
ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රචන්ඩ රාජ්‍යයට විරුද්ධ සිංහල- දෙමළ අරගලය එක පෙරමුණක් විය යුතුය යන මතය 1980 මුල නාගරික තරුණ කණ්ඩායම් අතරේ පැතිරෙමින් තිබුණ. ‘වෙන්ව සටන් කර සමූළ ඝාතනයකට යටත් වෙමුද, එක්ව සටන් කර ජය ගනිමුද?’ යන දෙකෙන් එකක් තෝරා ගැනීමට අපට බල කෙරුණ. තහනම් කර තිබූ ජවිපේ ක්‍රියාකාරිකයන් වූ අපට මේ වෙනුවෙන් ‘සුබ ආරංචියක්’ ගෙනාවේ සමන් [ ගුණදාස].
ඒ වන විටත් මොරටුවෙ [සරසවියේ] සිටි මගේ දේශපාලන සගයෝ විවිධ දේශපාලන කණ්ඩායම්වලට එකතු වෙද්දී සමන් විසදුම ‘කම්කරු මාවත’ බව අපට කිව්ව. ඒ වන විටත් නාගරික තරුණ මතවාදවල ආධිපත්‍ය දැරුවේ සුචරිත [ මහා. ගම්ලත්] නිසා අපි විකොස [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] ගැන දැන සිටිය. සාකච්චා වට කීපයක් අවසන් වුණා. 1985 අවසාන වෙද්දී මම ජවිපේ පුර්ණ කාලීනත්වයෙන් කෙලින්ම විකොසේ පූර්ණකාලීනයෙක් වුණා.
දිලිසෙන මුවාත් මාක්ස්වාදී දර්ශනයේ අවි ලෙලවමින් සිටි කීර්ති [බාලසූරිය- ධර්මකීර්ති ජයසේකර] අපිට ඒ හැටි ඔරොත්තු දුන්නේ නෑ. කීර්ති කෙලින්ම සටනටයි අභියෝග කළේ. අපි ලඟ දර්ශනවාදයේ තියුණු අවි තබා පිහි කෑල්ලක්වත් තිබුණේ නෑ. ගම්වලින් එද්දී ගෙනාපු ‘ගුරු ගීතය’, ‘ අම්මා’ හා පෙරළු නැවුම්පස’ වගේ පොත් කෑලි ටිකක් ඔලොගුවේ දාගත්තු දේශපාලන අහිකුණ්ඨිකයන් වූ අපි ‘හේගල්’ හෝ ලුවික් ෆුවේබැක් ගැන අහලවත් තිබුණේ නෑ.
කීර්ති, මාක්ස්ගේ ‘දාර්ශනික අත් ලිපි’ සාකච්චාවට ගත්තම මොළේ කරච්චල් වෙනව. මෙන්න මෙහෙම වෙලාවට අපේ උපකාරයට ආපු කරුණාවන්ත දේශපාලන ගුරුවරයෙක් හිටිය. ඔහු ‘වික්ස්’ නමින් සිටි නන්ද වික්‍රමසිංහ. තැන්පත්ව අපෙන් නොතේරුණු දේ අසා එය කරුණාවෙන් පැහැදිළි කර දුන්නේ වික්ස්. ඔහු ලඟ පියෙකුගේ කරුණාව, සහෝදරයෙකුගේ ලෙන්ගතුකම තිබුණ. ඔහු දෙගිඩියාවෙන් දේශපාලනය කල කෙනෙක් නොවෙන බව දැනුනේ වේරා [ දුව] ලියෝන් [පුතා] මැණිකේ [ බිරිඳ] එකතු කර ගෙනයි දේශපාලන වැඩවලට ආවේ. ඔහුගේ හොරණ නිවසේ දොරවල් දේශපාලන සගයන්ට නිරන්තරයෙන්ම ඇරී තිබුණ.
වික්ස් ඉතාම දක්ෂ ඉංග්‍රිසි- සිංහල පරිවර්තකයෙක්. නම නෑ. වැඩ විතරයි තිබුණේ. නොදන්න දෙයක් අහන හම මොහොතකම කරන වැඩේ නතර කරල ඒක පැහැදිළි කරලයි නැවත තමන්ගේ වැඩේ කරන්න පටන් ගන්නේ. මගේ දේශපාලන ගුරුවරු අතරේ මේ ගුණාංගය තිබුණු කීප දෙනාගෙන් කෙනෙක් නන්ද වික්‍රමසිංහ.
වික්ස්, 1960 දශකයේ පේරාදෙණිය සරසවියෙන් සමාජ විද්‍යා උපාධියක් දිනා සිටි බව පමණයි මම දැන සිටියේ. ඒකත් දැන ගත්තේ කීර්ති ඉඳහිට වික්ස්ට අභියෝග කරන් විටයි.
‘වික්ස්, ම්නවද කරන්නේ...? අර ගණනාථලට [ඔබේසේකර] උත්තර දෙනවකෝ..!’
එවකට ගණනාථගේ මහා සම්ප්‍රදාය හා චූල සම්ප්‍රදාය පිළිබඳ විවාදයට වික්ස් එකතු කරන්න කීර්ති නිරන්තරයෙන්ම උත්සාහ කළා. කොහොම වුණත් අවසානේ මම විකොසෙන් පිටවෙල ගණනාථ ලඟ නතර වුණා. සමන් වගේම වික්ස් සහෝදරයත් විකොසේ දිගටම හිටිය.
වික්ස්ල වගේ දේශපාලන ගුරුවරු නොසිටින්න මම ප්‍රේමදාසගේ ටයර් එකක් උඩ පිච්චෙන්න තිබුණ. ‘වෙන්ව ගමන් කරමු. එක්ව සටන් කරමු’ යන්න මගේ පරම්පරාවේ දෙමළ - සිංහල ජනයාට ඉගෙනීමට ලැබුණා නම් ලංකාව මීට වඩා යහපත් තැනක් වෙන්න තිබුණ. ජීවිත ලක්ෂ ගණනාවක් රැකෙන්න ඉඩක් තිබුණ. ඒත් ඉතිහාසය ලියන්න පැවරෙන්නේ බහුතරයට මිසක් සුළුතරයට නෙවෙයි. එහෙත් කවර හෝ දුක් ගෙන සුළුතරයේ සිටීම කරන්න පුළුවන් මහා පුරුෂයන්ට පමනයි. නන්ද වික්‍රමසිංහ එබදු මහා පුරුෂයෙක්.
වික්ස්ට සුභ ගමන්...!
| නන්දන වීරරත්න FB පිටුවෙන්
24/04/25