‍රාදූර්භූතව ඇත. ඔවුන් තම මහන්තත්ත සාහිත්‍ය හා දේශපාලන විචාර සඳහා උපයෝගී කොට ගන්නා එම අව්‍යක්ත වාක්කෝෂය වනාහි පූර්වෝක්ත භාෂා පරිහානියේ තරම ඒකාන්තයෙන් සමර්ථනය කරන නැතහොත් සනාථ කරන සාක්ෂාත් සාක්ෂියක් වැන්න. පාලි වචනයක් අලුතෙන් නිපදවීමට යන තැනැත්තා පාලි භාෂාවටද සංස්කෘත වචනයක් එසේ තැනීමට තැත් කරන තැනැත්තා සංස්කෘත භාෂාවටද ආවේණික පද සාධන විධි සහ නෛරුක්තිකාර්ථ අතැඹුල සේ දැන සිටිය යුතු බව නොවැටහෙන තරම් අඳ බාල පරපුරක් මෙසේ මෙරට බිහිවීම බහුශ්‍රැත ගුරු පරපුරක ආභාසය, ආවේශය හා ආලෝකය අහිමිවීමේ අනිෂ්ට ප්‍රතිඵලයක් නොවිය හැකිද?
මගේ ශිෂ්‍යයෙක් වරක් මගෙන් මෙම පැනය විචාළේය.
"සර් 'විෂය ක්‍රාන්ති බව' කියන්නෙ මොකක්ද?"
"එහෙම වචනයක් නං මං අහලා නෑ. සංස්කෘත භාෂාවෙ එහෙම වචනයක් යෙදෙයි කියලා හිතන්නත් බෑ. පදසිද්ධිය අනුවනෙ වචනයක අර්ථ දැක්වීම කරන්නෙ. මෙතන එහෙම කරන්ඩ බෑ. කොහෙද මේක යොදලා තිබුණෙ?"
"මේක යොදලා තිබුණෙ නවකතා විචාරයක. පත්තරේ පළ වෙලා තිබුණු. මෙන්න මෙහෙමයි ඒ වාක්‍යය ලියලා තිබුණෙ."
"එයින් කියැවෙන්නේ ආදරය
විෂයක්‍රාන්ති බවය. වචනවලින් කියා නිම කළ නොහැකි අති සුඛනම්‍ය විඳීමක් බවය."
මට කාරණය වැටහුණි. මෙහිදී සිදුව ඇත්තේ නවකතා විචාරකයා නැති සංස්කෘත වචනයක් නිපදවීමට යෑමක් නොවේ. අපගේ පුරාතන සම්භාව්‍ය මිශ්‍ර ගද්‍ය සිංහලයේ චිර භාවිත සංස්කෘත වාක් ප්‍රයෝගයක් එකී සම්භාව්‍ය සිංහලය ව්‍යක්ත ලෙස ප්‍රගුණ නොකිරීම කරණකොටගෙන සාවද්‍ය ලෙස භාවිතයට ගැනීමකි. නිරවද්‍ය ව්‍යවහාරය විය යුත්තේ 'විෂයක්‍රාන්ති' යන්නක් නොවේ. 'වර්ණනා විෂයාතික්‍රාන්ත' යන ප්‍රයෝගයයි.
'වර්ණනා විෂය + අතික්‍රාන්ත'
එහි සරල තේරුම වන්නේ වර්ණනා කිරීමේ හැකියාව ඉක්මවා පවතින්නක් යන්නය. එනම් වර්ණනා කිරීමට අමාරු බවය.
මේ 'අතික්‍රාන්ත' යන්න පැමිණ ඇත්තේ සංස්කෘත 'අතික්‍රමණ' යන්නෙනි. එය නිපන්නේ 'අති ' පූර්ව 'ක්‍රම්' ධාතුවෙනි. එනම් ක්‍රියා මූලයෙනි. 'අතිශය වේගයෙන් , ඉක්මනින් , පසුකොට යන්නා වූ' යන අර්ථය ඉන් ප්‍රකාශ වෙයි. එහි පාලි ශබ්ද රූපය 'අතික්‍කමණ' යනුයි. එය 'අති' පූර්ව 'කමු' ධාතුවෙන් නිපන. අර්ථය සමාන වෙයි.
සිංහල වාග් ව්‍යවහාරයට 'ඉක්මන්' යන්න පැමිණ ඇත්තේ මේ පාලි රූපයේ බලපෑමෙනි. සිංහලයට පද බිඳීමෙහිදී සමීපතම සම්බන්ධය පවත්නේ පාලි රූපයට මිස සංස්කෘත රූපයට නොවේ. එහෙත් සිංහල 'ඉක්මන්' යන්න 'ශීඝ්‍රමාන' යන්නකින් පැමිණි බවට කළ අපභ්‍රංශ නිරුක්ති කථනයක්ද එක්තරා පුවත්පතක පළ වී තිබෙනු දුටුවෙමි. එය වූකලී පතළ නමක් ඇති සිංහල මහැදුරෙකුගේ අති පණ්ඩිත තැතකි. ඔහු පෙළ සකු දෙබසටම අඳ ඇස් ඇත්තෙකු බව 'ශීඝ්‍රමාන' යන සකු යෙදුමට ඔහු දැක්වූ එම නිරුක්ත්‍යර්ථය මගින් ඉඳුරා පසක් වෙයි
'මාන' යනු කෘදන්ත ප්‍රත්‍යයකි. තත්සම ශබ්දවල හමුවන එය ධාතුවක් සමග යෙදෙන්නකි.
උදාහරණ:
ජීව් +ය + මාන = ජීවමාන
දෘශ් + ය + මාන = දෘශ්‍යමාන
ගම් + ය + මාන =ගම්‍යමාන
'ශීඝ්‍ර' යන්න ධාතුවක් නොවේ. 'ශීඝ්‍රමාන' යන්නක් හමුව ඇත්තේ මේ මහැදුරුට පමණක් විය යුතුය. නැති 'ශීඝ්‍රමාන' යන්නකින් 'ඉක්මන්' සිංහල පදය පහළ කිරීමට ඉක්මන් වීම ශාස්ත්‍රීය නොහික්මීමකි. එය පෙළ සකු බස් නොදැන්මේ අනිටු පලයකි. ඉන් නොනවතින ඔහු සිංහලයේ 'ඉතින්' යන නිපාතයද සංස්කෘත හෝ පාලි 'ඉත්ථම්' යන්නෙන් පැමිණියකැයි පැවසීමට තරම් පණ්ඩිතමානී වෙයි.
සංස්කෘත පාලි දෙබසෙහිම 'ඉත්ථම්' පදය දෙන්නේ 'මෙසේ' යන අරුතයි. 'ඉතින්' යන්නෙහි 'මෙසේ' යන අරුතක් ඇත්තේ කෙසේද? සංස්කෘත පාලි 'යදි' යන නිපාතයෙන් 'ඉදින්' යන්න බිඳී අඝෝෂාදේශය වීමෙන් 'ඉතින්' යන්න පැමිණි බව දැනගැනීම වටී.
වරක් මගේ 'ඩබල් බහුවචන කාරයෝ' නම් එෆ්බී ලේඛනය ඇගැයූ මා ළබඳ (මෑතකදී මෙලෝ හළ) සීතා රංජනී සොහොයුරිය, තම එෆ්බී සටහනක් මගින් 'ඤාණ' හා 'ඥාන' යන උභය ශබ්දයේ අක්ෂර වින්‍යාසය ගැන සැක පහළ කොට එහි වරද නිවරද විමසා සිටියාය. මා ඇයට කරුණු පැහැදිලි කළේ මෙනයිනි.
" 'නුවණ' යන අරුත දෙන 'ඥාන'' යනු සංස්කෘත ශබ්ද රූපයයි. පාලියේ එම අරුත දෙන ශබ්ද රූපය 'ඤාණ' යන්නය. මෙම උභය ශබ්ද රූපයන්ගේ අක්ෂර වින්‍යාසය ද්විධ වනුයේ ඒ අනුවය."
මෙහිදී දැනගත යුතු තවත් කරුණක් ඇත. පාලි හෝඩියේ එන 'ඤ' කාරය කේවල අක්ෂරයකි. එනම් තනි අකුරකි. එහෙත් සංස්කෘත භාෂාවේ බහුලව ව්‍යවහාර වන 'ඥ' කාරය සංස්කෘත හෝඩියට ඇතුළු නොවන්නකි. ඒ මන්ද? එය සංයුක්ත අක්ෂරයක් වන හෙයිනි. එනම් අකුරු දෙකක සංයෝගයෙන් බිහිවුණකි. සංස්කෘත ශාබ්දික සිද්ධාන්ත අනුව හෝඩියට කේවල අක්ෂර විනා සංයුක්ත අක්ෂර ඇතුළු කිරීම අනභිමතය. 'ඥ'කාරය බිහි කිරීමට මුල් වුණු අකුරු දෙක සංස්කෘතයේ හැඳින්වෙන්නේ කෙසේද? මෙන්න ඒ අකුරු දෙක.
ජ්+ඤ්
ජ්+ඤ්+(අ)= ඥ
මේ අනුව 'අඥාන' ආදි වචනවල උච්චාරණය නිවැරැදි වන්න නම් එහි 'ඥ'කාරය 'ඤ්ඤ' ලෙස නොව 'ජ්ඤ' යනුවෙන්ම ශබ්ද කළ යුතුය.
පෙර සඳහන් කළ සිංහල මහැදුරු තම වියරණ පොතක් මගින් 'ඥ' සංයෝගාක්ෂරයේ උච්චාරණය හඳුන්වා ඇත්තේ මේ අයුරිනි.
ප්‍රඥාව = ප්‍රග්ඤාව
සකු බසට අඳ ඇස් ඇත්තෙකු අතින් එවැනි වරදක් සිදුවීම කවර අරුමයක්ද?
'ඥ' යන සංයුක්ත අක්ෂරයට අයත් වන අක්ෂර හඳුන්වා දෙමින් එම ශබ්දය උච්චාරණය කරන අයුරු ශිෂ්‍යයන්ට උගන්වන අවස්ථාවක් මෑතකදී ෆේස්බුක් මාධ්‍යයෙන් දුටු මට නෙත් අදහාගත නොහැකි විය. එසේ වූයේ එය සාවද්‍ය ඉගැන්වීමක් නිසා නොවේ. සංස්කෘත මහාචාර්ය පදවි
උසුලන සුප්‍රකට හිමිනමක් එසේ උගන්වනු දැකීමෙනි. එම සකු මහැදුරු හිමිනමගේ මතය අනුවද 'ඥ' යන්න බිහිවනුයේ ජ් + ඤ් දෙකෙහි නොව
ග් + ඤ් දෙකෙහි සංයෝගයෙනි.
සංස්කෘත භාෂාවේ හසළ දැනුමක් ඇති ප්‍රාමාණික සිංහල වෛයාකරණයන් දෙදෙනෙකුගේ : 'ඥ' කාර විග්‍රහය මෙසේයි.
" 'ජ්' යනු 'ඤ්' යනු හා බැඳුණු විට අමුතුමැ අකුරෙක් පැමිණේ.
'ජ්' + ඤ =ඥ (විඥ)"
(ව්‍යාකරණ විවරණය; මුනිදාස කුමාරතුංග; 24 වැනි පිටුව.)
" 'ජ්' යන්න ඒ වර්ගයේ නාසික්‍ය වූ 'ඤ්' යන්නට බැඳුණු විට 'ඥ' යැයි සිටී අජ්ඤ = අඥ"
(හොඳ සිංහල; රැ.තෙන්නකෝන්; 20 පිටුව.)
පාලි සංස්කෘත භාෂා නොහදාළ පෙර කී සිංහල මහැදුරු 'ඥ' ශබ්දය සිංහල හෝඩියට ඇතුළු කිරීම අනිවාර්ය කොට සලකන්නෙකි. ඔහු මා මුලින් සඳහන් කළ සංස්කෘත ශාබ්දික සිද්ධාන්තයට අඳ ඇස් ඇත්තෙකු වන හෙයිනි. හෝඩියට කේවල අක්ෂර විනා සංයුක්ත අක්ෂර ඇතුළු නොවිය යුතුය යනු එම ශාබ්දික සිද්ධාන්තයයි. 'ඥ'කාරය සිංහල හෝඩියට බලෙන් රිංගවීම පිණිස ඔහු යුක්තියක් කොට ගන්නේ එය නිතර මිශ්‍ර සිංහලයේ භාවිතවීමය. එහෙත් එම ශබ්දය සහිත සියලු මිශ්‍ර සිංහල වචන සංස්කෘත තත්සම පද බව ඔහු අමතක කරයි. එසේම 'ඥ' ශබ්දය සහිත වචන ආදි කල පටන් බහුලව ව්‍යවහාර වන සංස්කෘත භාෂාවේ හෝඩියටද එම ශබ්දය ඇතුළු නොවනුයේ අර ශාබ්දික සිද්ධාන්තය ගුරු කොටගැන්මේ පල විසින් බව ඔහු නොදනියි.
මෙම සිංහල මහැදුරුගේ සංස්කෘත භාෂාන්ධභාවය තවත් දුර්මතයකින් නියත ලෙස සනාථ වෙයි. සර්වඥ, දෛවඥ ආදියෙහි එන 'ඥ'කාරය ඔහු තම වීයරණ පොත් මගින් හඳුන්වා දෙන්නේ තද්ධිත ප්‍රත්‍යයක් ලෙසිනි. 'තද්ධිත' යනු නාමයන් කෙරෙන් යෙදෙන ප්‍රත්‍යය විශේෂයකි. කුමාරතුංග පඬිඳුන් තද්ධිත නාම, 'නාම ප්‍රකෘති සංග්‍රහ නාම' යනුවෙන් හඳුන්වා ඇත්තේ ඒ අනුවය. 'ඥ' යනු දැනගැනීම', 'අවබෝධ කිරීම' යන අරුත්හි වැටෙන 'ඥා' ධාතුවෙන් නිපන් කෘදන්ත රූපයක් මිස තද්ධිත ප්‍රත්‍යයක් නොවේ. 'අඥ' 'විඥ' වැනි නාම ප්‍රකෘතිවල හමුවන ' ඥ' යන්න තද්ධිත ප්‍රත්‍යයක් නොවන බව වටහා ගන්නේ සංස්කෘත භාෂාව විෂයෙහි හසළ දැනුමක් ඇත්තෙකු මිස භාෂාන්ධයෙක් නොවේ.
| කරුණාරත්න අමරසිංහ
FB පිටුවෙන්